Friday, April 7, 2023

විද්වතුන් නිරුත්තර කළ අද්භූත ග්‍රන්ථය


 

                                      තාක්ෂණය අතින් කෙතරම් දියුණු වුණත් තවමත් විසඳා ගැනීමට නොහැකි වුණු අබිරහස් කොතෙකුත් තිබෙනවා.ඒවා අතර තවමත් කිසිවකුට කියවා අවබෝධ කර ගැනීමට නොහැකි වුණු ලියවිලි , කේතයන්ද ඇතුලත් වනවා.අතීතයේ පෘථිවියේ ජීවත් වූ ජීවීන් රචනා කළ ලියවිලිද වෙනත් ලොවකින් පැමිණි ජීවීන්ගේ ලියවිලිදැයි අනුමාන කිරීම පවා අපහසු ග්‍රන්ථද ඒ අතර තිබෙනවා.අද ලිපිය තුළින් අපි කතා කරන්නේ රූප සටහන්වලින් ලබා ගන්නා අනුමාන කිරීමකට පමණක් සීමා වුණ තවදුරටත් එක් වදනක්වත් අවබෝධ කර ගත නොහැකි ග්‍රන්ථයක් පිළිබඳවයි.

                                 " Voynich Manuscript " නමින් හැඳින්වෙන මෙම ග්‍රන්ථය පිටු 240න් සමන්විත තවමත් මුල් කතුවරයා හඳුනා නොගත් ග්‍රන්ථයක්.1912දී පෝලන්ත ජාතික පැරණි පොත් වෙලෙන්දෙකුගෙන් මෙම පොත මිලදී ගන්නේ විල්ෆ්‍රඩ් වොයිනිච් නම් පුද්ගලයෙක්.එනිසාම වොයිනිච්ගේ අත්පිටපත විදිහට හඳුන්වන මේ ග්‍රන්ථය කාබන් පරීක්ෂණය මගින් 15වන සියවසට නැතහොත් ක්‍රි:ව: 1404 - 1438ත් අතර කාලයේ රචනා කරන්නට ඇති බවට විද්‍යාඥයන් අනුමාන කරනවා.දැනට ඇමරිකා එක්සත් ජනපදයේ යේල් විශ්වවිද්‍යාලයේ සුරක්ෂිතව තබා තිබෙන මෙහි පිටු නිර්මාණය කර ඇත්තේ වසු පැටවුන්ගේ සම් භාවිතයෙන් බවත් ඒ සඳහා අවම වශයෙන් වසු පැටවුන් 20ගේ පමණ සම් යොදා ගන්නට ඇති බවත් පැවසෙනවා.
                                රූප සටහන් අනුව මෙම ග්‍රන්ථය උද්භිත විද්‍යාව , තාරකා විද්‍යාව  සහ වෛද්‍ය විද්‍යාව වශයෙන් ප්‍රධාන කොටස් 03ට වෙන් කළ හැකියි.මීට අමතරව පිටු 06ක පමණ එකතුවකින් යුක්ත සිතියමක් සහ පොත අවසානයේ කිසියම් වූ වට්ටෝරු යැයි සිතිය හැකි සටහන් කිහිපයකුත් දක්නට ලැබෙනවා.මුල් කොටස උද්භිත විද්‍යාවට අයත් බවට විශ්වස කිරීමට ඒ සෑම පිටුවකම ඇතුලත් පැලෑටිවල රූප සටහන් හේතුවී තිබෙනවා.මෙම රූප සටහන් අතර දැනට පෘථිවියේ තිබෙන ශාකවලට බෙහෙවින් සමාන ශාක වගේම පෘථිවියෙන් මෙතෙක් සොයා ගැනීමට නොහැකි වුණ ශාක කිහිපයක රූප සටහනුත් අන්තර්ගත වනවා.
                               දෙවන කොටස තුළ සම්පූර්ණයෙන්ම දක්නට ලැබෙන්නේ තාරකා විද්‍යාවට සම්බන්ධ තොරතුරුයි.සූර්‍යයා , චන්ද්‍රයා වගේම තවත් තාරකාවල රූප සටහනුත් ඒවා යටින් එම තරුවල නම්‍ යැයි සිතිය හැකි යම්කිසි වචනයකුත් සඳහන් වනවා.රාශිචක්‍රය පවා මෙහි ඇඳ තිබුණත් එහි යම් වෙනස්කම් සහිතව ඇඳ තිබෙනු දක්නට ලැබෙනවා.රවුම් කිහිපයකින් ඇඳ තිබෙන මේ සෑම රවුමකම සෑම රාශියක් ඉදිරියේම නිරුවත් කාන්තා රූප ඇඳ තිබෙන අතර ඒ සෑම කාන්තාවකගේම අතේ තරුවක් තිබෙන ආකාරය නිරූපණය කර තිබෙනවා.
                                මීලඟ කොටස වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් වෙන්වන බවට විද්වතුන් විශ්වාස කරනවා.මේ කොටස තුළත් වැඩිපුරම දක්නට ලැබෙන්නේ කාන්තා රූප වීම විශේෂත්වයක්.මෙහි සමහර රූප සටහන් මිනිස් අවයව සහ පද්ධතිවලට බොහොම සමානකමක් දක්වනවා.ඒ නිසාම මේ කොටසේ මිනිස් සිරුරට සම්බන්ධ තොරතුරු රැසක් අඩංගු බවට විශ්වාස කෙරෙනවා.නමුත් මේ ග්‍රන්ථයේ අවසානයේ ඇති වට්ටෝරු බවට විශ්වාස කෙරෙන කොටසේ නම් කිසිම රූපසටහනක් අන්තර්ගත කර නැහැ.ඒ නිසාම මෙහි ඇත්තේ කුමක්ද කියා අනුමාන කිරීමේ හැකියාවත් විද්වතුන් අතින් ගිලිහී තිබෙනවා.
                                සැබැවින්ම මේ ග්‍රන්ථය රචනා කළේ පිටසක්වල ජීවීන්ද?අතීත ශිෂ්ටාචාරයක සිටි පිරිසක්ද?මෙම භාෂාව කුමක්ද?විශ්වය , වෛද්‍ය විද්‍යාව  , උද්භිත විද්‍යාව ආදිය පිළිබඳව අති විශාල දැනුමක් සැඟවී ඇති බවට විශ්වාස කෙරෙන වර්තමාන විද්‍යාව නිහඬ කළ මෙම ග්‍රන්ථය කුමක්ද?

No comments:

Post a Comment