Wednesday, March 29, 2023

ලොව පුරා විසිරුණු මරණයට පාර කපන ග්‍රන්ථ


 

                                   අතීතයේ බොහොමයක් දෙනාගේ විනෝදාංශය වුණේ පොතක් කියවීම.එතුළින් දැනුම වගේම විනෝදය සහ අත්දැකීම් පවා ලබා ගැනීමේ හැකියාව පවතිනවා.නමුත් කිසිඳු දිනයක කියවීමට නුසුදුසු ග්‍රන්ථ පවා මේ ලෝකය තුළ පවතින බව පැවසුවහොත් පොතපතට පෙම් බඳින බොහෝ දෙනාගේ සිත් සසල වේවි.නමුත් සත්‍ය එයයි.අද ලිපිය තුළින් ඔබට තොරතුරු රැගෙන එන්නේ මෙවන් ශාපලත් ග්‍රන්ථයන් පිළිබඳවයි.


ටොමිනෝ ගේ අපාය :-

                                   සයිජෝ යෂෝ නම් ජපන් ජාතිකයෙකු විසින් 1919 දී රචනා කර තිබෙන " ටොමිනෝස් හෙල් " නැතහොත් " ටොමිනෝගේ අපාය " නම් මෙම ග්‍රන්ථය කවි එකතුවක් බව වාර්තාවනවා.පළමුවන ලෝක යුද්ධය නිසා තමා දැඩි ලෙස ආදරය කළ සොයුරියගෙන් සහ පියාගෙන් සමු ගැනීමට සිදු වූ , සිය පවුල නැවත කිසි දිනක දැක ගන්නට නොලැබෙන දුකින් මියගිය ටොමිනෝ නම් තරුණ පිරිමි ළමයකුගේ දුක්ගැනවිල්ලක් මෙහි සඳහන් වනවා.මෙහි ඇතුලත් කවි කිසිවිටෙකත් හඬනගා කියවීම නොකළ යුතුයි.යම්කිසි පුද්ගලයෙක් මෙම කවි හඬ නගා කියවුවහොත් එම පුද්ගලයාට මියයන තරම් භයානක තත්වයකට තත්ත්වයකට මුහුණ දීමට සිදුවන බව පැවසෙනවා.

යක්ෂයාගේ පුස්තකය :-

                                      " ග්‍රෑන්ඩ් ග්‍රිමෝයර් " නැතහොත් " සාතන්ගේ සුභ ආරංචිය " නමින් නම්කොට තිබෙන මෙම ග්‍රන්ථය ලොව බිහිසුණුම ග්‍රන්ථයක් ලෙස සැලකෙනවා.1421 වසරේදී රචනා කරන්නට ඇතැයි විශ්වාස කරන මෙය එක් පුද්ගලයකු හෝ පුද්ගලයන් කිහිපදෙනෙකු එක්ව රචනා කරන්නට ඇතැයි පැවසෙනවා.1750 දී මන්ත්‍ර ශාස්ත්‍ර ප්‍රගුණ කළ පුද්ගලයකුගේ සොහොන් ගැබක් තුළින් හමුවූ මෙම ග්‍රන්ථය කොටස් 02න් යුක්තයි.එහි පළමු කොටස තුලින් බිහිසුණු නපුරු මායාවන් සිදු කිරීමට යක්ෂයන් කැඳවන ආකාරය සහ එලෙස කැඳවන යක්ෂයන්ගෙන් නපුරු අපේක්ෂාවන් ඉටු කරගන්නා ආකාරය සඳහන් වනවා.දෙවන කොටස තුළින් භූතයන් සමග ගනුදෙනු කරන ආකාරය සඳහන් වන බවත් පැවසෙනවා.

