Friday, April 28, 2023

ගමන් කරමින් තිබූ ගුවන් යානයෙන් අතුරුදන් වූ මිනිසා        


 

                                     ලෝකයේ විවිධ ව්‍යාපාර , වත්කම් ආදිය හේතුවෙන් විශාල ධනයක් උපයා ගත් පිරිස් කොතෙකුත් සිටිනවා.නමුත් ධනවත් බවේ හිනිපෙත්තටම පැමිණ සිට පසුව නොසිතූ ලෙස බංකොලොත් බවට පත් වුණු පිරිස් වගේම ඒ නිසාම ජීවිතයෙන් වන්දි ගෙවූ පිරිසුත් සිටිනවා.අද ලිපිය තුළින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙත් එවන් වාසනාවන්ත අවාසනාවන්තයෙක් ගැනයි.

                                      " ඇල්ෆ්‍රඩ් ලෙනාඩ් ලෝවෙන්ස්ටයින් " නම් මොහු එක්දහස් නවසිය විසි ගණන්වල වත්කම් ප්‍රමාණය අතින් ලෝකයේ තුන්වන ස්ථානය හිමි කරගෙන සිටි ධනවතෙක්.විදුලිබල සහ කෘතිම සේද ව්‍යාපාරවලට ආයෝජනය කිරීමෙන් අති විශාල මුදලක් උපයා ගෙන සිටි ඔහුගේ එකල වත්කම පවුම් මිලියන 12ක් පමණ වී තිබුණා.මෙය වර්තමාන වටිනාකම අනුව පවුම් මිලියන 770 ඉක්මවා යනවා.බෙල්ජියම් ජාතික ධන කුවේරයකු වන මොහු 1926 දී " ඉන්ටර්නැෂනල් හෝල්ඩින්ස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් " නමින් ආයතනයක් පිහිටුවනවා.

                             නිරන්තර තම දියුණුව පිළිබඳව සිතන ඇල්ෆ්‍රඩ් මේ අතර බ්‍රසීල සමාගමක් වන " බාසිලෝනා ට්‍රැක්ෂන් " සහ කැනේඩියානු සමාගමක් වන " ලයිට් ඇන්ඩ් පවර් " නම් සමාගම් මිලට ගැනීමටත් උත්සාහ කරනවා.නමුත් කිසියම් වූ හේතුවක් නිසා ඔහුගේ එම උත්සාහය අසාර්ථක වී යනවා.ඒත් සමඟම මොහුගේ ව්‍යාපාරවල ජනප්‍රියත්වයත් අඩු වීමට පටන් ගන්නවා.
                            මෙවන් කාලවකවානුවක් තුළ 1928 වසරේ ජූලි 04 වන දින ඔහු යම් ව්‍යාපාර කටයුත්තක් වෙනුවෙන් එංගලන්තයට පැමිණෙනවා.එය අවසන් කළ ඔහු ක්‍රොයිඩන් (Croydon) ගුවන් තොටුපලේ නවතා තිබෙන තම පෞද්ගලික ගුවන් යානයක් වන " ෆෝර්කර් F7 " ගුවන් යානය වෙත පැමිණෙනවා.නැවතත් බෙල්ජියමට යාමට සූදානම්ව තිබෙන මෙම ගුවන් යානයේ ඇල්ෆ්‍රඩ්ට අමතරව තවත් හය දෙනෙකු සිටියා.යානය ඉතාමත් සාමාන්‍යය විදිහට ගුවන්ගත වී බෙල්ජියම වෙත පියාසර කරමින් තිබුණා.
                                   යානය අඩි 4000ක උසකින් පියාසර කරමින් තිබෙන අතර එක්වරම සිය අසුනින් නැගී සිටින ඇල්ෆ්‍රඩ් යානයේ පිටුපස කොටසේ තිබෙන වැසිකිලියට ගොස් තිබෙනවා.වැසිකිලියට ගොස් මිනිත්තු 10ක් පමණ ගතවී ගියත් ඇල්ෆ්‍රඩ් නැවත පැමිණියේ නැහැ.ඇල්ෆ්‍රඩ්  ගැන අවදානයෙන් සිටි ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා වුණ " ආතර් හොස්ටන් " සහ ඇල්ෆ්‍රඩ්ගේ විශ්වාසවන්තම සේවකයා වුණ " ෆ්‍රෙඩ් බැස්ටර් " වැසිකිලියේ දොරට තට්ටු කළත් ඉන් කිසිඳු ශබ්දයක් හෝ ප්‍රතිචාරයක් ලැබී නැහැ.පසුව කිසියම් කරදරයක් වී ඇතැයි සිතන ඔවුන් දෙදෙනා වැසිකිලියේ දොර කඩා එයට ඇතුළු වී තිබෙනවා.
                                  ඔවුන් දෙදෙනා පුදුමයෙන් මුසපත් කරමින් එහි තිබුණේ කිසිවකුගෙන් තොරවූ හිස් වැසිකිලිය පමණයි.කිසිම හෝඩුවාවක් නොතබා අඩි 4000ක් ඉහළ අහසේ ගමන් කරමින් තිබූ ගුවන් යානයෙන් ඉතාමත් අබිරහස් ලෙස ඇල්ෆ්‍රඩ් අතුරුදන් වී තිබුණා.හිටිහැටියේ සිදු වුණ මේ අතුරුදන් වීම ගැන ඔවුන් යානයේ නියමුවකු වන " ඩොනල්ඩ් කෘ " හට දැනුම් දෙනවා.කිසිවක් සිතා ගැනීමට නොහැකි නිසා මේ පිළිබඳව වැඩිදුර සොයා බැලීමේ අරමුණින් ඔවුන් වහාම ගුවන් යානය වෙරළ තීරය ආසන්නයෙන් ගොඩබස්වනවා.
                                  ඔවුන් විසින් ගුවන් යානය ගොඩබැස්වූ ස්ථානය අසල හමුදා කඳවුරක් පිහිටා තිබීම නිසා තම කඳවුර ආසන්නයට අවසරයකින් තොරව හදිසියේ ගොඩබස්වන ලද යානය පිළිබඳව සොයා බැලීමට නිළධාරීන් පිරිසක් පැමිණෙනවා.ගොඩබස්වන ලද කාරණය පිළිබඳව විමසා සිටියත් මුලින් කිසිඳු සත්‍ය තොරතුරක් නොපවසන ඇල්ෆ්‍රඩ්ගේ කණ්ඩායම පසුව තමන්ට මුහුණ දීමට සිදුවූ අද්භූත සිදුවීම ගැන නිළධාරීන්ට පවසනවා.ඔවුන් විසිනුත් යානය සෝදිසි කර බැලුවත් ඔවුන්ටත් කිසිම සාක්ෂියක් සොයා ගැනීමට හැකි වන්නේ නැහැ.වැසිකිලිය තුළ තිබෙන ජනේලයක් රහිත දොර පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු වුණත් එය විවෘත කළ බවටත් කිසිඳු සාක්ෂියක් හමුවන්නේ නැහැ.
                                    කෙසේවෙතත් ඇල්ෆ්‍රඩ්ගේ ව්‍යාපාර මේවනවිට කඩා වැටෙමින් තිබුණ නිසා ඔහුගේ ව්‍යාපාර වෙනුවෙන් මුදල් ආයෝජනය කළ ඇතැම් ධනවතුන්ට ලැබිය යුතු ලාභාංශ ගෙවීම පැහැරහැර තිබුණා.මේ හේතුවෙන් ඔහුට මරණ තර්ජන පවා තිබූ බව වාර්තා වී තිබෙනවා.මේ නිසාම ඇල්ෆ්‍රඩ්ගේ අතුරුදන් වීම ගැන මුළු ලෝකයේම අවධානය යොමු වෙනවා.අතුරුදන් වීම සිදුවී දින 19කට පසුව ධීවරයකුට මුහුදු වෙරළකට ගොඩගසා තිබූ මිනිස් මළ සිරුරක් හමුවනවා.පවුලේ ඥාතීන්ටවත් හඳුනා ගැනීමට නොහැකි අන්දමින් විකෘති වී තිබුණ සිරුරේ ඇඳුම් පැළඳුම් සහ අත්ඔරලෝසුව ආදාරයෙන් එය ඇල්ෆ්‍රඩ්ගේ මළ සිරුර විය හැකි බවට අනුමාන කෙරෙනවා.පශ්චාත් මරණ පරීක්ෂණයට අනුව ජලයට වැටෙන විටත් ඇල්ෆ්‍රඩ් ජීවතුන් අතර සිට ඇති බවත් ඔහුගේ හිස්කබල අර්ධ වශයෙන් කැඩී බිඳී ඇති අතර තවත් අස්ථි කිහිපයකුත් බිඳී ඇති බව වාර්තා වනවා.
                                  මේ පිළිබඳව විවිධ මත ඉදිරිපත්ව තිබෙනවා.හදිසි පිටවීමේ දොරටුව විවෘත වී ඇල්ෆ්‍රඩ් ඉන් ඇද වැටෙන්නට ඇතැයි මතයක් පළ වුණත් එය කිසිවිටෙකත් තනි පුද්ගලයකුට විවෘත කළ නොහැකි නිසාත් විවෘත කළහොත් නියමු කුටියට සංඥා මගින් දැනුම් දීමක් සිදුවන නිසාත් එම මතය බැහැර කිරීමට සිදුවනවා.ඇල්ෆ්‍රඩ්ගේ ලේකම්වරයා සහ විශ්වාසවන්තම සේවකයා වෙනත් අයකුගෙන් මුදල් ලබා ගෙන ඇල්ෆ්‍රඩ් ගුවන්‍ යානයෙන් පිටතට දමන්නට ඇති බවටත් ඔවුන්ගේ සහයෙන් වෙනත් ප්‍රදේශයක රහසේ ජීවත් වන බවටත් මත පල වුණා.තමන්ගේ බංකොලොත් බව නිසා පලා යාමට ඇති ඉඩකඩ වැඩි වුවත් මේ කිසිවකට අදටත් පැහැදිලි පිළිතුරක් නම් නැහැ.තවමත් සැබෑවටම ඇල්ෆ්‍රඩ් මුහුණදුන් සිදුවීම දන්නේ ඔහුම පමණයි.

Monday, April 24, 2023

අහඹු ලෙස කැමරාවට හසුවූ අද්භූත ජීවීන්


                                       පෘථිවිය කියන්නේ අපි හිතනවටත් වඩා බොහොමයක් අබිරහස්වලින් පිරුණු ස්ථානයක්.හරිහැටි පැහැදිලි කළ නොහැකි වුණත් එවන් අබිරහස් ජීවීන් , සිදුවීම් පිළිබඳව වෙනදාටත් වඩා වාර්තා වෙන්න නිතරම අපේ අතේ රැඳෙන කැමරාව හේතු වෙලා තිබෙනවා.අද ලිපිය තුළින් අපි කියන්නේ එවන් අහඹු අවස්ථාවලදී කැමරාවල සටහන් වුණ අද්භූත අබිරහස් ජීවීන් කිහිප දෙනෙකු පිළිබඳවයි.
                                මුලින්ම අපි කතා කරන්නේ මුහුද මැද බොරතෙල් ගොඩට ගන්න තැනක හිටපු පිරිසක් පටිගත කළ දර්ශණයක් ගැන.එක්තරා දිනක් බ්‍රිතාන්‍යයට අයත් තෙල් පිරිපහදුවක පුද්ගලයන් කිහිප දෙනෙක් සුපුරුදු විදිහට තමන් අවට මුහුදු ප්‍රදේශය රූගත කරමින් ඉන්න අවස්ථාවේ හරි අමුතු ජීවියෙක් කැමරාව ඉදිරියට එනවා.කිසිම හැඩයක් නැති තුනී සිල්ක් රෙද්දක් වගේ මේ සත්වයා ඔවුන් මීට පෙර කිසිම දිනක දැක තිබුණේ නැහැ.ඒ නිසාම මුලින් මොවුන් හිතන්නේ මේ මියගිය තල්මසෙකුගේ ශරීරයෙන් ඉතිරි වුණ කොටසක් කියලයි.ටික වේලාවක් මේ විදිහට ඒ ස්ථානයේ කැරකෙමින් හිටපු මේ සත්වයා ටික වේලාවකින් ඈතට පිහිනා ගිහින් තියනවා.කොහොම වුණත් විද්‍යාඥයන් නම් මේ තියෙන්නේ තල්මසෙකුගේ ශරීරයෙන් ඉතිරි වුණ කොටසක් නෙවෙයි කියලා තහවුරු කරලා තිබුණා.නමුත් අදටත් මේ සත්වයා කවුද කියලා කියන්න කිසිවකුටත් හැකියාවක් ලැබිලා නැහැ.
                             2015 වසරේ චීනයෙන් තමයි මීලඟ සිදුවීම වාර්තා වෙලා තිබෙන්නේ.චීනයේ ෂෙං ෂෙං කියන නගරයට අපවහන කාණු පද්ධතියක වැඩ කරමින් සිටිය මිනිසුන් පිරිසකට අද්භූත සත්වයෙක් හමුවී තිබුණා.ශරීරයේ එකම රෝම කූපයක්වත් නැති මේ සත්වයාගේ පාදවල ඉතාමත් දිග නියපොතු තිබුණා.මේ සත්වයා දැකලා පුදුමයට පත් වුණ මිනිස්සු ඒ සත්වයා අල්ලලා කූඩු කරලත් තිබෙනවා.පසුව චීනය පුරා පැතිරුණු මේ සිදුවීම ගැන මත පළ කරන ඇතැම් පිරිස් කියන්නේ මේ ඉන්නේ අතීතයේ ජලය ආශ්‍රිතව ජීවත් වෙනවා කියලා සැලකුණ රාක්ෂ සත්වයෙක් කියල කිව්වත් තවත් පිරිසක් නම් කියන්නේ මේ ඉන්නේ අපිරිසිදු ජලයේ සිටීම නිසා ලොම් හැලුණු වලස් පැටියෙක් කියලයි.
                                  චීනයේ බීජිං නගරයෙන් මේවගේම තවත් සිදුවීමක් වාර්තාවනවා.මිනිසුන්ට පැහැදිලි කරන්න බැරි අබිරහස් විශාල ජීවියෙක් නගරයට ඈතින් ගමන් කරමින් සිටින ආකාරය මේ වීඩීයෝ දර්ශණවල පටිගත වී තිබෙනවා.මේ සත්වයාගේ හරිම පෙනුම , පාද ගණන පැහැදිලිව නොපෙනුනත් මෙයා කිසිම කලබලයක් නැතිව බොහොම සන්සුන්ව ගමන් කරන ආකාරයක් තමයි දකින්න ලැබෙන්නේ.චීන රජය මේ සත්වයා ගැන දැනගෙන හෙලිකොප්ටර් කිහිපයක්ම මේ සතා නිරීක්ෂණය කරන්න යොදවලා තියන විදිහ පවා වීඩියෝවේ පටිගත වෙලා තිබෙන නිසා මේක බොරුවක් කියලා ඉවත දමන්න හැකියාවක් නැහැ.අවසානයේ මේක අන්තර්ජාලයට යොමු කරපු පුද්ගලයා කියන විදිහට චීන රජය මේ සත්වයාගේ සිදුවීම වාර්තා කිරීම මාධ්‍ය ආයතනවලට තහනම් කලා වගේම සමාජ මාධ්‍යවල තිබුණ වීඩියෝ පවා ඉවත් කරලා තිබෙනවා.මොහු ඊට පෙර මෙම වීඩියෝ දර්ශණ චීනයෙන් පිට පුද්ගලයකුට ලබා දී ඔහු මාර්ගයෙන් අන්තර්ජාලයට යොමු කල නිසා මෙම දර්ශණ තවමත් අන්තර්ජාලය තුල දැක ගන්න ලැබෙන බව තමයි ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ.මේ සත්වයා පිළිබඳව තොරතුරු චීන රජය ලෝකයාගෙන් සඟවන්නේ ඇයි?
                                  එක්තරා පුද්ගලයෙක් තමන්ගේ ප්‍රදේශයට ඈතින් එන දරුණු අකුණු සහිත සුළි කුණාටුවක් රූගත කරමින් සින අතරතුර නොසිතූ ආකාරයේ අද්භූත රුවක් අහසින් මතු වුණා.අහම්බෙන් අහසේ එක් ස්ථානයක දීප්තිමත් ඇස් දෙකක් වගේ ආලෝකයක් නොනැවතී එක දිගටම දැල්විලා තිබුණා.මුලින්ම මේක ගුවන් යානයක ආලෝකයක් කියලා හිතුවත් ඊලඟට ඇති වුණ අකුණෙන් ප්‍රදේශයම ආලෝකමත් වුණත් මේ ස්ථානය විතරක් අමුතුම පෙනුමක් තියන විශාල ජීවියෙක්ගේ වගේ ඡායාවක් ඉතිරි වෙලා තිබුණා.මුලින් ඔහු දැකපු දීප්තිමත් ආලෝකයන් දෙක ඒ සත්වයාගේ ඇස් විදිහට නොනැවතී ආලෝකමත් වුණා.ඇත්තටම මෙහෙම පෙනුමක් නිර්මාණය වුණේ කොහොමද?
                               කුණාටුවක් අතරතුර තමයි මේ අහඹු සිදුවීමත් පටිගත වෙලා තිබෙන්නේ.කුණාටුවක් අතරතුර ඉතාමත් අවදානම් තත්ත්වයක තම වාහනය පදවමින් සිටි රියදුරෙක් පාළුවට ගිය ප්‍රදේශයකදී අබිරහස් යෝධ සත්වයකු දකිනවා.ගොට්සිලා චිත්‍රපටය සිහිගන්වන අක්‍රමවත් කකුල් 06න් යුතු මේ විශාල සත්වයා ඇවිදගෙන යන විදිහත් එවිට අඬු වැනි ශරීරයේ පිටුපසින් තිබෙන කොටස් චලනය වන ආකාරයත් පැහැදිලිවම පටිගත වෙලා තිබුණා.
                                සැබෑවටම මේ සතුන් කවුද? මෙතරම් විශාල ජීවීන් මෙතෙක් කාලයක් සැඟව සිටියේ කොහේද?නැතිනම් මේ සියල්ලක්ම යම් යම් පුද්ගලයන් විවිධ අරමුණු වෙනුවෙන් නිර්මාණය කරන ලද ඒවාද?අප වෙසෙන ලෝකය තුළ අප හඳුනා නොගත් මෙවන් අබිරහස් අද්භූත ජීවීන් තවත් කොතරම් නම් ඇතිද?

