ලෝකය තුළ විවිධ හේතු නිසා මිනීමැරුම් සිදු වෙනවා.ඇතැම් මිනීමැරුම් වැඩි කාලවේලාවක් ගත වීමට පෙර විසඳුනත් තවත් ඒවා විසඳීමට වසර ගණන් ගතවන අවස්ථාවනුත් දක්නට ලැබෙනවා.කෙසේවෙතත් ඇතැම් විටෙක දැකීම තබා අසාගෙන සිටීමට පවා නොහැකි ආකාරයට ම්ලේච්ඡ අයුරින් සිදු කළ මිනීමැරුම්වල වරදකරුවන් ලෝකයෙන් අතුරුදන්වූ ආකාරයට සැඟවී යනවා.අද ලිපිය තුළින් අපි කතා කරන්නේත් මෙතෙක් විසඳා ගැනීමට නොහැකි වූ එවන් අබිරහස් මිනීමැරුමක් පිළිබඳවයි.
1947 වසරේ ඇමරිකාවෙන් තමයි මේ සිදුවීම වාර්තාවන්නේ.උදෑසන කාලයේ තමන්ගේ දියණියත් සමඟ ඇවිදීමට ගිය එක්තරා කාන්තාවකට අමුතු යමක් දක්නට ලැබී තිබෙනවා.දුර සිට නිරීක්ෂණය වන මෙය සාමාන්‍යයෙන් කඩසාප්පුවල ඇඳුම් ප්‍රදර්ශනයට යොදා ගන්නා ඩමියක් ආකාරයේ බෝනික්කෙක් විදිහට ඇය දැක තිබෙනවා.නමුත් ආසන්නයට පැමිණ බලනවිට මේ අසාමාන්‍ය සුදකින් යුතුව දක්නට ලැබී තිබෙන්නේ බෝනික්කු නොව මියගිය සාමාන්‍යය කාන්තාවක් බව ඇය අවබෝධ කොට ගන්නවා.ඇය තවත් භීතියට පත් කරමින් මෙම මළ සිරුර තිබිලා තියෙන්නේ ඉන ප්‍රදේශයෙන් වෙන් වෙලා කොටස් දෙකක් විදිහට.අත් දෙක උඩට ඔසවා ගත්ත විදිහට තිබුණ මේ කාන්තාවගේ සිරුරේ කට දෙපැත්තෙන් කන ලගට වෙනකන්ම කපලා තිබුණා වගේම ඇඟ හැම තැනකම දරුණු කැපුම් දක්නට ලැබිලා තියනවා.ඇස් දෙකත් එලියට පැනලා තිබුණ මේ භයානක දර්ශණයෙන් දැඩි තැතිගැන්මට පත්වන ඇය කෙසේහෝ ඉක්මනින්ම පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
පොළිසිය පැමිණ සිදු කළ පරීක්ෂණ සහ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ඇඟ කිලිපොලා යන තවත් කරුණු රාශියක්ම අනාවරණය කර ගැනීමට හැකි වෙනවා.එහිදී සොයාගෙන තිබෙන විදිහට ඇයට මේ හැම දෙයක්ම ඝාතකයා සිදු කරලා තියෙන්නේ ඇය පණ පිටින් සිටිනවිට බව සොයා ගැනෙනවා.කෙසේවෙතත් ඝාතකයා ඇගේ සිරුරෙන් සියලුම ලේ එළියට ගෙන තිබීම තමයි මළ සිරුරේ අසාමාන්‍ය සුදු පැහැයට හේතුවෙලා තිබුණේ.මෙතරම් අසීමිත වේදනාවන් කන්දරාවක් උසුලපු මේ අවාසනාවන්ත තරුණිය මිය යන්න අධික රුධිර වහනය වගේම යකඩ පොල්ලකින් හිසට එල්ල කළ දැඩි පහරකුත් හේතුවෙලා තිබෙන බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වී තිබෙනවා.ඝාතකයාගේ කුරිරු බව යලි යලිත් සනාථ කරමින් සිරුර අසල තැබූ බෑගයක ඇගේ සිරුරින් ඉවත් කරගත් රුධිරයත් තබා ගොස් තිබූ බව පැවසෙනවා.
මේ ආකාරයේම මරණයක් ලබා දිය යුතු වුණත් එම අපරාධයට වගකිව යුතු පුද්ගලයකු සොයා ගැනීමට ඇමරිකාව අපොහොසත් වනවා.කිසිඳු හෝඩුවාවක් නොමැතිව කාලය ගතවී යන අතරතුර දිනක් පොලිසියට ලිපියක් ලැබෙනවා.පොලිසිය විමතියට පත් කරමින් මෙය එවා තිබෙන්නේ තරුණියගේ ඝාතකයා විසිනුයි.කෙතරම් උත්සාහ කලත් කාන්තාව මරා දැමූ පුද්ගලයා සොයා ගැනීමට පොළිසියට හැකියාවක් නැති බවත් තමාම පැමිණ පොලිසියට භාරවන බවත් එහි සඳහන්ව තිබූ බව පැවසෙනවා.ඝාතනයක් සිදුකරලා සැඟවිලා ඉන්න හැකියාව තිබියදී අපරාධකරුවෙක් කරන මෙම ප්‍රකාශය නිසාම එම සිදුවීම පුවත්පත්වල පවා පලවන තරමටම ප්‍රසිද්ධියට පත් වනවා.