ශාපලත් නවකතාව :-

                                  ක්‍රි:ව: 1608 - 1615 අතර කාලයේදී martin de leon නම් ස්පාඤ්ඤ ජාතිකයෙකු විසින් රචනා කර තිබෙන මෙම අද්භූත ග්‍රන්ථය මුල් වරට රචනා කර තිබුණේ 1621 වසරේ දී.වසර 400ට වැඩි කාලයක් අතුරුදන්ව තිබූ මෙම නවකතාව 1965 දී නැවත සොයාගෙන තිබුනත් 2018 වසර දක්වාම නැවත මුද්‍රණය කිරීමට හැකියාවක් ලැබී නොමැති බවටයි වාර්තා වන්නේ.එම නිසාම මෙම පොත කිසි දෙන දින ප්‍රකාශයට පත් කළ නොහැකි පොතක් ලෙස කටකතා පවා පැතිර ගොස් තිබුණා.කෙසේවෙතත් මෙය ශාපලත් ග්‍රන්ථයක් ලෙස හැඳින්වීමට මෙම පොත පරිවර්තනය කිරීමට උත්සාහ කළ කිහිප දෙනෙකුම ගුප්ත සිදුවීම් මගින් කාලයේ මියයාමත් හේතුවී තිබෙනවා.නමුත් මෙම ග්‍රන්ථය තුළ කිසිදු මන්ත්‍රයක් ගත වන්නේ නැහැ.එකල දැඩි විවේචනයට ලක්වූ මෙම ග්‍රන්ථය තුළ ගැඹුරු ආගමික මූලයන් පිළිබඳව සඳහන් කොට තිබෙන බවත් කතුවරයා එම තොරතුරු ප්‍රචණ්ඩකාරී ලෙස රචනා කර තිබෙන බවත් වාර්තා වනවා.එහෙම නිසාම මෙම ග්‍රන්ථය සැබෑවටම ශාපලත් ග්‍රන්ථයක් ද එසේත් නැතරචණ්ඩකාරීව රචනා කර තිබීම නිසා මෙලෙස හැඳින්වුවා ද යන ගැටළුව පැන නගිනවා.
                                 බොහෝ දෙනා දැඩිව ප්‍රිය කරන , විවිධ ප්‍රස්තුතයන් පිළිබඳව රචන වන ග්‍රන්ථයන් අතර මෙවන් ග්‍රන්ථයන් තිබිය හැකිද?නැතහොත් මේවා යම්කිසි පුද්ගලයන් හෝ කණ්ඩායමක් විසින් නිර්මාණය කරන ලද මුසාවන්ද?

Monday, March 27, 2023

මිනිසුන් බිය ගන්වන නහානි නිම්නයේ වහීලා වෙනත් ලොවකින් පැමිණි ජීවියෙක්ද?


 

                                       උතුරු ඇමරිකානු මහද්වීපයේ පිහිටි විශාලම රට තමයි කැනඩාව.විවිධාකාර අද්භූත සංසිද්ධීන් , ගුප්ත සතුන් පිළිබඳ විශ්වාස සහ ජනප්‍රවාද විශාල ප්‍රමාණයක් එදා සිට අද දක්වාම කැනඩාව පාදක කර ගනිමින් ව්‍යාප්තව පවතිනවා.මේ අතර බොහොමයක් ජනප්‍රවාද එරටට සුදු ජාතිකයන් පැමිණීමත් පෙර සිටම පැවත එන බවට ස්වදේශික ජනතාව තුළ විශ්වාසයක් පවතිනවා.