Saturday, April 22, 2023

සංඥා ක්‍රියා විරහිත වන අද්භූත නිහඬ කලාපය


 

                                      ලෝකය පුරා විවිධ විශමතාවයන් සහිත ප්‍රදේශ රැසක්ම දක්නට ලැබෙනවා.කාන්තාර , සාගර , ගොඩබිම් අතර පවා සාමාන්‍යය තත්ත්වයන් ඉක්මවා ගිය අසාමාන්‍ය , අද්භූත සිදුවීම් වාර්තාවන ස්ථාන පිළිබඳවත් වාර්තාවනවා.බර්මියුඩා ත්‍රිකෝණය , ඇලස්කා ත්‍රිකෝණය වගේම අද්භූත සිදුවීම් වාර්තා වන මේ ප්‍රදේශය මෙක්සිකෝව තුළ පිහිටා තිබෙනවා.

                                එක්දහස් නවසිය තිස් ගණන්වලදී තමයි මුලින්ම මේ ස්ථානය පිළිබඳව අවධානය යොමු වෙලා තිබෙන්නේ.දිනක් " ෆ්‍රැන්සිස්කෝ සරබියා " මෙක්සිකෝවේ කාන්තාර ප්‍රදේශයකට ඉහළින් තම ගුවන් යානය පියාසර කරවමින් සිටියා.අනපේක්ෂිත අවස්ථාවක යානයේ උපකරණ මාපක අසාමාන්‍ය විදිහට ක්‍රියා කිරීමටත් විදුලි උපකරණ සියල්ල ක්‍රියා විරහිත වීමටත් පටන් ගන්නවා.උදාවූ අවස්ථාවට අනුව ඔහුට කළ හැකි එකම දෙය යානය හදිසි ගොඩබැස්වීමක් පමණයි.ඔහු මෙලෙස ගොඩබසින්නේ " The Zone Of Silence " නමින් හඳුන්වන අද්භූත නිහඬ කලාපයටයි.
                                 මෙම අද්භූත කලාපය මෙක්සිකෝවේ සෙබෙල්ලෝ (Ceballos) සිට සැතැපුම් 25ක් දුරින් , ටෙක්සාස්වල එල්පැසෝ (Elpaso) සිට දකුණු දෙසට සැතැපුම් 400ක දුරකින් කාන්තාර ප්‍රදේශයක පිහිටා තිබෙනවා.1964දී ඇමරිකානු රජය සතු සමාගමක් වන ෆෙමෙක්ස් සමාගම උතුරු මෙක්සිකෝව දක්වා තෙල් නලයක් ඉදි කිරීමට ඇති හැකියාව අධ්‍යනය කිරීමට " හැරී ඩෙලෆීනියා " නම් ඉන්ජිනේරුවකු යවා තිබුණා.නමුත් කණ්ඩායම අතර රේඩියෝ පණිවිඩ හුවමාරුවට ඇති වුණ බාධාවන් නිසා එම ගවේෂණයට බාධාවන් ඇති වුණා.රේඩියෝ සංඥා ක්‍රියා විරහිත වන මේ ප්‍රදේශයට " නිහඬ කලාපය " ලෙස නම් ලබා දෙන්නෙත් හැරී විසිනුයි.දැඩි කුතුහලය නිසාම ඔහු තම ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසුවත් එම ප්‍රදේශයට පැමිණ තොරතුරු සොයා බැලීමට කටයුතු කරනවා.එහිදී ගුවන්විදුලි සංඥා ක්‍රියා විරහිත වන ස්ථාන සිතියම් ගත කිරීමට උත්සාහ දැරුවත් එම ස්ථාන සෑම තැනකටම සැරිසරන නිසා එම කටයුත්තත් අපහසුවනවා.
                                  නමුත් මේ නිහඬ කලාපයේ සංඥා ක්‍රියා විරහිත වීමට අමතරව තවත් අබිරහස්වලින් පිරී තිබෙනවා.ඒ අතර ප්‍රධාන තැනක් ගන්නේ මේ කලාපයේ දක්නට ලැබෙන බව පවසන පිරිමි පුද්ගලයන් දෙදෙනා සහ කාන්තාවයි.වාර්තා වන ආකාරයට මෙම පුද්ගලයන් දකින සෑම අවස්ථාවකම කාන්තාරයට කිසිසේත්ම නොගැලපෙන ඇඳුම්වලින් තමයි සැරසී සිටින්නේ.බොහොම ආචාරශීලී ඉතාම ප්‍රියමනාප මොවුන් තිදෙනා චතුර ලෙස ස්පාඤ්ඤ භාෂාව කතා කරනවා.මොවුන්ගේ ගමන් මාර්ගය සහ අවශ්‍යතාවය සෑමවිකම සමානවනවා.නිරන්තරයෙන්ම එකම ගොවිපළක් වෙත යන මොවුන් සෑම අවස්ථාවකම කරන්නේ බෝතලයකට ජලය පුරවා ගැනීම පමණයි.කෙසේවෙතත් දිනක් ගොවිපලේ සේවකයෙක් මොවුන් පැමිණෙන්නේ කොහේ සිටදැයි විමසූ විටක ඔවුන් සිනාසී  ඉහලින් බව පවසා තිබෙනවා.එසේනම් මොවුන් වෙනත් ලෝකයකින් පැමිණි ජීවීන් පිරිසක්ද?
                                      1975 වසරේ ඔක්තෝබර් මාසයේදී " අර්නස්ටෝ " සහ " ජොසෆිනා ඩයස් " නම් ෆොසිල ගවේෂකයන් දෙදෙනෙක් දුර්ලභ , අසාමාන්‍ය පාෂාණ සාම්පල එකතු කිරීමට මෙම ප්‍රදේශයට පැමිණෙනවා.නමුත් අපේක්ෂා නොකළ ආකාරයට දැඩි වැසි කුණාටුවකට මුහුණ දීමට ඔවුන්ට සිදුවනවා.මොහොතක් පාවා දරුණු අතට හැරෙන කුණාටුවෙන් බේරීමට හැකි උපරිම වේගයෙන් ගමන් කලත් කුණාටුව හේතුවෙන් වගුරක් බවට පත් වුණු කාන්තාරයේ එක් ස්ථානයක මෝටර් රථයේ රෝදය එරෙනවා.මෝටර් රථය තුළ භීතියෙන් තැති ගෙන සිටින මොවුන්ට මොහොතකින් තමන් දෙසට ඇවිදගෙන එන මිනිසුන් දෙදෙනෙක් දකින්නට ලැබෙනවා.මුලදී දෘෂ්ටි මායාවක් යැයි සිතුවත් කහ පැහැති වැහිකබා සහ හිස් වැසුම් පැළඳ සිටි මොවුන් දෘෂ්ටි මායාවක් නොවන බව මොවුන් පසුව වටහා ගන්නවා.
                                     කෙසේවෙතත් අවසානයේ මොවුන් දෙදෙනාගේ උපකාරයෙන් මෝටර් රථය එම ස්ථානයෙන් ඉවත් කොට ගෙන ආරක්ෂිත ස්ථානයකට රැගෙන යාමට යුවල සමත්වනවා.නමුත් රථය එරුණු ස්ථානයෙන් ඉවතට ගෙන තමන්ට උපකාර කිරීමට පැමිණි පුද්ගලයන්ට ස්තූති කිරීමට මෝටර් රථයෙන් බැස එන අර්නස්ටෝ හට එම පුද්ගලයන් පෙනෙන මානයකවත් දැක ගැනීමට ලැබෙන්නේ නම් නැහැ.එතරම් සුළු මොහොතකින් මිනිසුන් දෙදෙනෙක් පෙනෙන තෙක්මානයකවත් නොමැති වුණේ ඔවුන් අතුරුදන් වුණාද?
                                  නිරන්තරයෙන් උල්කාපාත පවා කඩා වැටෙන මෙම අද්භූත නිහඬ කලාපය කිලෝමීටර් 50ක වපසරියකින් යුතු භූමි ප්‍රදේශයක් පුරා පැතිර පවතිනවා.1970 ජූලි 11 එක්සත් ජනපදයේ ග්‍රීන් රිවර් ගුවන් හමුදා කඳවුරේ සිට ඉහළ වායු ගෝලීය තත්ත්වයන් නිරීක්ෂණයට යවන චන්ද්‍රිකා රොකට්ටුවක් පවා පාලනයෙන් ගිලිහී මෙම කලාපයට කඩා වැටී තිබෙනවා.මෙය මෙක්සිකෝවේ වයිට් සෑන් ප්‍රදේශයට ගොඩබැස්වීමට නියමිතව තිබුණත් බාහිර බලවේගයකින් ඇදගත් ආකාරයට නිහඬ කලාපයට ඇදී යනවා.මෙක්සිකෝවේ අවසරය මත සුන්බුන් සෙවීමට පැමිණියත් සන්නිවේදන සබඳතා බිඳවැටීම නිසා එම පරීක්ෂණයන් පවා අඩාල වනවා.මෙය යානයේ දෝෂයක්ද?අහඹු සිදුවීමක්ද?
                                      නිශ්චිත නිගමනයක් නොමැති මෙම තත්ත්වය පිළිබඳව විද්‍යාඥයන් පළ කරන මත අතර වඩාත් පිළිගත හැකි මතයක් ලෙස මෙම කලාපයේ පොළව අභ්‍යන්තරයේ ඇති සුවිශේෂී ඛණිජවල බලපෑම දැක්විය හැකියි.නමුත් මේ අතර මෙය සංචාරක ආකර්ෂණය වෙනුවෙන් ගොතන ලද නාගරික පුරාවෘත්තයක් බව පවසන පිරිසකුත් සංඥා අවහිර වන්නේ ප්‍රදේශය වටා ඇති කඳු පන්ති හේතුවෙන් බව පවසන පිරිසකුත් සිටිනවා.කෙසේවෙතත් වර්තමානයේ පවා ඉතිහාසඥයන් මෙම කලාපය පුරාවට විසිරී පවතින ෆොසිල තුළින් මෙහි අතීතය , අද්භූත සිදුවීම්වලට හේතූන් සොයමින් සිටිනවා.නමුත් තවමත් මෙය විසඳා ගැනීමට නොහැකි අබිරහස් ගොන්න අතරට එක් වුණ තවත් සිදුවීමක් පමණයි.

Wednesday, April 19, 2023

කුරිරු ඝාතනයක් සිදුකර අතුරුදන් වූ ඝාතකයා


 

                                        ලෝකය තුළ විවිධ හේතු නිසා මිනීමැරුම් සිදු වෙනවා.ඇතැම් මිනීමැරුම් වැඩි කාලවේලාවක් ගත වීමට පෙර විසඳුනත් තවත් ඒවා විසඳීමට වසර ගණන් ගතවන අවස්ථාවනුත් දක්නට ලැබෙනවා.කෙසේවෙතත් ඇතැම් විටෙක දැකීම තබා අසාගෙන සිටීමට පවා නොහැකි ආකාරයට ම්ලේච්ඡ අයුරින් සිදු කළ මිනීමැරුම්වල වරදකරුවන් ලෝකයෙන් අතුරුදන්වූ ආකාරයට සැඟවී යනවා.අද ලිපිය තුළින් අපි කතා කරන්නේත් මෙතෙක් විසඳා ගැනීමට නොහැකි වූ එවන් අබිරහස් මිනීමැරුමක් පිළිබඳවයි.

