Saturday, April 22, 2023

සංඥා ක්‍රියා විරහිත වන අද්භූත නිහඬ කලාපය


 

                                      ලෝකය පුරා විවිධ විශමතාවයන් සහිත ප්‍රදේශ රැසක්ම දක්නට ලැබෙනවා.කාන්තාර , සාගර , ගොඩබිම් අතර පවා සාමාන්‍යය තත්ත්වයන් ඉක්මවා ගිය අසාමාන්‍ය , අද්භූත සිදුවීම් වාර්තාවන ස්ථාන පිළිබඳවත් වාර්තාවනවා.බර්මියුඩා ත්‍රිකෝණය , ඇලස්කා ත්‍රිකෝණය වගේම අද්භූත සිදුවීම් වාර්තා වන මේ ප්‍රදේශය මෙක්සිකෝව තුළ පිහිටා තිබෙනවා.

                                එක්දහස් නවසිය තිස් ගණන්වලදී තමයි මුලින්ම මේ ස්ථානය පිළිබඳව අවධානය යොමු වෙලා තිබෙන්නේ.දිනක් " ෆ්‍රැන්සිස්කෝ සරබියා " මෙක්සිකෝවේ කාන්තාර ප්‍රදේශයකට ඉහළින් තම ගුවන් යානය පියාසර කරවමින් සිටියා.අනපේක්ෂිත අවස්ථාවක යානයේ උපකරණ මාපක අසාමාන්‍ය විදිහට ක්‍රියා කිරීමටත් විදුලි උපකරණ සියල්ල ක්‍රියා විරහිත වීමටත් පටන් ගන්නවා.උදාවූ අවස්ථාවට අනුව ඔහුට කළ හැකි එකම දෙය යානය හදිසි ගොඩබැස්වීමක් පමණයි.ඔහු මෙලෙස ගොඩබසින්නේ " The Zone Of Silence " නමින් හඳුන්වන අද්භූත නිහඬ කලාපයටයි.
                                 මෙම අද්භූත කලාපය මෙක්සිකෝවේ සෙබෙල්ලෝ (Ceballos) සිට සැතැපුම් 25ක් දුරින් , ටෙක්සාස්වල එල්පැසෝ (Elpaso) සිට දකුණු දෙසට සැතැපුම් 400ක දුරකින් කාන්තාර ප්‍රදේශයක පිහිටා තිබෙනවා.1964දී ඇමරිකානු රජය සතු සමාගමක් වන ෆෙමෙක්ස් සමාගම උතුරු මෙක්සිකෝව දක්වා තෙල් නලයක් ඉදි කිරීමට ඇති හැකියාව අධ්‍යනය කිරීමට " හැරී ඩෙලෆීනියා " නම් ඉන්ජිනේරුවකු යවා තිබුණා.නමුත් කණ්ඩායම අතර රේඩියෝ පණිවිඩ හුවමාරුවට ඇති වුණ බාධාවන් නිසා එම ගවේෂණයට බාධාවන් ඇති වුණා.රේඩියෝ සංඥා ක්‍රියා විරහිත වන මේ ප්‍රදේශයට " නිහඬ කලාපය " ලෙස නම් ලබා දෙන්නෙත් හැරී විසිනුයි.දැඩි කුතුහලය නිසාම ඔහු තම ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසුවත් එම ප්‍රදේශයට පැමිණ තොරතුරු සොයා බැලීමට කටයුතු කරනවා.එහිදී ගුවන්විදුලි සංඥා ක්‍රියා විරහිත වන ස්ථාන සිතියම් ගත කිරීමට උත්සාහ දැරුවත් එම ස්ථාන සෑම තැනකටම සැරිසරන නිසා එම කටයුත්තත් අපහසුවනවා.
                                  නමුත් මේ නිහඬ කලාපයේ සංඥා ක්‍රියා විරහිත වීමට අමතරව තවත් අබිරහස්වලින් පිරී තිබෙනවා.ඒ අතර ප්‍රධාන තැනක් ගන්නේ මේ කලාපයේ දක්නට ලැබෙන බව පවසන පිරිමි පුද්ගලයන් දෙදෙනා සහ කාන්තාවයි.වාර්තා වන ආකාරයට මෙම පුද්ගලයන් දකින සෑම අවස්ථාවකම කාන්තාරයට කිසිසේත්ම නොගැලපෙන ඇඳුම්වලින් තමයි සැරසී සිටින්නේ.බොහොම ආචාරශීලී ඉතාම ප්‍රියමනාප මොවුන් තිදෙනා චතුර ලෙස ස්පාඤ්ඤ භාෂාව කතා කරනවා.මොවුන්ගේ ගමන් මාර්ගය සහ අවශ්‍යතාවය සෑමවිකම සමානවනවා.නිරන්තරයෙන්ම එකම ගොවිපළක් වෙත යන මොවුන් සෑම අවස්ථාවකම කරන්නේ බෝතලයකට ජලය පුරවා ගැනීම පමණයි.කෙසේවෙතත් දිනක් ගොවිපලේ සේවකයෙක් මොවුන් පැමිණෙන්නේ කොහේ සිටදැයි විමසූ විටක ඔවුන් සිනාසී  ඉහලින් බව පවසා තිබෙනවා.එසේනම් මොවුන් වෙනත් ලෝකයකින් පැමිණි ජීවීන් පිරිසක්ද?