                               මෙවන් අද්භූත සිදුවීම් සිදුවන ස්ථාන අතර ප්‍රධානම ස්ථානයක් හිමිකරගන්නා තැනක් තමයි ' නහානි නිම්නය ' කියන්නේ.කැනඩාවේ නිරිතදිග ප්‍රදේශයෙහි මැකන්සි කඳුකරයේ දකුණට මායිම්ව පිහිටා ඇති මෙම භූමිය ස්වදේශිකයන් විසින් හඳුන්වන්නේ අද්භූත ගුප්ත ආත්මයන් අරක්ගෙන සිටින මනුෂ්‍ය වාසියට කිසිසේත්ම නුසුදුසු ස්ථානයක් ලෙසයි.කෙසේ වෙතත් වර්තමානය වනවිට මෙම භූමිභාගය ' නහානි ජාතික වනෝද්‍යානය ' ලෙස ප්‍රකාශයට පත් කොට තිබෙනවා.නහානි භූමිය තුළ සිදු වූ බවට පැවසෙන පතල් ශ්‍රමිකයන්ගේ අතුරුදන් වීම් හා ඉන්පසුව සිදු වී ඇති තවත් අත්භූත මරණවලට අමතරව මෙම භූමිය භීතියෙන් පුරවන බොහොම ප්‍රසිද්ධ තවත් කෙනෙක් තමයි " වහීලා " කියන්නේ.
                                   කැනේඩියානු කල්පිත  වෘතාන්වලට අනුවනම් වහීලා කියන්නේ අසාමාන්‍ය ලෙස විශාල වෘකයෙක්ට සමාන පෙනුමක් ඇති සත්ත්වයෙක්. හැබැයි ඇතැම් පිරිස් පවසන්නේ නම් වහීලා වෙනත් ලෝකයකින් පැමිණි අද්භූත සත්වයකු බවයි.නමුත් මේ සත්වයා සිටින්නේ නහානි නිම්නයේ පමණක් බව නම් එයින් කියැවෙන්නේ නැහැ.මොකද එම ප්‍රදේශයට අමතරව තවත් බොහෝ ප්‍රදේශවලින් වහීලාට බෙහෙවින් සමාන අසාමාන්‍ය ලෙස විශාල සිරුරක් සහිත වෘකයෙක් වැනි සත්වයෙක් පිළිබඳ පුවත් වාර්තා වෙලා තිබෙනවා.ඔන්ටාරියෝ ප්‍රදේශයේ මහාධවල වෘකයා ප්‍රවාදයේ මෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා සහ මිචිගන් ප්‍රදේශවල ශුන්කා වොරකින් ජනප්‍රවාදවලද සඳහන් වී ඇත්තේ වෘකරූපී දැවැන්ත සත්වයෙක් පිළිබඳවයි.එසේ නම් මේ වාර්තාවලින් කියවෙන්නෙත් වහීලා ගැනමද?
                                 මෙම සිදුවීමට මුහුණ දී තිබෙන්නේ ඇමෙරිකාවේ ජීවත් වුණු තරුණ කාර්මික ශිල්පියෙක් වන ෆ්‍රෑන්ක් ග්‍රාවේස්.ඇමරිකානු විශ්වවිද්‍යාල සිසුන් කණ්ඩායමක් සමඟ නහානි නිම්නයේ අබිරහස් පිළිබඳව ගවේෂණයක් කිරීමට පැමිණෙන ඔහුට බලාපොරොත්තු නොවූ අවස්ථාවක වැහිලා මුණගැසෙනවා.ඔහු විස්තර කරන ආකාරයට වහීලා හිම සුදු පැහැති ලොමින් වැසුණු යෝධ සත්වයෙක්.අනපේක්ෂිත අවස්ථාවකට මුහුණපාන ග්‍රාවේස් මහත් භීතියට පත්ව මේ සත්වයා දෙසට වෙඩි ප්‍රහාර කිහිපයක්ම එල්ල කොට තිබුණත් ඒ කිසිවකින් සත්වයාට කිසිදු හානියක් හෝ සත්වයා කලබලයට පත්වූ සේයාවක්වත් දක්නට ලැබී නැහැ.මේ තරම් වෙඩි තියලත් නොවැදුනේ වහීලා අද්භූත සත්වයෙක් නිසාද?