                                  1947 වසරේ ඇමරිකාවෙන් තමයි මේ සිදුවීම වාර්තාවන්නේ.උදෑසන කාලයේ තමන්ගේ දියණියත් සමඟ ඇවිදීමට ගිය එක්තරා කාන්තාවකට අමුතු යමක් දක්නට ලැබී තිබෙනවා.දුර සිට නිරීක්ෂණය වන මෙය සාමාන්‍යයෙන් කඩසාප්පුවල ඇඳුම් ප්‍රදර්ශනයට යොදා ගන්නා ඩමියක් ආකාරයේ බෝනික්කෙක් විදිහට ඇය දැක තිබෙනවා.නමුත් ආසන්නයට පැමිණ බලනවිට මේ අසාමාන්‍ය සුදකින් යුතුව දක්නට ලැබී තිබෙන්නේ බෝනික්කු නොව මියගිය සාමාන්‍යය කාන්තාවක් බව ඇය අවබෝධ කොට ගන්නවා.
                                  ඇය තවත් භීතියට පත් කරමින් මෙම මළ සිරුර තිබිලා තියෙන්නේ ඉන ප්‍රදේශයෙන් වෙන් වෙලා කොටස් දෙකක් විදිහට.අත් දෙක උඩට ඔසවා ගත්ත විදිහට තිබුණ මේ කාන්තාවගේ සිරුරේ කට දෙපැත්තෙන් කන ලගට වෙනකන්ම කපලා තිබුණා වගේම ඇඟ හැම තැනකම දරුණු කැපුම් දක්නට ලැබිලා තියනවා.ඇස් දෙකත් එලියට පැනලා තිබුණ මේ භයානක දර්ශණයෙන් දැඩි තැතිගැන්මට පත්වන ඇය කෙසේහෝ ඉක්මනින්ම පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
                                පොළිසිය පැමිණ සිදු කළ පරීක්ෂණ සහ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ඇඟ කිලිපොලා යන තවත් කරුණු රාශියක්ම අනාවරණය කර ගැනීමට හැකි වෙනවා.එහිදී සොයාගෙන තිබෙන විදිහට ඇයට මේ හැම දෙයක්ම ඝාතකයා සිදු කරලා තියෙන්නේ ඇය පණ පිටින් සිටිනවිට බව සොයා ගැනෙනවා.කෙසේවෙතත් ඝාතකයා ඇගේ සිරුරෙන් සියලුම ලේ එළියට ගෙන තිබීම තමයි මළ සිරුරේ අසාමාන්‍ය සුදු පැහැයට හේතුවෙලා තිබුණේ.මෙතරම් අසීමිත වේදනාවන් කන්දරාවක් උසුලපු මේ අවාසනාවන්ත තරුණිය මිය යන්න අධික රුධිර වහනය වගේම යකඩ පොල්ලකින් හිසට එල්ල කළ දැඩි පහරකුත් හේතුවෙලා තිබෙන බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වී තිබෙනවා.ඝාතකයාගේ කුරිරු බව යලි යලිත් සනාථ කරමින් සිරුර අසල තැබූ බෑගයක ඇගේ සිරුරින් ඉවත් කරගත් රුධිරයත් තබා ගොස් තිබූ බව පැවසෙනවා.
                                 මේ ආකාරයේම මරණයක් ලබා දිය යුතු වුණත් එම අපරාධයට වගකිව යුතු පුද්ගලයකු සොයා ගැනීමට ඇමරිකාව අපොහොසත් වනවා.කිසිඳු හෝඩුවාවක් නොමැතිව කාලය ගතවී යන අතරතුර දිනක් පොලිසියට ලිපියක් ලැබෙනවා.පොලිසිය විමතියට පත් කරමින් මෙය එවා තිබෙන්නේ තරුණියගේ ඝාතකයා විසිනුයි.කෙතරම් උත්සාහ කලත් කාන්තාව මරා දැමූ පුද්ගලයා සොයා ගැනීමට පොළිසියට හැකියාවක් නැති බවත් තමාම පැමිණ පොලිසියට භාරවන බවත් එහි සඳහන්ව තිබූ බව පැවසෙනවා.ඝාතනයක් සිදුකරලා සැඟවිලා ඉන්න හැකියාව තිබියදී අපරාධකරුවෙක් කරන මෙම ප්‍රකාශය නිසාම එම සිදුවීම පුවත්පත්වල පවා පලවන තරමටම ප්‍රසිද්ධියට පත් වනවා.
                                එකල පුවත්පත් මෙවන් සිදුවීම්වලදී සාමාන්‍යයෙන් අදාල පුද්ගලයාගේ සත්‍ය නම භාවිත කර නැහැ.ඒ නිසාම මෙම සිදුවීමට බඳුන්වන කාන්තාවගේ සත්‍ය නම " එළිසබත් ෂොට් " වුණත් ඔවුන් ඇය වෙනුවෙන් " බ්ලැක් ඩාලියා " නැත්නම් " බ්ලැක් දාලියා " කියන නම භාවිත කරන්නට කටයුතු කරනවා.ඇය නිතරම කලු පැහැයෙන් යුතු ඇඳුම් ඇඳීමත් , තද කලු පැහැති දිග කොන්ඩයත් මේ නම පටබැඳීමට හේතුවෙලා තිබුණා.
                                     කොහොම වුණත් අපරාධකරුවා නම් පොලිසියට භාර වෙලා නැහැ.කාලයකට පසු නිහැඬියාව බිඳ දමමින් මෙවර පොලිසියට ඝාතකයාගෙන් පාර්සලයක් ලැබෙනවා.එතුළ බ්ලැක් ඩාලියා භාවිත කළ මුදල් පසුම්බිය , රූපලාවණ්‍ය උපකරණ සහ ලිපිනයන් අඩංගු පොතකුත් තිබිලා තියනවා.මේ හරහා ලිපින පොතේ සටහන්ව තිබුණ පුද්ගලයකුගෙන් පොලිසිය ප්‍රශ්ණ කරනවා.සිනමා ශාලාවක් හිමි ඔහු බ්ලැක් ඩාලියා තමන්ගේ යහළුවකු බවත් ඇය මරා දැමීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් පවසනවා.ඔහුගේ පසුබිම සොයා බැලීමෙන් අනතුරුව ඔහු මෙම ඝාතනයට සම්බන්ධ නොමැති බවට පොලිසිය තහවුරු කර ගන්නවා. 
                                   ඉන් අනතුරුව පොලිසියේ සැකය ඇය ආශ්‍රය කළ පුද්ගලයකු වෙතයි.වෙනත් විවාහයක් තිබුණත් ඔහු බ්ලැක් ඩාලියා සමඟත් සබඳතාවයක් පවත්වා ගෙන ගොස් තිබුණා.සබඳතාවයක් තිබුණත් ඇය නොමැරූ බව ඔහු පැවසුවත් පොලිසිය එය පිළිගෙන තිබුණේ නැහැ.එයට හේතුව වෙලා තිබුණේ බ්ලැක් ඩාලියා අවසන්වරට මොහු සමඟ සිටීම.ඝාතනයට දවස් 06ට පෙර ඇය මොහුගේ වාහනයෙන් බැස යන ආකාරය කිහිප දෙනෙකුම දැක තිබුණා.මේ සැකය නිසාම පරීක්ෂණවලට යොදා ගන්නා එන්නතක් ලබා දීමෙන් පසුව ඔහුගෙන් ප්‍රශ්ණ කර තිබුණා.කෙසේවෙතත් එතනදී ඔහු නිවැරදි බවට සනාථ වී තිබෙනවා.
                                මීලඟට පොලිසිය ජෝර්ජ් නම් වෛද්‍යවරයෙක් පිළිබඳව සැක කරනවා.ඔහුගේ පසුබිම සොයා බැලීමේදී වෛද්‍යවරයා බ්ලැක් ඩාලියා සමඟ පමණක් නොව තවත් කාන්තාවන් බොහොමයක් සමඟ අනිසි සබඳතා තිබුණ බව හෙළිවනවා.සාක්ෂි ලබා දෙන ඔහුගේ පුතා මේක ඔහුගේ පියා කරන්න ඇති බව කියනවා.තමන්ගේ නිවසේ මුහුණ එතරම් පැහැදිලි නැති , නමුත් බ්ලැක් ඩාලියාගේ රූපයට සමාන ඡායාරූපයක් තිබුණ බවත් දැන් එය නොමැති බවත් වැඩි දුරටත් පවසනවා.ඩාලියාගේ සිරුරේ තිබුණ කැපුම් හැම එකක්ම වෛද්‍යවරයෙක් සැත්කමල් කරන ආකාරයට කපා තිබුණත් සාක්ෂි නොමැතිවීම නිසා පසුව ඔහු ඇමරිකානු අපරාධ අංශයෙන්ම සැකකරුවන්ගේ ලැයිස්තුවෙන් ඉවත් කරනවා.මේ විදිහට 350 දෙනෙකුගෙන් කට උත්තර ලබා ගත්තත් ඇමරිකානු අපරාධ අංශයට ඝාතකයා සොයා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ.
                                මේ හැමදේකින්ම පස්සේ නැවතත් ඝාතකයාගෙන් ලිපියක් ලැබෙනවා.ඔහු පොලිසියට විශාල කාලයක් ලබා දුන්නත් ඔවුන්ට තමන්ව අත්අඩංගුවට ගැනීමට නොහැකි වුණ බවත් සඳහන් කර තිබුණා.ඒ වගේම තවත් වසර 10ට තමන්ව නොසොයන ලෙසත් අත්අඩංගුවට නොගන්නා ලෙසත් ඉල්ලීමක් කරන ඔහු වසර 10ට පසුව පැමිණ භාරවන බවත් සඳහන් කර තිබූ බව පැවසෙනවා.කෙසේවෙතත් වාර්තාවන ආකාරයට මෙම ඝාතකයා පොලිසිට භාරවීමක් හෝ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමක් පිළිබඳව වාර්තා වන්නේ නැහැ.මෙතරම් ම්ලේච්ඡ ආකාරයට කාන්තාවක් ඝාතනය කළ අපරාධකරු ඇමරිකාව වැනි රටකට සොයා ගැනීමට නොහැකි වීම සැබැවින්ම මවිතය දනවන්නක්.කෙසෙවෙතත් වසර ගණනාවක් ගතවී තිබුණත් මෙම ඝාතනය අදටත් හෙළි නොවූ අබිරහසක්ම පමණයි.

Tuesday, April 18, 2023

ගලේ ගහලත් මරන්න බැරි වුණ මිනිස්සු


 

                                   මරණය කියන්නේ අපි හැමෝම උපතේදීම දින ගණන් නියම කරගෙන පැමිණෙන , නමුත් එම කාලවකවානු නොදන්නා නියත උරුමයක්.මරණය මිනිසා කරා ලඟා වන ආකාරය පැහැදිලි කළ නොහැකි වුවත් රිය අනතුරු , හදිසි අනතුරු , විවිධ රෝගාබාධ ආදී නොයෙකුත් හේතු සාධක පාදක කරගෙන මරණය මිනිසා කරා ලඟා වනවා.කෙසේනමුත් පරාජය කළ නොහැකි මරණය පරාජය කරමින් ජීවිතය ලද පුද්ගලයන් පිළිබඳවත් විටින්විට වාර්තාවනවා.අද ලිපිය තුළින් අපි කතා කරන්නේ සිතා ගැනීමට පවා අපහසු එවන් අවස්ථාවලදී මරුවා පැරදවූ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳවයි.
                                 
අකුණුවලට අභියෝග කළ මිනිසා :-

                             ඇමරිකා එක්සත් ජනපදයේ " ෂෙනන්ඩු " ජාතික වනෝද්‍යානයේ ආරක්ෂකයෙක් වන " රෝයි ක්ලේව්ලට් " කියන්නේ ලෝකයේ වැඩිම වාර ගණනක් අකුණු පහරවල්වලට ලක්වුණ පුද්ගලයා ලෙස ගිනස් වාර්තා පොතට එක් වුණ අයෙක්.ඔහුට 07 වතාවක් අකුණු පහරවලට ගොදුරු වීමට සිදුවී තිබුණා.නමුත් මොහු මේ කිසිම අකුණකින් මරණයට පත් වෙලා නම් නැහැ.සාමාන්‍යයෙන් අකුණු පහරකට බඳුන්වන පුද්ගලයෙක් ක්ෂණික මරණයකට ගොදුරු වුවත් මෙතරම් අකුණු පහරවලට ලක්වීමෙනුත් මොහු මරණයට පත් නොවීම පුදුම සහගතයි.මෙය වාසනාව නම් හත් වතාවක්ම එකම ආකාරයේ අනතුරකින් ගැලවීම සිදුවිය හැකි දෙයක් නොවේ.එසේනම් මොහුගේ ඇති විශේෂත්වය කුමක්ද?අධි බලයකින් පොළවට පතිතවන අකුණක් දරා සිටීමට තරම් ඔහු තුළ සැඟවී ඇත්තේ මොනවාද?

අහසින් වැටිලත් බේරුණු කෙල්ලෙක් :-

                                  සාමාන්‍යයෙන් උසින් වැඩි ගොඩනැගිල්ලකින් ඇද වැටෙන පුද්ගලයකුට පවා නියත ලෙසම මරණය ලඟා වන බව රහසක් නොවේ.එවන් තත්ත්වයක් තුළ මිනිසකු අහසින් වැටුණහොත් මියගියා දැයි ඇසීම පවා විහිලුවක් වනවා.නමුත් එම තත්ත්වය වෙනස් කිරීමට පේරු රාජ්‍යයේ ලීමා නගරයේ සිට බ්‍රසීලය වෙත ගුවන් යානයකින් ගමන් කළ 17 වියැති " ජුලියන් කෝක් " සමත්වනවා.ගුවන් ගමන අතරතුර ඇතුවූ හදිසි කුණාටු තත්ත්වයක් හේතුවෙන් දරුණු අකුණු පහරකට ලක්වන මේ ගුවන් යානය අඩි 10,000ක් පමණ ඉහළ සිට ඇමර්සන් වනාන්තරයට කඩා වැටී තිබෙනවා.
                                 අනතුර හේතුවෙන් පාදවලට හානි සිදුවී තිබුණත් ඇය දින 11ක් වනාන්තරය තුළ තම ජීවිතය ආරක්ෂා කර ගැනීමටත් සමත්ව තිබෙනවා.එම කාලය තුළ ගස්වල කොළ වර්ග සහ අනතුරින් මියගිය පුද්ගලයකුගේ සාක්කුවෙන් සොයාගත් රසකැවිලි කිහිපයක් ඇයගේ ආහාරය වී තිබුණා.මේ අතරතුර ටිකෙන් ටික ඉදිරියට ගිය ඇය වනාන්තරයේ ඩිටි මිෂනාරිවරුන් දෙදෙනෙක් සොයා ගැනීමට සමත්වනවා.පසුව ඔවුන් බෝට්ටුවක් මගින් ඇයව රෝහලක් වෙත යොමු කිරීම නිසා ඇයගේ ජීවිතය දෙවන වරටත් ආරක්ෂාවනවා.ඇගේ මව ඇතුළු ගුවන් යානයේ ගමන් කළ 91 දෙනාටම මරණය ලඟා කළ මෙම දරුණු අනතුරෙන් ඇගේ දිවි රැකුනේ කෙසේද?

උල්කාපාතයක් ඇඟේ වැදිලත් බේරුණු කාන්තාව :-
                                   ඇමරිකානු ජාතික කාන්තාවක් වන " ඈන් එළිසබත් " 1954 නොවැම්බර් 30 ඇමරිකා එක්සත් ජනපදයේ ඇලබාමාවල ඕක්‍රෝ ප්‍රදේශයේ දී ඉතාම දුර්ලභ අනතුරකට මුහුණ පානවා.එදින දහවල් 2.56ට පමණ ඇගේ සිරුරට උල්කාපාත කැබැල්ලක් කඩා වැටෙනවා." සයිලකෝගා " ( Sylacauga ) නමින් නම් කෙරුණු මෙය කිලෝග්‍රෑම් 5 1/2ට වැඩි බරකින් යුක්ත වන බව පැවසෙනවා.මෙම උල්කාපාතය වර්තමානය වනවිටත් ඇමරිකා එක්සත් ජනපදයේ " නැෂනල් මියුසියම් ඔෆ් නැෂනල් හිස්ට්‍රි " කෞතුකාගාරයේ සුරැකිව තිබෙනවා.අභ්‍යාවකාශයේ සිට කඩා වැටුණු මෙතරම් බරැති උල්කාපාතයක් වැදීමෙන් පවා ඇගේ ජීවිතය හානියක් නොවුණේ කෙසේද?
                                සැබැවින්ම මෙතරම් ප්‍රබල අනතුරුවලින් පවා ඔවුන්ගේ ජීවිත ආරක්ෂා වුණේ කෙසේද?මෙය වාසනාව නම් වරින්වර අකුණු පහර ගණනාවකට ලක්වීමෙන් පවා ජීවිතය ආරක්ෂා වීමට රෝයි සතුව තිබුණේ කුමක්ද?ගලේ ගැසුවත් වේලාව පැමිණෙනතෙක් මරණයට පත් කරන්නට නොහැකි බවට සමාජයේ පවතින මතය සනාථ කරන මෙවන් සිදුවීම් අහඹු සිදුවීම්ද?වාසනාවද?නැතහොත් ඔවුන් තුළ පවතින යම්කිසි ශක්තියක්ද?

Saturday, April 15, 2023

සුපර් මෑන් සාමාන්‍යය මිනිසුන් අතරට?


 

                                    ලෝකයේ විවිධ හැකියාවන් , ශක්තීන් තිබෙන පුද්ගලයන් බොහොමයක් සිටිනවා.ඒ අතර සාමාන්‍යය මිනිසෙකුට කළ නොහැකි පුදුම සහගත දේවල් කරන අපූරු හැකියාවන් තිබෙන පිරිසුත් සිටිනවා.නමුත් අතුරුදන් වන මිනිස්සු , ජලය මත ඇවිදින මිනිස්සු , අතවත් නොතියා මිනිසෙක්ව ඉහලට ඔසවන්න හැකියාව තිබෙන මිනිස්සුනම් ඉන්නේ චිත්‍රපටවල නැත්නම් අපි බලන කාර්ටූන්වල විතරයි.නමුත් අනපේක්ෂිත විදිහට අපි අතරම සිටින මෙවන් පිරිස් කැමරාවට හසුවූ අවස්ථාවනුත් ඉඳහිට ලෝකයේ විවිධ ස්ථානවලින් වාර්තා වෙනවා.අද අපි කතා කරන්නේ එවන් අපූරු අවස්ථාවන් කිහිපයක් පිළිබඳවයි.


අතුරුදන් වන මිනිසා :-

                                ඕස්ට්‍රේලියාවෙන් තමයි මේ සිදුවීම වාර්තා වෙන්නේ.එළිමහනේ උදෑසන පටිගත කළ සජීවී වැඩසටහනක් අතරතුර පාර මාරුවී ගමන් කරමින් සිටින පුද්ගලයෙක් හිටි හැටියේම අතුරුදන් වී යන ආකාරය සටහන්ව තිබුණා.