                                      1975 වසරේ ඔක්තෝබර් මාසයේදී " අර්නස්ටෝ " සහ " ජොසෆිනා ඩයස් " නම් ෆොසිල ගවේෂකයන් දෙදෙනෙක් දුර්ලභ , අසාමාන්‍ය පාෂාණ සාම්පල එකතු කිරීමට මෙම ප්‍රදේශයට පැමිණෙනවා.නමුත් අපේක්ෂා නොකළ ආකාරයට දැඩි වැසි කුණාටුවකට මුහුණ දීමට ඔවුන්ට සිදුවනවා.මොහොතක් පාවා දරුණු අතට හැරෙන කුණාටුවෙන් බේරීමට හැකි උපරිම වේගයෙන් ගමන් කලත් කුණාටුව හේතුවෙන් වගුරක් බවට පත් වුණු කාන්තාරයේ එක් ස්ථානයක මෝටර් රථයේ රෝදය එරෙනවා.මෝටර් රථය තුළ භීතියෙන් තැති ගෙන සිටින මොවුන්ට මොහොතකින් තමන් දෙසට ඇවිදගෙන එන මිනිසුන් දෙදෙනෙක් දකින්නට ලැබෙනවා.මුලදී දෘෂ්ටි මායාවක් යැයි සිතුවත් කහ පැහැති වැහිකබා සහ හිස් වැසුම් පැළඳ සිටි මොවුන් දෘෂ්ටි මායාවක් නොවන බව මොවුන් පසුව වටහා ගන්නවා.
                                     කෙසේවෙතත් අවසානයේ මොවුන් දෙදෙනාගේ උපකාරයෙන් මෝටර් රථය එම ස්ථානයෙන් ඉවත් කොට ගෙන ආරක්ෂිත ස්ථානයකට රැගෙන යාමට යුවල සමත්වනවා.නමුත් රථය එරුණු ස්ථානයෙන් ඉවතට ගෙන තමන්ට උපකාර කිරීමට පැමිණි පුද්ගලයන්ට ස්තූති කිරීමට මෝටර් රථයෙන් බැස එන අර්නස්ටෝ හට එම පුද්ගලයන් පෙනෙන මානයකවත් දැක ගැනීමට ලැබෙන්නේ නම් නැහැ.එතරම් සුළු මොහොතකින් මිනිසුන් දෙදෙනෙක් පෙනෙන තෙක්මානයකවත් නොමැති වුණේ ඔවුන් අතුරුදන් වුණාද?
                                  නිරන්තරයෙන් උල්කාපාත පවා කඩා වැටෙන මෙම අද්භූත නිහඬ කලාපය කිලෝමීටර් 50ක වපසරියකින් යුතු භූමි ප්‍රදේශයක් පුරා පැතිර පවතිනවා.1970 ජූලි 11 එක්සත් ජනපදයේ ග්‍රීන් රිවර් ගුවන් හමුදා කඳවුරේ සිට ඉහළ වායු ගෝලීය තත්ත්වයන් නිරීක්ෂණයට යවන චන්ද්‍රිකා රොකට්ටුවක් පවා පාලනයෙන් ගිලිහී මෙම කලාපයට කඩා වැටී තිබෙනවා.මෙය මෙක්සිකෝවේ වයිට් සෑන් ප්‍රදේශයට ගොඩබැස්වීමට නියමිතව තිබුණත් බාහිර බලවේගයකින් ඇදගත් ආකාරයට නිහඬ කලාපයට ඇදී යනවා.මෙක්සිකෝවේ අවසරය මත සුන්බුන් සෙවීමට පැමිණියත් සන්නිවේදන සබඳතා බිඳවැටීම නිසා එම පරීක්ෂණයන් පවා අඩාල වනවා.මෙය යානයේ දෝෂයක්ද?අහඹු සිදුවීමක්ද?
                                      නිශ්චිත නිගමනයක් නොමැති මෙම තත්ත්වය පිළිබඳව විද්‍යාඥයන් පළ කරන මත අතර වඩාත් පිළිගත හැකි මතයක් ලෙස මෙම කලාපයේ පොළව අභ්‍යන්තරයේ ඇති සුවිශේෂී ඛණිජවල බලපෑම දැක්විය හැකියි.නමුත් මේ අතර මෙය සංචාරක ආකර්ෂණය වෙනුවෙන් ගොතන ලද නාගරික පුරාවෘත්තයක් බව පවසන පිරිසකුත් සංඥා අවහිර වන්නේ ප්‍රදේශය වටා ඇති කඳු පන්ති හේතුවෙන් බව පවසන පිරිසකුත් සිටිනවා.කෙසේවෙතත් වර්තමානයේ පවා ඉතිහාසඥයන් මෙම කලාපය පුරාවට විසිරී පවතින ෆොසිල තුළින් මෙහි අතීතය , අද්භූත සිදුවීම්වලට හේතූන් සොයමින් සිටිනවා.නමුත් තවමත් මෙය විසඳා ගැනීමට නොහැකි අබිරහස් ගොන්න අතරට එක් වුණ තවත් සිදුවීමක් පමණයි.

No comments:

Post a Comment