                                   1970 වසරේ විද්‍යාඥයකු වන ' අයිවන් ටී. සැන්ඩර්සන් ' මහතාට නිර්නාමික ලිපියක් ලැබී තිබෙනවා.කැනඩාවේ ඔන්ටාරියෝ පළාතේ උතුරුකරයේ පිහිටි මූසනී නගරයට යන අතරතුර ' ඩෙනේ ' ස්වදේශිකයන් දෙදෙනෙකු අද්භූත සත්වයෙක් දුටු බවට සටහනක් ඒ තුළ ඇතුලත් වනවා.බැලූ බැලීමට මෙම සත්වයාගේ ශරීරය අඩි 11ක් පමණත් වලිගය අඩි 04ක් පමණත් දිග සුදු පැහැයට හුරු දුඹුරු පැහැති විශාල පැතලි හිසකින් යුක්තයි.ඊට අමතරව මෙම සත්වයා ගොදුරු කොටස්වලට කඩා ආහාරයට ගන්නා බවත් කිසිවකුට පරාජය කළ නොහැකි මිනිසුන්ට පවා පහර දෙන සත්වයකු බවට බයානක සටහනකුත් ලියුම්කරු එක්කර තිබෙනවා.
                                ජස්ටින් නම් තරුණයෙක් තමන්ගේ යහළුවන් සමඟ 2011 වසරේදී " 1991 Ford Mustang " රථයකින් පාන්දර 03ට පමණ තම නිවසට යාමට පිටත්වනවා.ආසන්න වශයෙන් පැයට කිලෝමීටර් 87ක පමණ වේගයෙන් " spruce Lake " පසුකරගෙන කිලෝමීටරයක් පමණ යනවිට මොවුන්ට අමුතු ඡායාවක් දක්නට ලැබෙනවා.මදක් වේගය අඩු කළ වාහනයේ ප්‍රධාන ආලෝක පහන්වලින් කිසිදිනක අමතක නොවන දසුනක් දකින්නට ලැබෙනවා.ඔවුන් දකින්නේ තමන් ගමන් කරන රථයටත් වඩා විශාල සුදු පැහැයට හුරු රිදී පැහැති සිරුරක් තිබුණ සත්වයෙක්.දඩයක්කරුවකු වන ජස්ටින් කියන විදිහට කිසිසේත්ම මේ වෘකයෙක් නම් නොවෙයි.
                          1960 දශකයේ සිටම නහානි නිම්නයට පරීක්ෂකයන් , ගවේෂකයන් , සත්ව විද්‍යාඥයන් සහ භූවිද්‍යාඥයන් පවා පැමිණෙමින් වහීලා  නම් මෙම අද්භූත සත්වයා පිළිබඳව සෙවීම් සිදු කළත් තවමත් ඔවුන්ට මේ සත්ත්වයා හමුවී නැහැ.අතීතයේ පමණක් නොව වර්තමානයේ දී පවා මෙම නහානි නිම්නය ප්‍රචලිතව තිබෙන්නේ කැනඩාවේ ඇති අද්භූතම භූමිභාගය ලෙසයි.ඇසින් දුටු සාක්ෂි සහ ජනප්‍රවාද අනුව සැබෑවටම මෙවන් සතෙක් සිටිනවාද?නැත්නම් වහීලා කියන්නේ වෙනත් ලෝකයකින් පැමිණි ජීවියෙක්ද?