පියාඹන ගැහැණු ළමයා :-

                                  මේ සිදුවීම වාර්තා වන්නේ 2000 වර්ෂයේදී.බල්ලෙක් සමඟ සෙල්ලම් කරමින් සිටින මිනිසකුගේ දර්ශනයක් පටිගත වී තිබෙන කැමරා කාචයට හිටි හැටියේම කිසිඳු ආධාරකයක් පවා නොමැතිව බොහොම සැහැල්ලුවෙන් අහසේ පාවෙමින් සිටින ගැහැණු ළමයෙකු හසුවී තිබෙනවා.ඒ අසලම සාමාන්‍යය දෙයක් දෙස බලා සිටින ආකාරයෙන් එදෙස බලා සිටින කාන්තාවකුත් සිටිනවා.නමුත් මොවුන් කවුරුන්ද යන්න නම් සිතා ගැනීමේ හැකියාවක් පවා නැහැ.

තරුණ මායාකාරිය :-

                                මායාකාරියන් ගැන අපි අහලා තිබෙන්නේ පුංචි කාලේ අහපු කතන්දරවල විතරයි.එයාලට විවිධ දේවල් මවන්න , අතුරුදන් කරන්න වගේම එහාමෙහා කරන්න පවා හැකියාව තිබුණා.අනපේක්ෂිත අවස්ථාවක තරුණියක් තමන්ගේ අත සුලු එහා මෙහා කිරීමකින් මේසයක් එහා මෙහා කරන ආකාරය කැමරාවේ සටහන් වෙලා තිබෙනවා.සාමාන්‍යය පුද්ගලයකුට කරන්න බැරි මේවගේ දෙයක් මේ තරුණිය කරන්නේ කොහොමද?

අතුරුදන් වූ යතුරුපැදිය :-

                                පුද්ගලයෙක් කුමන හෝ ආකාරයට , බලයකින් අතුරුදන් වුණා කියලා හිතුවත් යතුරුපැදියකුත් සමඟ මිනිසෙක් අතුරුදන් වෙන්න පුළුවන්ද?CCTV කැමරාවක සටහන්ව තිබුණු මේ දර්ශණයේ භාණ්ඩ බෙදා හරින වාහනයක් පසුකර යන ස්කූටි වර්ගයේ යතුරුපැදියක් එක්වරම අතුරුදන් වන ආකාරය සටහන්ව තිබෙනවා.වාහනයේ සිටි පිරිස් පවා පැමිණි යතුරුපැදිය පිලිබඳව විමසා බලන ආකාරය පවා මෙහි සටහන්ව තිබුණත් යතුරුපැදිය සහ යතුරුපැදිකරුවා පිළිබඳව හෝඩුවාවක්වත් ඉතිරි වී නැහැ.මෙවන් බලයන් තිබෙන පුද්ගලයන්ට වාහන පවා තමන් සමඟම අතුරුදන් කළ හැකිද?

මිනිසුන් පා කරන තරුණිය :-

                                   සෙනග බොහෝමයක් රැස්වී සිටින ස්ථානයක කැමරාවක සටහන් වී තිබූ මෙම දර්ශණයෙහි තරුණියක් එක්තරා පුද්ගලයකු සමඟ දුම්රියක් ආසන්නයේ බහින්බස් වන ආකාරය දක්නට ලැබෙනවා.ආරවුල අතරතුර තරුණිය අසලට පැමිණීමට උත්සාහ දරන මෙම මිනිසාව කිසිඳු ස්පර්ශයකින් තොරව අත දිගු කිරීමකින් ඈතට තල්ලු කොට දමන්නට හැකි වෙනවා.ඊට විරුද්ධව ඉදිරිපත් වන තවත් මිනිසකු පසුපසට තල්ලුකර අඩි කිහිපයක් ඉහලට ඔසවා ගෙන සිටින්නටත් ඇයගේ අත දිගු කිරීමකට හැකිවනවා.ඇත්තටම මේ සුපර් පවර්ස් තිබෙන කෙනෙක්ද?

The Flash :-

                                  ෆ්ලෑෂ් කියන්නේ කතාවක ඉන්න මනකඃල්පිත් පුද්ගලයෙක් වුණත් මේ කියන්න සූදානම් වෙන්නේ සාමාන්‍යය ලෝකයයෙන් වාර්තා වුණ එවන් පුද්ගලයෙක් පිළිබඳවයි.රාත්‍රී කාලයේ පාරේ යන වාහන පිළිබඳව කිසිම සැලකිල්ලක් නොදක්වා පාර හරහා මාරු වීමට යතුරුපැදිකරුවකු කටයුතු කරනවා.ඉතාම බයානක අනතුරක් අත පොවන මානයේ තිබියදී ඉතාමත් වේගයෙන් එන අද්භූත මිනිසකු ක්ෂණයකින් පාපැදියකරු බේරාගෙන පාරෙන් ඉවන් කරනවා.තවත් වාහනයක ඉදිරිපස කැමරාවක සටහන් වුණ මෙම දර්ශණය පිළිබඳවත් පැහැදිලි කිරීමක් කිරීමට සමත් පුද්ගලයකු නැහැ.

අද්භූත මිනිසා :-

                                 මේ සිදුවීම වාර්තා වන්නේත් රාත්‍රී කාලයේ ගමන් කළ වාහනයක ඉදිරිපස කැමරාවක් තුළිනුයි.වාහන අවම වන රාත්‍රී කාලයට වාහන තරමක් වේගයෙන් ගමන් කිරීම සාමාන්‍යය තත්ත්වයක්.මේ වගේ අවස්ථාවක පාර මාරු වෙන්න උත්සාහ කරන කාන්තාවක් වාහනයක ගැටෙන්නට ආසන්න මොහොතක ඉතා වේගයෙන් පැමිණෙන අද්භූත පුද්ගලයෙක් හෝ බලවේගයක් ඇය පාරේ අනිත් පසින් තැබීමට කටයුතු කළ ආකාරය කැමරාවේ සටහන්ව තිබෙනවා.
                                    සැබෑවටම මේ අද්භූත මිනිසුන්ද?එසේත් නැතිනම් මේ අපි කාර්ටූන්වල , චිත්‍රපටවල දකින සුපර් මෑන් වැනි සුපර් පවර්ස් තිබෙන පුද්ගලයද?නැතහොත් මේ සියලු දෙනා මනස දියුණු කළ පිරිස්ද?මොවුන්ට මේ හැකියාවන් ලැබුණේ කෙසේද?මේ කිසිවකට නිෂ්චිත පිළිතුරක් තවමත් කිසිවකු සතුවත් නැහැ.එදිනෙදා අප අසන , දකින සාමාන්‍යය දෙයට වඩා ඉතා වෙනස් , පුදුමාකාර සිදුවීම් විටින්විට තවමත් අප පුදුමයට පත් කරමින් ලෝකයේ විවිධ ස්ථානවල සිදුවන බවනම් පැහැදිලියි.

Thursday, April 13, 2023

ප්‍රදීපාගාර පාලකයන් හිටිහැටියේ අතුරුදන් වෙයි


 

                                    දුරින් හිඳ බලාසිටිනවිට ඉතාමත් සරල , පහසු ලෙස පෙනෙන කාර්‍යයන් සියල්ලම පාහේ තමන්ට පැවරුණුවිට ඉතාමත් දුෂ්කර කාර්‍යයන් බව වැටහීමට පටන් ගන්නවා.නාවික ගමන් කියන්නේත් අන්න ඒ වගේම අපිට පහසුවට සුන්දරව පෙනෙන නමුත් බොහොම බැරෑරුම් කටයුත්තක්.මෙහි බැරෑරුම් බව , අවදානම්බව සහ බයානක බව හොඳින්ම හඳුනන්නේ එම ගමන්වල නිරතවන නාවිකයනුයි.මෙම ගමන්වලදී පැමිණෙන කුණාටු අවස්ථාවලදී ඔවුන්ට බොහොම වටිනා සහයෝගයක් ලබා දෙන කෙනෙක් තමයි ප්‍රදීපාගාර.අද ලිපියෙන් අපි කතා කරන්න යන්නේ ෆ්ලැනන් අල්ස් ( Flannan Isles ) ප්‍රදීපාගාරයෙන් වාර්තා වුණ අතුරුදන් වීමක් සම්බන්ධවයි.

                                 ෆ්ලැනන් අල්ස් කියන්නේ 1895 වසරේ ඉදිකිරීම් ආරම්භ කොට 1899 දෙසැම්බර් 07 වනවිට සම්පූර්ණයෙන්ම වැඩ නිමකල ප්‍රදීපාගාරයක්.මෙය පිහිටා තිබෙන්නේ අයිලියන්මෝර් දූපතේ ස්කොට්ලන්තයේ බටහිර වෙරළට ඔබ්බෙන් වුණ පිටත හිබ්‍රිඩීස් කුඩා දූපත් සමූහයෙන් කොටසකයි.වර්තමානය වනවිටත් පවතින මෙය දුරස්ථ ප්‍රදේශයක පිහිටි බොහොම හුදකලා ප්‍රදීපාගාරයක් ලෙස සැලකෙනවා.
                               1900 වසරේදී බ්‍රිතාන්‍ය රජය මෙම ප්‍රදීපාගාරයට පාලකයන් තිදෙනෙකු යෙදවීමට ගන්නා තීරණයට අනුව ජේම්ස් ඩ්‍රැකට් , තෝර්මස් මාෂල් ඩොලන්ඩ් මැකා සහ ජෝසප් මූවර් සේවය සඳහා යොදවනවා.මොවුන් හතර දෙනාට සති 06ක සේවා කාලයකුත් ඉන් අනතුරුව සති 02ක නිවාඩුවකුත් ලබා දීමට තීරණය කොට තිබුණා.මේ ආකාරයට රාජකාරී කටයුතු සිදුවන අතරතුර 1900 දෙසැම්බර් 15 මෙම ස්ථානය පසු කරමින් තිබූ ආර්ක්ට් නෞකාවට ප්‍රදීපාගාරයේ ආලෝකය දැල්වී නොමැති බව නිරීක්ෂණය වනවා.ජේම්ස් , තෝර්මස් සහ ඩොනල්ඩ් යන පාලකයන් තිදෙනාට මෙදින රාජකාරී කටයුතු පැවරී තිබූ අතර ජෝසප් මූවර් ප්‍රදීපාගාර ගොඩබිමෙන් බැහැරව සිටියා.අවාසනාවන්ත ලෙස නොවෙනස්ව පැවති දැඩි කුණාටු තත්ත්වය නිසා ආර්ක්ට් නෞකාවේ නාවිකයන්ට මෙම තත්ත්වය දැන්වීමට හෝ විමර්ශනය කිරීමට අයෙකු යැවීමේ හැකියාවක් තිබුණේ නැහැ.
                                  කෙසේවෙතත් දින 11ට පසුව 04වන ප්‍රදීපාගාර පාලකයා මූවර් පැමිණෙන තෙක්ම මෙම ප්‍රදීපාගාරය වෙත කිසිවකුත් පිවිස තිබුණේ නැහැ.නමුත් ඔහුට ඔහුගේ සෙසු ප්‍රදීපාගාර පාලකයින් කිසිවෙකුත් දැක ගැනීමට වාසනාව උදා වන්නේ නැහැ.මොවුන්ගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් විමර්ශන ඇරඹුණු පසුව ආර්ක්ට් නෞකාව සහ ප්‍රදීපාගාරය පිළිබඳව විමලිමත්ව සිටීමට යොදවා සිටි මේ දූපත් ආසන්නයේ ජීවත් වූ ක්‍රීඩකයෙක් වන රොඩ්‍රික් මෙකෙන්සිත් සති 02ට ආසන්න කාලයක් ප්‍රදීපාගාරයෙන් එළියක් නොදැල්වුණු බවට සාක්ෂි සපයනවා.
                                 නමුත් එදිනෙදා කටයුතු පිළිබඳව සටහන් තැබීමට භාවිත කළ ලොග් පොතට අනුව 15වැනි දින උදෑසන කාලයේදී රාත්‍රී ආලෝක දැල්වීමට සියලු කටයුතු සූදානම්ව තිබී ඇති බවට පැහැදිලි වනවා.ප්‍රදීපාගාරය පරීක්ෂා කිරීමේදී එහි සියලු ඔරලෝසුවල වේලාව නතර වී තිබෙන බවත් අයහපත් කාලගුණයෙන් ආරක්ෂකයන් ආරක්ෂා කර ගැනීමට අඳින ජල ආරක්ෂක ඇඳුමකට සමාන " තෙල් සම් " 02ක් නොමැති බවත් හෙළිවනවා.මේ ඇඳුම් ඇඳගෙන පාලකයන් ප්‍රදීපාගාරයෙන් එළියට ගිය බවට සිතිය හැකි වුවත් ඉදිරිපස දොරටුව සහ ගේට්ටුව වසා තිබීම එයටත් බාධා ගෙන එනවා.
                                 මීට අමතරව කිසිඳු හෝඩුවාවක් ප්‍රදීපාගාරය තුළින් ලැබී තිබුණේ නැහැ.මේ නිසාම ඔවුන් දූපතට ගොඩ බැසීමට භාවිත කරන ස්ථාන 02ත් ඔවුන්ගේ නිරීක්ෂණයන්ට භාජනය වනවා.නැගෙනහිර ගොඩබැසීම කිසිඳු හානියකින් තොරව සාමාන්‍යය ආකාරයටම තිබුණත් බටහිර වෙරළබඩ පැවති ගොඩ බැසීමට කුණාටුව හේතුවෙන් හානි ඇතිවී තිබුණා.මේ සියලුම හේතූන් මත පරීක්ෂකයින් ප්‍රදීපාගාරයේ සියලුම පාලකයන් බටහිර ගොඩ බැසීමේදී මිය ගිය බවට නිගමනය කරනවා.
                                  නමුත් මෙතරම් පලපුරුදු පිරිසක් එක්වරම හෝඩුවාවක්වත් නොමැතිව මරණයට පත් වේවිද?ඒ සැකය නිසාම මේ පිළිබඳව බොහොමයක් මත ඉදිරිපත් වී තිබෙනවා.බොහෝ දෙනාගේ විශ්වාසය වී තිබෙන්නේ මොවුන් තිදෙනා වෙනත් ලෝකයකින් පැමිණි පිරිසක් විසින් පැහැර ගන්නට ඇති බවයි.රණ්ඩුවක් ඇතිවී තිදෙනාම මුහුදට වැටුණු බවටත් එක් අයෙක් මේ සියලු දෙනා මරා දමා සියදිවි නසා ගන්නට ඇති බවටත් ආදී වූ විවිධ මතයන් මේ වටා එක්රොක් වී තිබෙනවා.කෙසේ වෙතත් අදටත් මේ ප්‍රදීපාගාර පාලයන්ගේ අතුරුදන් වීම අබිරහසක්ම පමණයි.

Wednesday, April 12, 2023

අවතාර අධ්‍යාපනය ලබන ලෝකප්‍රකට  පාසල්


 

                                    පාසල් කාලය කියන්නේ අපි කාගේත් සිතට බොහොම සතුටක් සැහැල්ලුවක් එක් කරන මතකයන් ගොන්නක් රැඳුණු කාලසීමාවක්.කොයිතරම් සොඳුරු මතකයන් ගොන්නක් රැඳී තිබුණත් හොල්මන් අවතාර දකින්න ලැබුණු අත්දැකීමක්නම් බොහෝවිට නැති වෙන්න පුළුවන්.නමුත් හොල්මන් අවතාර දකින්න ලැබෙන මේ දේවල් නිසාම ලෝකප්‍රකට වුණ පාසල් කිහිපයකුත් මේ ලෝකයේ තිබෙනවා.අද ලිපියෙන් අපි කතා කරන්නේ එවන් හොල්මන් අවතාර සැරිසරන පාසැල් කිහිපයක් ගැනයි.