එකල පුවත්පත් මෙවන් සිදුවීම්වලදී සාමාන්‍යයෙන් අදාල පුද්ගලයාගේ සත්‍ය නම භාවිත කර නැහැ.ඒ නිසාම මෙම සිදුවීමට බඳුන්වන කාන්තාවගේ සත්‍ය නම " එළිසබත් ෂොට් " වුණත් ඔවුන් ඇය වෙනුවෙන් " බ්ලැක් ඩාලියා " නැත්නම් " බ්ලැක් දාලියා " කියන නම භාවිත කරන්නට කටයුතු කරනවා.ඇය නිතරම කලු පැහැයෙන් යුතු ඇඳුම් ඇඳීමත් , තද කලු පැහැති දිග කොන්ඩයත් මේ නම පටබැඳීමට හේතුවෙලා තිබුණා.
කොහොම වුණත් අපරාධකරුවා නම් පොලිසියට භාර වෙලා නැහැ.කාලයකට පසු නිහැඬියාව බිඳ දමමින් මෙවර පොලිසියට ඝාතකයාගෙන් පාර්සලයක් ලැබෙනවා.එතුළ බ්ලැක් ඩාලියා භාවිත කළ මුදල් පසුම්බිය , රූපලාවණ්‍ය උපකරණ සහ ලිපිනයන් අඩංගු පොතකුත් තිබිලා තියනවා.මේ හරහා ලිපින පොතේ සටහන්ව තිබුණ පුද්ගලයකුගෙන් පොලිසිය ප්‍රශ්ණ කරනවා.සිනමා ශාලාවක් හිමි ඔහු බ්ලැක් ඩාලියා තමන්ගේ යහළුවකු බවත් ඇය මරා දැමීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් පවසනවා.ඔහුගේ පසුබිම සොයා බැලීමෙන් අනතුරුව ඔහු මෙම ඝාතනයට සම්බන්ධ නොමැති බවට පොලිසිය තහවුරු කර ගන්නවා.
ඉන් අනතුරුව පොලිසියේ සැකය ඇය ආශ්‍රය කළ පුද්ගලයකු වෙතයි.වෙනත් විවාහයක් තිබුණත් ඔහු බ්ලැක් ඩාලියා සමඟත් සබඳතාවයක් පවත්වා ගෙන ගොස් තිබුණා.සබඳතාවයක් තිබුණත් ඇය නොමැරූ බව ඔහු පැවසුවත් පොලිසිය එය පිළිගෙන තිබුණේ නැහැ.එයට හේතුව වෙලා තිබුණේ බ්ලැක් ඩාලියා අවසන්වරට මොහු සමඟ සිටීම.ඝාතනයට දවස් 06ට පෙර ඇය මොහුගේ වාහනයෙන් බැස යන ආකාරය කිහිප දෙනෙකුම දැක තිබුණා.මේ සැකය නිසාම පරීක්ෂණවලට යොදා ගන්නා එන්නතක් ලබා දීමෙන් පසුව ඔහුගෙන් ප්‍රශ්ණ කර තිබුණා.කෙසේවෙතත් එතනදී ඔහු නිවැරදි බවට සනාථ වී තිබෙනවා.
මීලඟට පොලිසිය ජෝර්ජ් නම් වෛද්‍යවරයෙක් පිළිබඳව සැක කරනවා.ඔහුගේ පසුබිම සොයා බැලීමේදී වෛද්‍යවරයා බ්ලැක් ඩාලියා සමඟ පමණක් නොව තවත් කාන්තාවන් බොහොමයක් සමඟ අනිසි සබඳතා තිබුණ බව හෙළිවනවා.සාක්ෂි ලබා දෙන ඔහුගේ පුතා මේක ඔහුගේ පියා කරන්න ඇති බව කියනවා.තමන්ගේ නිවසේ මුහුණ එතරම් පැහැදිලි නැති , නමුත් බ්ලැක් ඩාලියාගේ රූපයට සමාන ඡායාරූපයක් තිබුණ බවත් දැන් එය නොමැති බවත් වැඩි දුරටත් පවසනවා.ඩාලියාගේ සිරුරේ තිබුණ කැපුම් හැම එකක්ම වෛද්‍යවරයෙක් සැත්කමල් කරන ආකාරයට කපා තිබුණත් සාක්ෂි නොමැතිවීම නිසා පසුව ඔහු ඇමරිකානු අපරාධ අංශයෙන්ම සැකකරුවන්ගේ ලැයිස්තුවෙන් ඉවත් කරනවා.මේ විදිහට 350 දෙනෙකුගෙන් කට උත්තර ලබා ගත්තත් ඇමරිකානු අපරාධ අංශයට ඝාතකයා සොයා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ.
මේ හැමදේකින්ම පස්සේ නැවතත් ඝාතකයාගෙන් ලිපියක් ලැබෙනවා.ඔහු පොලිසියට විශාල කාලයක් ලබා දුන්නත් ඔවුන්ට තමන්ව අත්අඩංගුවට ගැනීමට නොහැකි වුණ බවත් සඳහන් කර තිබුණා.ඒ වගේම තවත් වසර 10ට තමන්ව නොසොයන ලෙසත් අත්අඩංගුවට නොගන්නා ලෙසත් ඉල්ලීමක් කරන ඔහු වසර 10ට පසුව පැමිණ භාරවන බවත් සඳහන් කර තිබූ බව පැවසෙනවා.කෙසේවෙතත් වාර්තාවන ආකාරයට මෙම ඝාතකයා පොලිසිට භාරවීමක් හෝ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමක් පිළිබඳව වාර්තා වන්නේ නැහැ.මෙතරම් ම්ලේච්ඡ ආකාරයට කාන්තාවක් ඝාතනය කළ අපරාධකරු ඇමරිකාව වැනි රටකට සොයා ගැනීමට නොහැකි වීම සැබැවින්ම මවිතය දනවන්නක්.කෙසෙවෙතත් වසර ගණනාවක් ගතවී තිබුණත් මෙම ඝාතනය අදටත් හෙළි නොවූ අබිරහසක්ම පමණයි.

Magical
ReplyDelete