El Paso High School සිදුවීම :-
                                    මෙම පාසල ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් පෙදෙසේ පිහිටා තිබෙන වසර 100ත් වඩා පැරණි පාසලක්.හොල්මන් අවතාර නිතර සැරිසරන පාසලක් බවට විදෙස් මාධ්‍ය මේ පාසල පිළිබඳව සඳහන් කර තිබුනත් ලෝකප්‍රකට වූ සිදුවීම වාර්තා වී තිබෙන්නේ 1985 වසරේදීයි.පාසලෙන් ඉවත්වන සිසුසිසුවියන්ගේ සමූහ ඡායාරූපයක් ලබා ගැනීම සාමාන්‍ය සිරිතක්.මේ විදිහට මෙම වසරේත් පාසලෙන් ඉවත්වන සිසුන්ගේ සමූහ ඡායාරූපයක් ලබාගෙන තිබෙනවා.නමුත් මෙහි අසාමාන්‍යභාවය හෙළිවන්නේ එම ඡායාරූප මුද්‍රණය කිරීමෙන් අනතුරුවයි.ෆොටෝෂොප් වැනි ඡායාරූප එඩිට් කිරීමේ හැකියාව සහිත මෘදුකාංග නොතිබුණු එම කාලයේදී ලබාගත් මෙම ඡායාරූපයේ ඔවුන් සමග නොසිටි , කිසිදින දැක නැති ඡායාවක්වන් කාන්තාවක් සිටින බව දක්නට ලැබී තිබෙනවා.නමුත් මෙම කාන්තාව දෙපස සිටින දෙදෙනා පවා මෙවන් අයකු තමන් සමඟ ඡායාරූපයකට පෙනී නොසිටි බව තහවුරු කර තිබෙනවා.එසේ නම් මෙම ඡායාරූපයට හසු වී තිබෙන්නේ කවුරුන්ද?


Lambertville High School සිදුවීම :-
                                ලැම්බර්විල් උසස් පාසල 1854 දී ආරම්භ කර තිබුණත් 1924 දී ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුණා.නැවත වරක් පාසල 1952 දී ආරම්භ කලත් අවාසනාවන්ත ලෙස නැවතත් 1992 වසරේදීත් ගින්නකින් විනාශවී යනවා.මෙම පාසලත් හොල්මන් අවතාර සැරිසරන ස්ථානයක් විදිහටයි සැලකෙන්නේ.මෙම පාසලේ පාපන්දු කණ්ඩායම සහ තවත් කණ්ඩායමක් සමඟ පැවති තරඟයකදී එක් ක්‍රීඩකයෙක් අනතුරක් හේතුවෙන් මිය ගොස් තිබෙනවා.වාර්තා වන ආකාරයට මෙම ක්‍රීඩකයා පාසලේ විවිධ ස්ථානවල සිට හමුවන තරුණයන්ට පාපන්දු තරඟයකට අභියෝග කරනවා.කොහොම වුණත් මේ පාසල නම් වර්තමානය වනවිට දක්නට ලැබෙන්නේ නැහැ.


Hollywood High School සිදුවීම :-
                                අඳුර වැටෙනවිට දොරවල් ඇරෙන වැසෙන සිදුවීම් සාමාන්‍යය තත්ත්වයක් බවට පත්ව තිබෙන මෙම පාසල ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි හොල්මන් අවතාර අරක්ගත් බවට ප්‍රසිද්ධ තවත් පාසලක්.වාර්තා වන ආකාරයට අවම වශයෙන් මෙම පාසලේ ප්‍රධාන ශාලාවේ භූත ආත්ම 03වත් සැරිසරන බව පැවසෙනවා.මෙම ශාලාව තුළදී ටෝබි නම් ශිෂ්‍යයෙක් වෙඩි තබා ගැනීමෙනුත් තවත් කාන්තාවක් ගෙල වැල ලා ගැනීමෙනුත් සියදිවි හානිකර ගෙන තිබෙනවා.ඔවුන්ට අමතරව මියගිය සේවිකාවකගේ ආත්මයක් සහ සේවය කළ ගුරුවරුන්ගේ ආත්මයනුත් මෙහි සැරිසරන ආකාරය දුටු පිරිස් පවා සිටිනවා.
මෙතරම් ආතමයන් ගණනාවක් මෙම පාසල හැර නොයා එහිම රැඳී සිටීමට හේතුව කුමක්ද?


Peenang High School සිදුවීම :-
                                  මැලේසියාවේ පීනැන් දුපත 1816දී බ්‍රිතාන්‍යයන් ආක්‍රමණය කිරීමෙන් පසුව අරඹන ලද පීනැන් උසස් අධ්‍යාපන පාසල වසර 200ට වඩා පැරණි පාසලක්.මෙය මුල් කාලීනව දූපතේ දරුවන් සඳහා නොමිලේ අධ්‍යාපනය ලබා දීම සිදු කෙරුණු පාසලක් වුවත් දෙවන ලෝක යුධ සමයේ ජපානය විසින් මෙය සිරකඳවුරක් පවත්වාගෙන යාම සඳහා භාවිතයට ගෙන තිබුණා.එහිදී අනේකවිධ වධබන්ධනවලට ලක් වුණු සිරකරුවන්ගේ ආත්ම මෙම පාසල තුළ තවමත් සැරිසරන බවට වාර්තා වනවා.තවමත් මෙම පාසල තුළ රාත්‍රී කාලයට විවිධ කෑගැසීම් , අසාමාන්‍ය ශබ්ද ඇසෙන බවත් මධ්‍යම රාත්‍රිය පසු වනවිට කාන්තාවක් වේදනාවෙන් කෑගසන හඬක් නිරන්තරයෙන් අසන්නට ලැබෙන බවත් වාර්තා වනවා.
                                   සැබෑවටම ලෝකයපුරා විවිධ රටවල පාසල්වලින් වාර්තා වන මෙම සිදුවීම් මොනවාද?එම සිදුවීම්වලට හේතුව කුමක්ද?සාමාන්‍ය මනුෂ්‍යයාගේ බුද්ධියට ගෝචර නොවන මෙවන් ප්‍රශ්නවලට කවදානම් පිළිතුරු ලැබේවිද?

Monday, April 10, 2023

කාලතරණයේ සිහිනය සැබෑ වෙයි ?     


 

                                       කාලය කියන්නේ ආපසු හැරවිය නොහැකි අතින් අල්ලා නැවත්විය නොහැකි හරිම අපූරු දෙයක්.ලෝකයේ සිටින නොයෙක් විද්වතුන් මේ කාලය ජය ගැනීමට දරණ වෙහෙස අපමණයි.එදා සිට අද දක්වාම බොහොම කුතුහලයක් ඇති කරන කාලතරණය කළ හැකි ආකාරය සොයාගත් පුද්ගලයන් සිටින බවට හැඟෙන සාධක ඉස්මතු වන අවස්ථාද තිබෙනවා.අද ලිපිය තුළින් අප කතා කරන්නේ අතීතයේ ඡායාරූප , චිත්‍ර මගින් හෙළිදරව්වන කාලතරණය සැබෑවක් බවට හැඟෙන සාධක කිහිපයක් පිළිබඳවයි.

                                ජංගම දුරකතනය කියන්නේ වර්තමානයේ අපිට බොහොම සමීප වුණ උපකරණයක්.නමුත් මේ උපකරණය අප අතට පත් වන්නේ නම් 1992 තරම් මෑත කාලයකයි.නමුත් එක්දහස් නවසිය තිස්ගණන්වල නිර්මාණය කළ සිතුවමක ජංගම දුරකතනයක් දක්නට ලැබුණහොත් ඔබ මවිත වේවි.නමුත් එක්දහස් නවසිය තිස්ගණන්වල නිර්මාණය කළ ඇමරිකාවේ ස්වදේශික මිනිසුන් වන රතු ඉන්දියානුවන් සහ යුරෝපා ජාතිකයන් එකට සිටින සිතුවමක් තිබෙනවා.මේ සිතුවමේ එක් කෙළවරක රතු ඉන්දියානුවෙක් ජංගම දුරකතනයක් වැනි යමක් දෙස බලා සිටින ආකාරය නිරූපණයවනවා.සිතුවමකින් ඔවුන් නිර්මාණය කරන්නේ ඔවුන්ට දක්නට ලැබෙන දෙයක් නිසා මෙම දර්ශණයත් සිතුවම්කරුවා දුටු බව විශ්වාස කළ හැකියි.නමුත් එවන් අතීතයකට මෙවන් මෑත කාලීන උපකරණයක් පිවිසියේ කෙසේද යන්න ගැටළුවක්.
                                    මීළඟට අපි කතා කරන්නේ 1940 දශකයේ ලබාගත් ඉතාමත් පැරණි ඡායාරූපයක් පිළිබඳවයි.1941 වසරේ කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ තිබුණ කෞතුකාගාරයක් විවෘත කරන උත්සවයක් අතරතුර ලබාගත් ඡායාරූප අතරින් එක්තරා සුවිශේෂී ඡායාරූපයක් හමුවී තිබෙනවා.මෙම කෞතුකාගාරය විවෘත කෙරෙනතුරු බලා සිටින අනෙත් පුද්ගලයන් නිරීක්ෂණය කළහොත් ඔවුන් සියලු දෙනාම එකල ප්‍රසිද්ධ විලාසිතාවන් වන කැප් තොප්පියකින් සහ කබායකින් සැරසී සිටින ආකාරය දැක ගත හැකියි.නමුත් මේ පිරිස අතර සිටින එක් තරුණයෙක් අව් කණ්ණාඩියක් පැළඳගෙන ටී ශර්ට් එකක් ඇඳලා ඒකට උඩින් ජැකට් එකක් දමාගෙන සිටිනු දක්නට ලැබෙනවා.
                                  ඒ වගේම හොදින් ඔහුගේ අත්දෙක නිරීක්ෂණය කළහොත් ඔහුගේ අතේ කැමරාවක් තිබෙන ආකාරයක් නිරීක්ෂණය වනවා.1941 වනවිට මිනිසුන්ට අතේ රැගෙන යා හැකි කැමරා තිබුණත් මේ තරුණයා අතේ තිබෙන කැමරාවේ හැඩයට එම හැඩයන් සමාන වී නැහැ.පරීක්ෂකයන් පවසන ආකාරයට මොහුගේ අතේ තිබෙන කැමරාව මුලින්ම නිකුත් කොට තිබෙන්නේ එක්දහස් නවසිය අනූගණන්වල බව පැවසෙනවා.එවන් කැමරාවක් නිකුත් වීමට දශක 05ටත් පෙර ඡායාරූපයකට මෙම කැමරාව පැමිණියේ කෙසේද?ඒ වගේම මේ පුද්ගලයා ඇඳගෙන සිටින ටී ෂර්ට් එකේ අකුරක් මුද්‍රණය කර තිබෙන ආකාරයකුත් දිස්වනවා.එවන් මුද්‍රණ ආරම්භ කලේත් 1950 පසුව නිසා මොහු කාලතරණය කර පැමිණි පුද්ගලයෙක් බවට බොහෝදෙනා විශ්වාසය පළ කරනවා.
                                  2008 වසරේ චීනයේ පුරාණ සොහොන් ගැබක කැණීම් කටයුතු කරන පුරාවිද්‍යාඥයන්ට එහි තිබී අතේ පළඳින මුද්දක් ප්‍රමාණයේ ඔරලෝසුවක් හමුවී තිබෙනවා.මිලි මීටර් දෙකක් විතර ගණකමකට තිබිල තියන මේ ඔරලෝසුවේ වෙලාව 10.06ට නැවතිලා තිබිලා තියෙනවා.ඒ වගේම තවදුරටත් මේ පිළිබඳව කළ පරීක්ෂණවලින් විද්‍යාඥයන්ට ඔරලෝසුව පිටුපස ඉංග්‍රීසි භාෂාවෙන් " SWISS " ලෙස සටහන් වී තිබෙන ආකාරයත් දක්නට ලැබෙනවා.1848 වසරේ තමයි මේ ලෝකයේ ස්විටර්ලන්තය කියන රට නිර්මාණය වෙන්නේ.එසේනම් 1848 නිර්මාණය වූ රටක නිෂ්පාදනය කළ ඔරලෝසුවක් 1368 - 1644 අතර කාලයේ නිර්මාණය කළ සොහොන් ගැබක තිබෙන්නේ කෙසේද?
                                    සැබැවින්ම මේ උපකරණ සහ පුද්ගලයන් කාලතරණය කාලතරණය කළ පුද්ගලයන්ද?ලෝකයාට හොර රහසේ කිසියම් විද්වතුන් පිරිසක් ඊට අදාල තාක්ෂණයක් නිර්මාණය කළාද?

Sunday, April 9, 2023

ජීවිතය වෙනස් කරන 14වෙනි පඩිය


 

                                        මිනිසුන් විවිධ හේතු නිසා සියදිවි හානි කරගන්නා අවස්ථා ගැන අප කොතෙකුත් අසා තිබෙනවා.නමුත් යම් ස්ථානයකට රාත්‍රී කාලයේ යන සියලු දෙනාම සියදිවි නසා ගන්නවා නම් අතුරුදන් වනවා නම් එය සැබැවින්ම අවදානය යොමු කළ යුතු ස්ථානයක්.අද ලිපිය තුළින් අප කතා කරන්නේ ලෝකයේ පවතින මෙවන් අද්භූත ස්ථානයක් පිළිබඳවයි.
                                 මෙය තායිවානයේ ෂැංහයි නම් විශ්ව විද්‍යාලය පිටුපස තිබෙන එක්තරා පැරණි පාලමක්.තායිවාන වැසියන් පවසන විදිහට මේක ශාපලත් අබිරහස් පාලමක්.මේ ස්ථානයයේ සිදු වුණ සියලුම අබිරහස්වලට සම්බන්ධවන පඩි 13න් සමන්විත පාලමකුත් මේ අසල තිබෙනවා.විශ්වාස කිරීම අපහසු වුවත් වාර්තාවන විදිහට මධ්‍යම රාත්‍රියෙන් පසුව මෙම පඩිපෙළට තවත් පඩියක් එකතුවනවා.
                            නොදැනුවත්ව හෝ කිසියම් අයෙක් මේ අවස්ථාවේ පාලම පසු කරගෙන ගොස් 14වෙනි පඩියට අඩිය තැබුවහොත් ඔහුගේ පසුපසින් භයානක ශාපයක් පැමිණෙනවා.මුලින්ම පඩිපෙළ පසුකරගෙන යන ඒ පුද්ගලයාට ඇඟ කිළිපොලා යන ආකාරයේ සීතල සුළඟක් දැනෙන බවත් ඒත් සමඟම කාන්තාවකගේ භයානක කටහඬක් පසුපසින් ඇසෙන්නට පටන් ගන්නවා.පුදුම සහගත විදිහට මේ කාන්තාව එම ස්ථානයට පිවිසෙන පුද්ගලයාගේ නමින්ම තමයි මේ අවස්ථාවෙදී කතා කරන්නේ.
                                   මේ කාන්තාව විමසා සිටින්නේ ඒ අවස්ථාවේ වේලාව කීයද කියලයි.කොහොම වුණත් මේ කාන්තාව කතා කලොත් ආපසු හැරිලා බලන්න නම් හොඳ නැහැ.බැරිවෙලාහරි එහෙම හැරිලා බැලුවොත් ලේ පිපාසිත වියරුවෙන් ඉන්න කාන්තාවක් තමයි දකින්න ලැබෙන්නේ.පසුව මේ කාන්තාව එම පුද්ගලයාව ඉතාම අමානුෂික විදිහට ඝාතනය කරලා පාලමෙන් පහලට විසිකර දමනවා.මේ කාන්තාව නම කියලා කතා කරන්න කලින් පසුපස බැලුවොත් ඉතා ඉක්මනින් එම ස්ථානයෙන් පලා යාමෙන් ජීවිතය ගලවා ගන්න පුළුවන්.හැබැයි සම්පූර්ණයෙන්ම ගැලවීමක් නම් ලැබෙන්නේ නැහැ.මොකද ඉන්පසු සෑම මොහොතකම අර භයානක කාන්තාව සියදිවි නසා ගන්නා ලෙස මේ පුද්ගලයාට බලකෙරෙනවා.මෙය දරා ගැනීමට නොහැකිව බොහෝ දෙනා පාලමෙන් පැන සියදිවි නසා ගෙන තිබෙන බවත් වාර්තාවනවා.
                                  නාගරික පුරාවෘත්තයක් විදිහට බෙහෙවින්ම ජනප්‍රිය වුණ මේ පාලම පිළිබඳව විශ්ව විද්‍යාල සිසුන් සොයා බැලීමට තීරණය කරනවා.ඒ අනුව ඔවුන් මෙම 14වන පඩිය සහ අද්භූත කාන්තාව සොයා රාත්‍රී කාලයේ පාලම වෙත පිවිසෙනවා.නමුත් ඉතාමත් අවාසනාවන්ත විදිහට මේ පිළිබඳව සොයා බැලීමට ගිය සිසුන්ගෙන් කිහිපදෙනෙක් සියදිවි නසා ගන්නා අතර තවත් කිහිපදෙනෙක් අතුරුදන්වී තිබෙනවා.
                                  පසුව තවත් සිසුවෙක් මේ පිළිබඳව සොයා බලන බව පවසමින් සමාජ මාධ්‍ය තුළ වීඩියෝවක් පලකරනවා.පසුදින මධ්‍යම රාත්‍රියේ ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ සජීවී විකාශයක් ලබා දෙමින් මෙම පාලම මතට පිවිසෙනවා.නමුත් සුළු වේලාවකට පසුව එම වීඩියෝවට ප්‍රතිචාර දක්වන පුද්ගලයන් ඔහුට පිටුපසින් කිසියම් පුද්ගලයකු සිටින බවට දැනුම් දෙනවා.මේ නිසාම වඩාත් විමසිලිමත් වන ඔහුට තම දුරකතනයේ තිරය තුලින් පිටුපසින් සිටින අයෙකුගේ ඡායාවක් දක්නට ලැබෙනවා.තැතිගැන්මට පත්වන ඔහු සජීවී විකාශය අතරමඟ නවතා දමා ඉක්මනින්ම එතැනින් ඉවත්වනවා.කෙසේවෙතත් දින කිහිපයකින් මේ වීඩියෝව පවා සමාජ මාධ්‍යයෙන් ඉවත් කර ගන්නා මේ තරුණයා පිළිබඳව වැඩි තොරතුරක් දැන ගැනීමට ලැබෙන්නේ නැහැ.
                                  මේ සිදුවීම් නිසාම පාලමේ අතීතය පිළිබඳව සොයා බලන පුද්ගලයන්ට එක්තරා සිදුවීමක් පිළිබඳව දැන ගැනීමට ලැබෙනවා.එම සිදුවීමට අනුව එක්තරා තරුණියක් දිනක් තම පෙම්වතා මුණ ගැසීමේ අරමුණින් මෙම පාලම මතට පැමිණ තිබෙනවා.නමුත් පැය ගණනාවක් බලා සිටියත් ඇගේ පෙම්වතා නම් පැමිණෙන්නේ නැහැ.මේ නිසාම ඔහුගේ නොපැමිණීමට හේතුව සොයා බලන ඇයට ඔහු වෙනත් තරුණියක සමඟ සම්බන්ධවක් පවත්වන බව දැන ගන්නට ලැබෙනවා.මෙම තත්ත්වය දරා ගැනීමට අපොහොසත් වන තරුණිය මෙම පාලම මතට පැමිණ එතැනින් බිමට පැන සියදිවි නසා ගෙන තිබෙනවා.එතැන්සිට මේ දක්වාම මෙම පාලම මත සිටින ඇය ඒ වෙත පැමිණෙන පුද්ගලයන් මරා දමන බවයි පැවසෙන්නේ.
                                 තවමත් සාමාන්‍යය මනුශ්‍ය නෙතට , ඇසට සංවේදී නොවන බුද්ධියට මායිම් නොවන බොහෝදේ අතර මෙයත් එකක් දැයි නිශ්චිතව පැවසීමේ හැකියාවක් කිසිවකු සතුව නැහැ.කෙසේවෙතත් තායිවානයේ සංචාරයක් වෙනුවෙන් ගිය අවස්ථාවක හෝ මෙම පාලම නැරඹීමට ගියහොත් 14වෙනි පඩිය පිළිබඳව සැලකිලිමත් වීම නම් වටිනවා.

Friday, April 7, 2023

විද්වතුන් නිරුත්තර කළ අද්භූත ග්‍රන්ථය


 

                                      තාක්ෂණය අතින් කෙතරම් දියුණු වුණත් තවමත් විසඳා ගැනීමට නොහැකි වුණු අබිරහස් කොතෙකුත් තිබෙනවා.ඒවා අතර තවමත් කිසිවකුට කියවා අවබෝධ කර ගැනීමට නොහැකි වුණු ලියවිලි , කේතයන්ද ඇතුලත් වනවා.අතීතයේ පෘථිවියේ ජීවත් වූ ජීවීන් රචනා කළ ලියවිලිද වෙනත් ලොවකින් පැමිණි ජීවීන්ගේ ලියවිලිදැයි අනුමාන කිරීම පවා අපහසු ග්‍රන්ථද ඒ අතර තිබෙනවා.අද ලිපිය තුළින් අපි කතා කරන්නේ රූප සටහන්වලින් ලබා ගන්නා අනුමාන කිරීමකට පමණක් සීමා වුණ තවදුරටත් එක් වදනක්වත් අවබෝධ කර ගත නොහැකි ග්‍රන්ථයක් පිළිබඳවයි.

                                 " Voynich Manuscript " නමින් හැඳින්වෙන මෙම ග්‍රන්ථය පිටු 240න් සමන්විත තවමත් මුල් කතුවරයා හඳුනා නොගත් ග්‍රන්ථයක්.1912දී පෝලන්ත ජාතික පැරණි පොත් වෙලෙන්දෙකුගෙන් මෙම පොත මිලදී ගන්නේ විල්ෆ්‍රඩ් වොයිනිච් නම් පුද්ගලයෙක්.එනිසාම වොයිනිච්ගේ අත්පිටපත විදිහට හඳුන්වන මේ ග්‍රන්ථය කාබන් පරීක්ෂණය මගින් 15වන සියවසට නැතහොත් ක්‍රි:ව: 1404 - 1438ත් අතර කාලයේ රචනා කරන්නට ඇති බවට විද්‍යාඥයන් අනුමාන කරනවා.දැනට ඇමරිකා එක්සත් ජනපදයේ යේල් විශ්වවිද්‍යාලයේ සුරක්ෂිතව තබා තිබෙන මෙහි පිටු නිර්මාණය කර ඇත්තේ වසු පැටවුන්ගේ සම් භාවිතයෙන් බවත් ඒ සඳහා අවම වශයෙන් වසු පැටවුන් 20ගේ පමණ සම් යොදා ගන්නට ඇති බවත් පැවසෙනවා.
                                රූප සටහන් අනුව මෙම ග්‍රන්ථය උද්භිත විද්‍යාව , තාරකා විද්‍යාව  සහ වෛද්‍ය විද්‍යාව වශයෙන් ප්‍රධාන කොටස් 03ට වෙන් කළ හැකියි.මීට අමතරව පිටු 06ක පමණ එකතුවකින් යුක්ත සිතියමක් සහ පොත අවසානයේ කිසියම් වූ වට්ටෝරු යැයි සිතිය හැකි සටහන් කිහිපයකුත් දක්නට ලැබෙනවා.මුල් කොටස උද්භිත විද්‍යාවට අයත් බවට විශ්වස කිරීමට ඒ සෑම පිටුවකම ඇතුලත් පැලෑටිවල රූප සටහන් හේතුවී තිබෙනවා.මෙම රූප සටහන් අතර දැනට පෘථිවියේ තිබෙන ශාකවලට බෙහෙවින් සමාන ශාක වගේම පෘථිවියෙන් මෙතෙක් සොයා ගැනීමට නොහැකි වුණ ශාක කිහිපයක රූප සටහනුත් අන්තර්ගත වනවා.
                               දෙවන කොටස තුළ සම්පූර්ණයෙන්ම දක්නට ලැබෙන්නේ තාරකා විද්‍යාවට සම්බන්ධ තොරතුරුයි.සූර්‍යයා , චන්ද්‍රයා වගේම තවත් තාරකාවල රූප සටහනුත් ඒවා යටින් එම තරුවල නම්‍ යැයි සිතිය හැකි යම්කිසි වචනයකුත් සඳහන් වනවා.රාශිචක්‍රය පවා මෙහි ඇඳ තිබුණත් එහි යම් වෙනස්කම් සහිතව ඇඳ තිබෙනු දක්නට ලැබෙනවා.රවුම් කිහිපයකින් ඇඳ තිබෙන මේ සෑම රවුමකම සෑම රාශියක් ඉදිරියේම නිරුවත් කාන්තා රූප ඇඳ තිබෙන අතර ඒ සෑම කාන්තාවකගේම අතේ තරුවක් තිබෙන ආකාරය නිරූපණය කර තිබෙනවා.
                                මීලඟ කොටස වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් වෙන්වන බවට විද්වතුන් විශ්වාස කරනවා.මේ කොටස තුළත් වැඩිපුරම දක්නට ලැබෙන්නේ කාන්තා රූප වීම විශේෂත්වයක්.මෙහි සමහර රූප සටහන් මිනිස් අවයව සහ පද්ධතිවලට බොහොම සමානකමක් දක්වනවා.ඒ නිසාම මේ කොටසේ මිනිස් සිරුරට සම්බන්ධ තොරතුරු රැසක් අඩංගු බවට විශ්වාස කෙරෙනවා.නමුත් මේ ග්‍රන්ථයේ අවසානයේ ඇති වට්ටෝරු බවට විශ්වාස කෙරෙන කොටසේ නම් කිසිම රූපසටහනක් අන්තර්ගත කර නැහැ.ඒ නිසාම මෙහි ඇත්තේ කුමක්ද කියා අනුමාන කිරීමේ හැකියාවත් විද්වතුන් අතින් ගිලිහී තිබෙනවා.
                                සැබැවින්ම මේ ග්‍රන්ථය රචනා කළේ පිටසක්වල ජීවීන්ද?අතීත ශිෂ්ටාචාරයක සිටි පිරිසක්ද?මෙම භාෂාව කුමක්ද?විශ්වය , වෛද්‍ය විද්‍යාව  , උද්භිත විද්‍යාව ආදිය පිළිබඳව අති විශාල දැනුමක් සැඟවී ඇති බවට විශ්වාස කෙරෙන වර්තමාන විද්‍යාව නිහඬ කළ මෙම ග්‍රන්ථය කුමක්ද?

Thursday, April 6, 2023

ලෝකසිතියමින් විසිවුණ අවතාර දූපත්


 

                                        සාමාන්‍යයෙන් ලෝක සිතියමක ලෝකයේ තියන ඕනම නගරයක් සටහන් වෙලා තියනවා.ලෝකයම පිළිගන්නා මේ සිතියම වෙනස් වෙන්නේත් බොහොම කලාතුරකින්.නමුත් අතීතයේ ලෝක සිතියම්වල , වාර්තාවල සඳහන් වුණත් තවමත් සොයා ගන්න නොහැකි වුණ දූපත් සහ ඒනිසාම සිතියම්වලින් ඉවත් කරපු දූපත් කිහිපයක් පිළිබඳවම වාර්තා වෙනවා.අද ලිපියෙන් අපි කතා කරන්නේ තවමත් සොයා ගැනීමට නොහැකි වුණ " අවතාර දූපත් " නැතිනම් " Phantom Island " නමින් හඳුන්වන දූපත් කිහිපයක් පිළිබඳවයි.


Bermeja (බර්මේහා) :-
                                   ක්‍රි:ව: 15 - 20 වන සියවස දක්වා ලෝක සිතියම්වල සටහන් වුණ මෙම දූපත මෙක්සිකානු බොක්ක ආසන්නයේ පිහිටා තිබුණා.අතීත සටහන්වලට අනුව මේ දූපත ඈතට රතු පැහැයෙන් දිස්වෙලා තිබෙනවා.කොහොම වුනත් ඒ ආශ්‍රිතව පවතින තෙල්නිධි නිසා බොහෝ කාලයකට පසුව 2008 වසරේදී පමණ මෙම දූපතට වටිනාකමක් එකතු වනවා.නමුත් වාසනාවකට හෝ අවාසනාවකට බර්මේහා දූපතේ අයිතිය තහවුරු කර ගැනීමෙන් ඒ අවට ඇති තෙල් නිධි කැනීමට ඇති සීමාව පුළුල් කර ගැනීමට උත්සාහ දැරූ මෙක්සිකානුවන්ට මෙම දූපත සොයා ගැනීමට හැකි වන්නේ නැහැ.මුහුදු මට්ටම ඉහළ යාමක් නිසා මේ දූපත මුහුදු පතුලේ ගිලුනාද?මෙක්සිකෝව දූපතේ අයිතිය ලබා ගැනීම වැලැක්වීමට ඇමරිකාව එය විනාශ කටයුතු කලාද?

Hy Brazil (හයිබ්‍රසිල්) :-
                                   පුරාවෘත රාශියකම සඳහන් වන මෙම දූපත 14වන සියවස තරම් පැරණි කාලයක ඉඳලා අයර්ලන්තයට ආසන්නව තිබුන දූපතක්.එම සටහන්වලට අනුව මෙම දූපත නිතරම මීදුමෙන් වැහිල තියෙන බවත් පියවි ඇසට දර්ශනය වෙන්නේ වසර 07ට පමණ වතාවක් බවත් සඳහන් වෙනවා.එක්දහස් අටසිය ගණන්වන තුරුව මේක ලෝක සිතියම්වල පවා ඇතුලත් වෙලා තිබෙනවා.කොහොම නමුත් මේවන තුරුත් මේක සැබෑවටම පවතින්නක් බව තහවුරු කිරීමට තරම් සාක්ෂි හමුවී නැහැ.

Thule (තුලී) :-
                                 මේ දූපත පිළිබඳව වන වාර්තා ක්‍රි:පූ: 4වන සියවස දක්වාම දිවයනවා.ග්‍රීක දේශගවේෂකයකු වන පයිතියස්ගේ ගවේෂණ වාර්තාවලින් තමයි තුලී දූපත පිළිබඳව මුල්ම සටහන හමුවන්නේ.කෘෂිකර්මාන්තයෙන් දිවි ගෙවන නොදියුණු ජන කොට්ඨාසයක් ජීවත් වුනු බවට පැවසෙන මෙම සීතල දූපතට ග්‍රීස්ම සෘතුවේදී රාත්‍රී කාලයක් උදා නොවන බවත් සඳහන් වනවා.ක්‍රි:ව: 100දී ටොලමි විසින් නිර්මාණය කළ ලෝක සිතියමේ බ්‍රිතාන්‍යට ඉහළින් තුලී දූපත ඇඳ තිබූ බවත් පැවසෙනවා.නමුත් අදටත් මෙම දූපත සොයා ගැනීමට කිසිවකු සමත්වී නැහැ.

Isle Of Demons (යක්ෂයාගේ දූපත) :-
                                   ක්‍රි:ව: 16 සියවසේදී පමණ ලෝක සිතියම්වල සටහන් වෙලා තිබුණ මේ දූපතේ මෘග අමනුෂ්‍ය ජීවීන් කොට්ටාසයක් ජීවත් වුණ බව තමයි කියවෙන්නේ.මාගරට් ඩී ලා රොක් නම් ප්‍රංශ ජාතික කාන්තාවක් ඇයගේ පෙම්වතා සහ මෙහෙකාරිය සමඟ නාවික අනතුරකින් මේ දූපතට පැමිණෙනවා.කොහොම වුණත් එහෙම එන ඇයගේ පෙම්වතා සහ මෙහෙකාරිය මෙම මෘග මිනිසුන් ඝාතනය කරනවා.දැඩි වද හිංසාවලට ලක් වුණත් ධීවර කණ්ඩායමක පිහිටෙන් නැවත මව්රටට පැමිණීමට වාසනාවන්ත වන ඇය හරහා තමයි මෙම දූපත පිළිබඳව තොරතුරු හෙළිවන්නේ.නමුත් ඇය පවසන මෙම දූපතත් සොයා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.
                                එක්තරා පිරිසකට දකින්නට ලැබුණු දූපත් තවත් පිරිසකට හමු නොවන්නට හේතුව කුමක්ද?මෙතරම් පිරිසක් පවසන්නේ මුසාවන්ද?සැබෑවටම මේ දූපත්වලට වුණේ මොකක්ද?

Wednesday, April 5, 2023

ගොඩබිම ඇති බර්මියුඩා ත්‍රිකෝණය        


 

                                     ලෝකයේ බොහොම අත්භූත දේවල් සිදුවෙන බර්මියුඩා ත්‍රිකෝණය කියන්නේ හැමෝම දන්න කියන ස්ථානයක්නේ.නමුත් මේ වගේම ගුවන්යානා අතුරුදහන් වන තවත් අබිරහසක් ස්ථානයක් තිබෙනවා කියලා ඇතැම්විට ඔබ නොදන්නවා වන්නට පුළුවන්.අද අපි මේ කතා කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයට අයත් ගොඩබිම ප්‍රදේශයේ තිබෙන එවන් අද්භූත ස්ථානයක් පිළිබඳවයි.

                              ඇමරිකා එක්සත් ජනපදයට අයත් මෙම ත්‍රිකෝණය " Reno , Fresno සහ Lasvegas " නගර 03 මැදිව පිහිටනවා.මෙය අපි හිතන තරම් කුඩා බිම්කඩක් නම් නෙවෙයි.වර්ග හැතැප්ම 25,000ක් එහෙමත් නැත්නම් ලංකාවට සමාන භූමි ප්‍රමාණයක විසිරිලා තිබෙන මෙය  " Nevada Triangle " නැත්නම් " නෙවාඩා ත්‍රිකෝණය " නමින් හඳුන්වනවා.පහසුවෙන් ළඟාවිය නොහැකි මෙම භූමි ප්‍රදේශය 1912 වසරේ දී සම්පූර්ණයෙන්ම ගවේෂණය කොට හමාර කර තිබෙනවා.සියරන් නෙවාඩා කියන කඳු පන්තිය තමයි මේ භූමිය පුරාම විසිරිලා තිබෙන්නේ.වාර්තාවන ආකාරයට මෙම ප්‍රදේශය කඳුමුදුන් රාශියකින් සමන්විතයි.ඒ වගේම ඒවායින් උසම කඳු මුදුන්වල ග්ලැසියර පවා තිබෙන බවට සඳහන් වෙනවා.ගෙවී ගිය වසර 60ක කාලය තුළ මෙම ප්‍රදේශයේ දී ගුවන් යානා 200ක් පමණ කිසිම හෝඩුවාවක් නොමැතිව අතුරුදහන් වී තිබෙනවා.
                             1942 වසරේ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් යුත් පුහුණු  පියාසරියක් සඳහා පිටත් වූ ගුවන් යානයක් මෙම ප්‍රදේශයේ දී අතුරුදන් වෙනවා.මේ කාලය වන විට නෙවාඩා ත්‍රිකෝණය පිළිබඳව එතරම් ප්‍රසිද්ධියක් ලැබී තිබුනෙත් නැහැ.කෙසේවෙතත් යානය නැවත පැමිණිය යුතු නියමිත වේලාවට ආපසු නොපැමිණීම නිසා බලධාරීන් මේ පිළිබඳව සොයා බැලීමට කටයුතු කරනවා.නමුත් මෙම කාන්තාරික කඳුකර ප්‍රදේශය තුළ  ඔවුන්ගේ එම සොයාබැලීම් කටයුතු පහසුවන්නේ නම් නැහැ.කොහොම වුණත් මේ අතුරුදන් වීමෙන් පසුව තවත් ගුවන් යානා කීපයක්ම අතුරුදන් වුණත් ඒ කිසිවක් පිළිබඳව කුඩා හෝ සාක්ෂියක් හොයා ගැනීමට කිසිවකුත් සමත් වන්නේ නැහැ.
                                  කිසිදු හෝඩුවාවක් නොලැබුනත් 1947 වසරේ සිදුවූ ලෝක ප්‍රසිද්ධ රොස්වෙල් සිදුවීම නිසා මේ සියලුම අතුරුදන් වීම්වලට පිටසක්වළ ජීවීන් සම්බන්ධ බවට බොහෝදෙනා විශ්වාස කිරීමට පටන් ගන්නවා.මෙම අතුරුදන්වීම්වලට පිටසක්වල ජීවීන් සම්බන්ධ බවට කිසිඳු තොරතුරක් නොමැති වුවත් එවකට ඇමරිකානුවන් තුළ පිටසක්වල ජීවීන් සම්බන්ධව තිබූ  උනන්දුව සහ ඇතැම් පිරිස් දුටු බවට සඳහන් කළ ගෝලාකාර වස්‍රතුවක් මෙම මතයන් ඇතිවීමට බලපා තිබෙනවා.කෙසේ වෙතත් ඔවුන් එසේ දැක තිබෙන්නේ කාලගුණ බැලුනයක් බවට පසුව තහවුරු වුණත් ඔවුන් ඒ කිසිවක් පිළිගන්නේ නම් නැහැ.
                               ඒ වගේම 1955දී සුප්‍රසිද්ධ ඒරියා 51 නෙවාඩා ත්‍රිකෝණයට ආසන්න ප්‍රදේශයේ ඉදි කිරීම සහ ඒ ආසන්නයේ ජීවත් වූ ජනතාව ඉවත් කිරීමත් සමඟ නැවතත් මේ පිළිබඳ ලෝකයේ අවධානය යොමු වනවා.කොහොම වුණත් අද වන විටත් ඒරියා 51 තුළ සිදු වන සිදුවීම් සම්බන්ධව ලෝකය තුළම පවතින්නේ විශාල කුතුහලයක්.
                               කාලයත් සමග මෙම ප්‍රදේශයේ දී අතුරුදන් වන ගුවන් යානා සංඛ්‍යාව අඩු වීමත් සමඟ මෙම ප්‍රදේශය පිළිබඳව තිබෙන අවධානය සහ අභිරහස් බව කෙමෙන් වියැකී යනවා.නමුත් නෙවාඩා කඳුකරයේ කඳු නැගීමට ගිය පුද්ගලයෙකුගෙන් ලැබෙන විශේෂ තොරතුරක් මත එම සියලු නිහඬතාවයන් බිඳී යනවා.මෙම සංචාරකයාට කඳුවැටියේ තිබී ගුවන් යානයක කොටසක් හමුවනවා.එම ප්‍රදේශයේ ග්ලැසියරයක තිබුණ මෙම ගුවන් යානා කොටස සෑම වසරකම සිදුවන සෘතු මාරුවත් සමග දියවී ගලා හැලෙන අයිස් සමග පහළට රූටාවිත් තිබෙනවා.සංචාරකයාගේ දැනුම් දීමත් සමඟ ක්‍රියාත්මක වන සෝදිසි කිරීමේ මෙහෙයුමේ දී ගුවන් යානයේ ඉතිරි කොටස් සොයාගැනීමට සොයාගැනීමට බලධාරීන් සමත් වනවා.සියලු දෙනා පුදුමයට පත් කරමින් එහිදී හමුවන්නේ 1942 වසරේ දී මෙම ප්‍රදේශයේදී අතුරුදන් වූ ගුවන් යානයේ කොටස් වීම විශේෂත්වයක්.
                                 මෙම සොයා ගැනීමත් සමග නෙවාඩා ප්‍රදේශය පිළිබඳව එතෙක් හෙලි නොවූ රහස් කිහිපයක් හෙළි වී තිබෙනවා.පරීක්ෂකයන් සොයා ගන්නා ආකාරයට පාලනයෙන් ගිලිහුනු ගුවන් යානය හදිසියේම කඩාවැටීමට " මව්න්ටන් වේව් " නම් සබාවික සංසිද්ධියක් බලපා තිබෙනවා.මෙය එම කඳුකර ප්‍රදේශයේ ස්වභාවික තත්ත්වයක් වුවත් ඒ වන විට කිසිවෙකු එම තත්ත්වය පිළිබඳව දැනුවත්ව සිට නැහැ.නෙවාඩා කඳු වැටිය පැසිපික් සාගරයෙන් හමාඑන සුළංවලට බාධකයක් විදිහට ක්‍රියා කරනවා.මේ සුළං ගොඩබිමට හමා ගෙන එද්දී ඒවා කඳුවැටියේ හැපිලා අඩි 4000ක් විතර ඉහළ නගිනවා.ඒ සුළඟත් සමග උෂ්ණත්වය ක්ෂණිකව පහළ බහින නිසා හැතැප්ම 03ක දුර ප්‍රමාණයක් ඇතුළෙ ඒවා නැවතත් අඩි 10,000ක් පහල බහිනවා.මේවාට ගුරුත්වාකර්ෂණ බලයත් එකතුවෙලා තරංග විදිහට ගමන් කරන්න පටන් ගන්නවා.මේවායේ තිබෙන ඉතාමත් වේගවත් බව නිසා කෙතරම් දක්ෂ අයෙකුට වුවත් පාලනය කර ගැනීමේ හැකියාවක් නැහැ.
                               ඒ වගේම තවත් හිතාගන්න බැරි විදිහේ අතුරුදන්වීමක් මේ ප්‍රදේශයේ සිදු වෙනවා.විවිධාකාරයේ පියාසර වාර්තා 115ක් පමණ හිමි අසීරු අවස්ථා වල ඉතා හොඳින් ක්‍රියාකරන උපදෙස් අකුරටම පිළිපදින ස්ටීව් නමුත් ගුවන් නියමුවෙක් 2007 සැප්තැම්බර් 3 වැනිදා මෙම ප්‍රදේශයේ දී අතුරුදන් වෙනවා.සංචාරය පිටත්ව පැය 03ත් පසු ඔහුගේ නොපැමිණීම නිසා කලබල වන ඔහුගේ මිතුරන් බලධාරීන් දැනුවත් කොට තිබෙනවා.නමුත් ඔහු පියාසරකල දිශාව වාර්තා කොට නොතිබීම එම කාර්ය තවදුරටත් දුෂ්කර කරනවා.කෙසේවෙතත් සති ගණන් ගෙවී ගියත් ඔහු පිළිබඳ කිසිදු හෝඩුවාවක් හමුවන්නේ නැහැ.
                                       නමුත් ස්ටීව් අතුරුදන් වී වසරකට පමණ පසුව කඳුකරයට ගිය පුද්ගලයකුට ඔහුගේ හැඳුනුම්පත ,  ඩොලර් දහසකට අධික මුදල් ප්‍රමාණයක් සහ ඔහුගේ ජර්සියත් හමුවී තිබෙනවා.මේ අනුව සොයා බැලීම් කරන බලධාරීන්ට ඒ ආසන්නයේ තිබී ඔහුගේ ගුවන් යානයේ කොටස් හමු වෙනවා.මෙම ගුවන් යානයේ කිසිම  කාර්මික දෝෂයක් තිබුණු බවට සළකුණක් නැහැ.ඒ වගේම එම කාලය තුළ කිසිදු මවුන්ටන් වේව් තත්ත්වයක් ඇති වීමක් සිදුවෙලත් නැහැ.එසේනම් ස්ටීව්ට මොකද වුනේ?මෙතරම් පළපුරුදු ගුවන් නියමුවෙකුට ඔහුට වඩාත්ම හුරුපුරුදු පරිසරයක් තුළ අතපසුවීමක් සිදු වීමේ හැකියාවකුත් නැහැ.නමුත් කාලගුණ වාර්තාවලට අනුව ඔහු ගමන් කළ පඨයේ එම අවස්ථාවේ ටොනේඩෝ කිහිපයක් ඇතිවූ බවට සොයාගැනෙනවා.
                                   එහෙනම් මෙතෙක් අතුරුදන් වූ ගුවන් යානා 2000ම ටොනේඩෝවලට නැත්නම් මව්න්ටන් වේවිවලට හසු වුනාද?මෙවන් ස්වභාවික සංසිද්ධියක් සිදු වූ බවට වාර්තා නොවන අවස්ථාවලදී සිදුවෙන අතුරුදන්වීම් මොනවාද?වර්තමානයේ දී පවා ඉඳහිට මෙම ප්‍රදේශයෙන් අතුරුදන් වන ගුවන්යානාවලට සිදුවන්නේ කුමක්ද?

Tuesday, April 4, 2023

ඈත අතීතයේ කැටයම් අතරින් මතුවන මෑතකාලීන උපකරණ


 

                                        ඉතිහාසය කියන්නේ කවදත් බොහොම රසවත් කුතුහලය පිරුණු හරි අපූරු තෝතැන්නක්.විටින්විට ලෝකයේ විවිධ ස්ථානවලින් සොයා ගැනෙන නිර්මාණ වර්තමාන මිනිසා පුදුමයෙන් මුසපත් කරන ආකාරයක් දක්නට ලැබෙනවා.අද අපි කතා කරන්නේ ඈත අතීතයෙන් හමුවූ මෑත කාලයට අදාල මෙවන් විශ්මිත නිර්මාණයන් කිහිපයක් පිළිබඳවයි.


ඉන්දියාවෙන් හමුවූ බයිසිකල් රුව :-

                            ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පිහිටා තිබෙන " පංචවර්ණ ස්වාමි " කෝවිලෙන් අමුතුම ආකාරයේ කැටයමක් හමුවී තිබෙනවා.වසර 2000ක් පමණ පැරණි මෙහි කණුමත ඇති කැටයම් අතර පූජකයෙක් යැයි සිතිය හැකි පුද්ගලයෙක් බයිසිකලයක් පදින ආකාරය දැක්වෙන කැටයමක් සටහන්වනවා.නමුත් මීට වසර 200ට පමණ පෙර ජර්මානුවන් සොයා ගත් බයිසිකලය වසර 2000ට පමණ පෙර නිර්මාණය වූ කෝවිලක කණුවක සටහන් වුණේ කොහොමද?ඔවුන්ගේ වාර්තාවලට අනුව වර්ෂ 1900 දී පමණ මෙහි ප්‍රතිසංස්කරණ සිදු වුවත් එහිදී පවා මෙවන් කැටයමක් ඇතුලත් කළ බවට කිසිඳු සටහනක් දක්නට ලැබෙන්නේ නැහැ.

ස්පාඤ්ඤ පල්ලියේ ඇති ගගනගාමියාගේ රුව :- 
                                    ස්පාඤ්ඤයේ පිහිටා තිබෙන මෙම දේවස්ථානය නිර්මාණය කර තිබෙන්නේ 1513 - 1733ත් අතර කාල වකවානුවකදී බවට විශ්වාස කෙරෙනවා.වසර 400ට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන මෙම දේවස්ථානයේ කැටයම් අතර ගගනගාමියකුගේ හිස් වැසුමක් පැළඳි මෑත කාලීන ගගණගාමියකුගේ ඇඳුමට බෙහෙවින් සමාන ඇඳුමකින් සැරසුණු පුද්ගලයකුගේ රුවක් සටහන් වෙනවා.ඔවුන් මෑත කාලීන ගගණගාමියකුගේ ඇඳුමට සමාන රුවක් එතරම් ඈත අතීතයක නිර්මාණයකට එක් කළේ කෙසේදද?

නටාෂාගේ ජංගම දුරකථනය :-

                                සයිබීරියාවේ රෂියන් ඇට්ලෑන්ටිස් නමින් හඳුන්වන සොහොන් බිමෙන් තමයි මේ අපූරු නිර්මාණය හමුවී තිබෙන්නේ.අද්භූත දේවල් හමුවන ස්ථානයක් ලෙස ලෝකය පුරා ප්‍රකටවී ඇති මෙම ස්ථානයේ තිබෙන " නටාෂා " නමින් හැඳින්වූ කාන්තාවකගේ සොහොන් ගැබක් තුළින් ජංගම දුරකථනයකට සමාන උපකරණයක් හමුවී තිබෙනවා.මෙම උපකරණය වසර 2300ක් පමණ පැරණි  රාජ වංශයක් වන " ෂියාග්නූ " නම් පුරාණ රාජවංශයට අයත් නිර්මාණයක් බව තහවුරු කොට ගෙන තිබෙනවා.නමුත් විවිධ අලංකාර පාෂාණ වර්ගවලින් ඉතාම අපූරුවට අලංකාර කළ මෙම උපකරණය කුමක් සඳහා යොදා ගත්තාද?කෙසේ නිර්මාණය කළාද යන්න තවමත් හෙළිවී නැහැ.
                                  සත්‍ය ලෙසම මෙවන් උපකරණ මොනවාද?ඔවුන් මෙම උපකරණ භාවිත කළේ කුමක් සඳහාද?සැබැවින්ම වර්තමානයට අයත් උපකරණ සහිත මෙවන් කැටයම් එතරම් ඈත අතීතයේ නිර්මාණ තුළට පිවිසියේ කෙසේද?එය තවදුරටත් පිළිතුරක් නොමැති අබිරහසක්.

Sunday, April 2, 2023

අස්ථි කොටස් පවා අතුරුදන් වූ අබිරහස් මිනිසා


 

                                      ලෝකය වටා වගේම තමන්ගේ රට තුළ සංචාරය කරන්නත් බොහෝ දෙනා කැමැත්තක් දක්වනවා.එකිනෙකට වෙනස් පරිසර , ප්‍රදේශ කරා ඇදී යමින් මොවුන් තම ජීවිතයට බොහොමයක් අත්දැකීම් එක්කර ගන්නවා.නමුත් සෑම දිනකම එකම වේලාවක නිවසින් පිටවී මුලු ජීවිත කාලය පුරාම එකම ගමන් මාර්ගයක ගමන් කිරීමට කැමති පුද්ගලයකු සිටිය හැකිද?අද අපි ඔබට කියන්නේ එවන් විශ්මිත පුද්ගලයකු පිළිබඳවයි.

                                     1857 වසරේ වෙස්චෙස්ටර් නගරයට විශාල සිරුරක් ඇති අමුතු පෙනුමක් සහිත පුද්ගලයකු පැමිණෙනවා.ඔහු හැඳ සිටියේ සරල මැහුම්වලින් මසා තිබුණු ලෙදර් කබායක් සහ ලෙදර්වලින්ම කළ කලිසමක් , සපත්තු සහ තොප්පියක්.වැඩි කතාබහකට අකමැති ඔහු පැමිණි ප්‍රදේශය හෝ කිසිවකු දැන සිටියේ නැහැ.මේ අමතු හැසීරීම් සහ අමුතු පෙනුම නිසාම මිනිසුන්ට ඔහු අමුතු අද්භූත පුද්ගලයකු ලෙස පෙනුණා.කෙසේවෙතත් ඔහුගේ ලෙදර් ඇඳුම් නිසා මේ පුද්ගලයා " ලෙදර් මිනිසා " ලෙස හැඳින්වීමට මිනිසුන් හුරු වී තිබුණා.
                               ලෙදර් මිනිසා පිළිබඳව මිනිසුන් දැන සිටි එකම කරුණ වුණේ ඔහු සෑම විටකම නිශ්චිත ගමන් මාර්ගයක ගමන් කරන බව පමණයි.මේ ආකාරයට ඔහු කිලෝමීටර් 587ක නිශ්චිත ගමන් මාර්ගයක දින 34ක් තුළ ගමන් කරනවා.ඒ වගේම අධික උණුසුම් ගිම්හාන දිනකදීවත් වෙනස් නොකරන ඔහුගේ මෙම සම්පූර්ණ ඇඳුම් කට්ටලයේ බර කිලෝග්‍රෑම් 27ක් පමණ වූ බවටත් සැලකෙනවා.වසර ගණනාවක් පුරා නගර 40ට වැඩි ගණනක් හරහා වැටුණු ගමන් මාර්ගයක ගමන් කළ ඔහුගේ කාලය ද ඉතාමත් නිවැරදි වූ නිසා මිනිසුන් ඔහුගේ පැමිණීම අනුව කාලය හඳුනා ගැනීමට පවා කටයුතු කර තිබුණා.
                                 නමුත් 1889 නියමිත දිනට ලෙදර් මිනිසා නගරයට පැමිණ තිබුණේ නැහැ.කිසිලෙසකින්වත් ඔහුගේ පැමිණීම වෙනස් නොවුණ නිසාම මිනිසුන් ඔහු පිළිබඳව සොයා බැලීමට කටයුතු කර තිබුණා.ඒ අතර මාර්තු 24 මිස්වුඩ්ස් ප්‍රදේශයේ ගුහාවක තිබී ලෙදර් මිනිසාගේ සිරුර සොයා ගැනෙනවා.කිසියම් අයහපත් කාලගුණික තත්ත්වයක් නිසා ගුහාවක නතරව තිබූ ඔහු අධික ලෙස දුම්කොළ භාවිතය නිසා ඇති වූ මුඛ පිළිකා තත්ත්වයකින් මියගිය බවට සොයා ගෙන තිබෙනවා.මලසිරුර පරීක්ෂා කිරීමේදී ඔහුගේ කබාය තුළ තිබී හමුවූ ප්‍රංශ භාෂාවෙන් රචිත යාඥා පොතක් හමුවීම නිසා ඇතැම් පිරිස් ඔහු ප්‍රංශ කැනේඩියානු සම්බවයක් ඇති පුද්ගලයකු බවට විශ්වාස කිරීමට පෙළඹුණත් ඔහු පිළිබඳව පැහැදිලිව සඳහන් කළ හැකි කිසිඳු තොරතුරක් සොයා ගැනීමේ හැකියාවක් ලැබී නැහැ.
                                 කෙසේවෙතත් මරණයෙන් අනතුරුව ඔහුගේ සිරුර නිව්යෝර්ක් නගරයේ ස්පාටා සුසාන භූමිය තුළ භූමදාන කෙරුණත් 2011 වසරේදී මාර්ග සංවර්ධන කටයුත්තක් හේතුවෙන් සොහොන වෙනත් ස්ථානයකට රැගෙන යාමට සිදුවනවා.ඒ අනුව සිදුකළ කැනීමෙන් දක්නට ලැබුණු දර්ශණයෙන් සියල්ලන් මවිතයට පත්ව තිබුණා.ලෙදර් මිනිසා භූමදානය කළ ස්ථානය තුළ කිසිඳු අස්ථි කොටසක් දක්නට ලැබුණේ නැහැ.අමුතු මිනිසා අබිරහසක් කරමින් එම ස්ථානයෙන් සොයා ගැනීමට හැකිවී තිබෙන්නේ සිරුර බහා තිබූ පෙට්ටියට සවි කළ ඇණ කිහිපයක් පමණයි.2011 වසරේ මැයි 25 ඔහුගේ සොහොනේ තිබී හමු වූ ඇණ කොටස් වෙනත් පෙට්ටියක බහා වෙනත් ස්ථානයක භූමදානය කිරීමට කටයුතු කෙරුණා.
                               ඇත්තටම මේ මිනිසා කවුද?ඔහු එවන් නිශ්චිත මාර්ගයක නිරන්තරවම ගමන් කළේ ඇයි?තොරතුරු රැසක් හෙළිකර ගැනීමට හැකියාව තිබූ අස්ථි කොටස්වලට මොකද වුණේ?මේ සියල්ල අදටත් අබිරහසක්ම පමණයි.

වාඩි වුණොත් යන්නම වෙන වස්බිගේ පුටුව


 

                                  විඩාවක් , තෙහෙට්ටුවක් දැනෙන වෙලාවක නිදහසේ පුටුවක වාඩිවෙලා ඉන්න ලැබෙන එකත් ලොකු සැනසීමක්නේ.හැබැයි ඉතින් මොනම හේතුවක් නිසාවෙන් හෝ මේ විදිහට වාඩිවෙන පුටුවක් තමන්ට මරණය කැඳවාවි කියල නම් කිසිම කෙනෙක් විශ්වාස කරන එකක් නැහැ.නමුත් අද අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ අහඹු ලෙස හෝ වාඩි වුවහොත් නිසැකවම මරණය ලඟා කරන පුටුවක් පිළිබඳවයි.
                             මේ පුටුව පිළිබඳව වාර්තා වෙන්නේ එංගලන්තයේ උතුරු යෝක්ෂයර්වල තර්ස් කියන ගම්මානයෙන්.පෙනුමෙන් නිවසක තිබෙන සාමාන්‍යය පුටුවක් වගේ පෙනෙන්නට තිබෙන මෙම පුටුව " මරණයේ පුටුව " නැත්නම් " වස්බිගේ පුටුව " කියලත් හඳුන්වනවා.වාඩිවන ඕනෑම පුද්ගලයකුට ඉතාම සුළු කාලයක් තුළ මරණය ලඟා කරන මෙම පුටුවේ ඉතිහාසය වසර 320ට එහා ඈත අතීතයට දිව යනවා.
                                 වාර්තා වන ආකාරයට මේ සිදුවීම් මාලාව ආරම්භ වන්නේ 1702 වසරේ.එංගලන්තයේ තර්ස් ගම්මානයේ අවන්හලක් හිමි " තෝර්මස් වස්බි " නම් අමුතුම ආකාරයේ පුද්ගලයකු වාසය කොට තිබෙනවා.බිරිඳ සහ බිරිඳගේ පියා සමඟ වාසය කළ මොහු දැඩි ලෙස මත්පැන්වලට ඇබ්බැහි වූ පුද්ගලයකු බව පැවසෙනවා.ඔහු දවසින් වැඩි කාලයක් ඔහුගේම අවන්හලේ ඔහුටම වෙන්වුණු පුටුවට වී මත්පැන් පානය කරනවා.
                                    මත්පැන්වලට දැඩි ලෙස ගිජු වූ වස්බිගෙන් ඔහුගේ බිරිඳට වන හිරිහැර නම් අඩුවක් වුණේ නැහැ.බිරිඳගේ පියා විසින් වස්බිට කොතරම් අවවාද කලත් මෙම කල්ක්‍රියාව පුරුද්දක් ලෙස පවත්වා ගෙන ගිය වස්බිගේ කිසිඳු වෙනසක් සිදු වී නැහැ.කෙසේවෙතත් අවන්හල් තුළ වස්බි සමඟ මත්පැන් පානය කරමින් සිටින අතරතුර දිනක් මාමණ්ඩිය විසින් දියණියට වන හිරිහැර නවතන ලෙස කරන අවවාදයක් දුරදිග යනවා.මෙම කෝලාහාලයේ අවසන් ප්‍රථිපලය ලෙස අවාසනාවන්ත ලෙස වස්බි අතින් ඔහුගේ මාමණ්ඩිය ඝාතනයට ලක්වනවා.
                                 ඝාතනය කළ ආකාරය පිළිබඳව විවිධ මත ඉදිරිපත් වුවත් අවසානයේ වස්බි වරදකරු බව තහවුරු වී තිබෙනවා.ඒ අනුව වස්බි ඔහුගේ ගම්මානයේදීම එල්ලා මැරීමට නීතිය විසින් තීන්දු කරනවා.සුපුරුදු ආකාරයටම මරණයට පත් කිරීමට පෙර වස්බිගෙනුත් ඔහුගේ අන්තිම කැමැත්ත විමසා තිබුණා.එහිදී ඔහු පවසා තිබුණේ තමන්ගේ අවන්හලේ තමන්ගේ පුටුවට වී සීතල බීර වීදුරුවක් පානය කිරීමට කැමති බවයි.
                                  මේ නිසාම බන්ධනාගාර නිළධාරීන් වස්බි ඔහුගේ අවන්හලට රැගෙන යාමට කටයුතු කරනවා.එහිදී ඔහු නිතරම අසුන් ගන්නා පුටුවට වී වස්බි බීර වීදුරුවක් පානය කර තිබෙනවා.ඉන් අනතුරුව මරණ දඬුවම ලබා දීමට නිළධාරීන් ඔහු රැගෙන යාමට කටයුතු කරනවා.අවන්හලේ දොරටුව දක්වා පැමිණෙන වස්බි ආපසු හැරී අවන්හල දෙස බලා බිහිසුණු හඬකින් " කිසිවකට ඔහුගේ පුටුවේ වාඩිවෙන්න එපා කියලත් , එය කඩකරමින් කිසිවකු හෝ තමන්ගේ පුටුවේ වාඩිවුණොත් ඒ හැම කෙනෙක්ම අකාලයේ මියයාවි කියලත් පවසා තිබෙනවා.
                                    කොහොම වුණත්  වස්බිගේ මරණයෙන් පස්සේ කිසිම කෙනෙක් මේ පුටුවේ වාඩිවෙන්න ඉදිරිපත් වෙලා නැහැ.නමුත් දෙවන ලෝක යුද්ධ සමයේ " ස්කිප්ටන් " ගුවන් හමුදා කඳවුරේ කැනේඩියානු ගුවන් හමුදා බටයන් දෙදෙනෙක් මේ අවන්හලට එනවා.අවන්හලට වී බීර පානය කරමින් සිටින මොවුන්ට වස්බිගේ පුටුව ගැනත් මෙම ශාපය ගැනත් අසන්නට ලැබෙනවා.නමුත් සමච්චලයෙන් එය බැහැර කරන ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් වස්බිගේ මෙම පුටුවේ වාඩිවී තිබෙනවා.
                                පසුදින ඔවුන් දෙදෙනා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත් වෙනවා.ඉන් එක් සෙබලෙක් සුලු තුවාල ලබා දිවි ගලවා ගත්තත් වස්බිගේ ශාපලත් පුටුවේ වාඩිවූ බටයා එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.මේ සිදුවීම නිසා මිනිසුන් වස්බිගේ පුටුව ආසන්නයට යාමට පවා බියක් දක්වනවා.නිහඬව නොසිටින වස්බිගේ පුටුව නැවත වරක් ක්‍රියාත්මක වනවා.
                               මේ කිසිවක් පිළිබඳව නොදන්නා අවන්හලේ චිමිනිය පිළිසකර කිරීමට පැමිණෙන පුද්ගලයෙක් විඩාව නිවා ගැනීමේ අදහසින් මෙහි වාඩිවී තිබෙනවා.වෙහෙස නිවා ගැනීමෙන් අනතුරුව නැවතත් තම රාජකාරිය සඳහා චිමිනියට නගින ඔහු මොහොතක් ගත වීමටත් පෙර චිමිනියෙන් ඇද වැටී මිය යනවා.මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පසුව වස්බිගේ පුටුව මිනිසුන්ගෙන් ඈත් කර අවන්හලේ ගබඩා කාමරයට දැමීමට හිමිකරුවන් කටයුතු කරනවා.කාලය ගත වීමත් සමඟම සියලු දෙනාටම පුටුව පිළිබඳව අමතක වී යනවා.
                                 මේ අතර දිනක් අවන්හලට අවශ්‍ය භාණ්ඩ කිහිපයක් රැගෙන එන සේවකයන් දෙදෙනෙක් එම භාණ්ඩ ගබඩා කිරීමට ගබඩාවට ගොස් තිබෙනවා.විඩාව හේතුවෙන් ක්ලාන්ත තත්ත්වයක් ඇතිවන එක් සේවකයෙක් ආසන්නයේ තිබූ පුටුවේ වාඩිවෙන්නේ ඔහුගේ අසනීප තත්ත්වය හේතුවෙනුයි.නමුත් අභාග්‍ය සම්පන්න ලෙස මෙන පුද්ගලයා වාඩිවී තිබෙන්නේ වස්බිගේ ශාපලත් පුටුව මතයි.කෙසේවෙතත් මෙම සේවකයා අවන්හලෙන් පිටවීමට සූදානම් වන අවස්ථාවේ හෘද්‍යාබාදයක් හේතුවෙන් ඳ වැටී මිය යනවා.
                                  මේ හේතුවෙන් අමතකව ගොස් තිබූ පුටුව සම්බන්ධ බිය නැවතත් මිනිසුන් අතරට පැමිණෙනවා.මිනිසුන්ගේ දෙගුණ තෙගුණ වූ බිය නිසාම එවකට අවන්හලේ හිමිකරු විසින් මෙම පුටුව තර්ස් ගම්මානයේ කෞතුකාගාරයට භාරදෙනවා.නමුත් ශාපය තවදුරටත් මෙම පුටුව වටා රැඳෙමින් ගොදුරුවලට ඉව අල්ලමින් සිටිනවා.
                                  කෞතුකාගාරය තුළදීත් මේ පුටුවෙන් ප්‍රවේසම් වීමට සැම දෙනාම වැඩි සැළකිල්ලක් යොමු කර තිබුණා.නමුත් අවාසනාවන්ත ලෙස කෞතුකාගාරයේ සේවිකාවක් භාණ්ඩ පිරිසිදු කරමින් සිටින අතරතුර පය පැකිලීමක් නිසා ඉබේම මෙම පුටුව මත වාඩි වී තිබෙනවා.මේ නිසා මහත් බියට පත්වන ඇය කෙතරම් ප්‍රවේශම් වුවත් උඩු මහලේදී නැවතත් පය පැටලී ඇද වැටීමෙන් මිය යනවා.සිදු වූ අවාසනාවන්ත සිදුවීම් සැළකිල්ලට ගන්නා කෞතුකාගාර පාලන අධිකාරිය කිසිවකුට හෝ අත්වැරදීමකින්වත් වාඩිවිය නොහැකි අන්දමට පුටුව පොළව මට්ටමින් ඉහළ රඳවා තැබීමට තීරණය කර තිබෙනවා.
                                   පුටුව වටා ක්‍රියාත්මක වූ ශාපය අවසන් දැයි නිවැරදිවම පැවසිය නොහැකි වුවත් එංගලන්තයේ තර්ස් ප්‍රදේශයේ සංචාරයක නිරතවනවා නම් ඔබටත් මෙම කෞතුකාගාරය තුළදී පොළවට අඩි 05ක් පමණ ඉහළින් රඳවා ඇති මෙම පුටුව දැක ගැනීමේ හැකියාව පවතිනවා.ඇත්තටම මේ මිනිස්සු මැරුණේ පුටුවේ වාඩි වුණ නිසාද?නැතහොත් මේ සියල්ලම අහඹු සිදුවීම්ද?