Sunday, March 26, 2023

හෝඩුවාවක්වත් නොතබා අතුරුදන් වූ ගම්මානය


 

                                      ලෝකය තුළ විටින්විට වාර්තාවන අතුරුදන් වීම් බොහොමයි.ඒ අතර නැව් , ගුවන්යානා ආදී වාහන අතුදන් වීම් , මිනිසුන් අතුරුදන් වීම් ප්‍රධානයි.මෙවන් අතුරුදන් වීම් කෙතරම් සුලභ වුවත් සම්පූර්ණ ගම්මානයක්ම කිසිඳු හෝඩුවාවක් නොමැතිව අතුරුදන් වීමක් පිළිබඳව වාර්තා වීම නම් පුදුම සහගතයි.නමුත් හිම මිදෙන මිටියාවතක ආක්ටික් කලාපය තුළින් මෙවන් බිහිසුණු සිදුවීමක් වාර්තා වී තිබෙනවා.

                              1930 නොවැම්බර් අග භාගයේ දිනක " අන්ගිකුනි " ධීවර ගම්මානයේ විසූ ගැහැණු , පිරිමි , ළමයි පමණක් නොව සතුන් පවා හෝඩුවාවක් නොමැතිව අතුරුදන්ව ගොස් තිබෙනවා.තමන්ගේ ජීවන වෘත්තීය ලෙස දඩයමේ නිරතවන ජෝ ලබේල්ට ඇස්කිමෝවරුන්ට ආවේණික කූඩාරම් බදු පැල්පතින් පිටුණ , මිත්‍රශීලී ගම්මානය ආගන්තුක ස්ථානයක් නොවේ.
                                   දඩයමේ යාමට පිටත් වූ පසුව මුහුණ දීමට සිදුවන අනපේක්ෂිත හිම කුණාටු තත්ත්වය හේතුවෙන් මෙම කුඩා ගම්මානයට පැමිණ තිබේ.කුණාටුවෙන් මිදී ගම්මානයට ඇතුළු වූ මොහොතේ යම් සහනයක් දැනුනද සුපුරුදු උද්‍යෝගීමත් කලබලය වෙනුවට එහි පැවති පාලු ස්වභාවය ඔහුට රැගෙන ආවේ යම් කුහුලකි.සීත සමයේදී පැල්පත් මුදුනේ ඇති දුම් කවුලු තුළින් නොනවත්වා නගින දුම්රොටු , සතුටු සිනා කිසිවක්ම එහි නොවීය.
                                  සුපුරුදු ලෙස උස් හඩින් ගම්වැසියන් ඇමතුවත් වෙනදා ගම්මුන්ගෙන් ලැබෙන ක්ෂණික ප්‍රතිචාරය තබා හැල්මේ බුරා හැලෙන හිම කරත්ත අදින බල්ලන්ගේ බිරුම් හඬද නොවීය.මේ අසාමාන්‍ය තත්ත්වය හේතුවෙන් ගම්මානය පරීක්ෂා කර බලන ලාබෙල්ට කිසිඳු හානියක් නොවූ ගෙවල් දොරවල් , ධීවර යාත්‍රා සහ උපකරණ , අවි ආයුධ , ඇඳුම් පැලඳුම් පමණක් නොව ලිප්මත තිබෙන අර්ධව පිසුණු ආහාර පවා ඒ ආකාරයටම තිබෙන ආකාරය නිරීක්ෂණය වනවා.නමුත් කිසිඳු යුද්ධයක් , කලබලයක් , අරගලයක් ඇති වූ බවට සලකුණක් පවා හමුවන්නේ නැහැ.පවතින තත්ත්වයේ බියකරු බව වටහා ගන්නා ලාබෙල් දුෂ්කර මගක් වුවත් එම මග ගෙවා ගොස් ටෙලිග්‍රාෆ් කාර්‍යාලයට පැමිණ පොළිස් බැරැක්කයකට පණිවිඩයක් ලබා දීමට සමත්වනවා.
                                  පණිවිඩය ලද සැණින් ක්‍රියාත්මක වුවත් පොළිසියට ගම්මානය වෙත පැමිණීමට පැය ගණනාවක්ම ගතවනවා.කෙසේවෙතත් ගිමන් හැරීමට අසල ගම්මානයක මදක් නවතින පොළිසියට එම නිවසේ දඩයක්කරු සහ පුත්‍රයන් දෙදෙනා මේ පිළිබඳව පවසන්නේ වෙනස්ම කතාවක්.ඔවුන් පවසන ආකාරයට දින කිහිපයකට පෙර අහස හරහා ඇදී ගිය විකාර රූපී දීප්තිමත් වස්තුවක් ගම්මානය දෙසට ගොස් තිබෙනවා.සිලින්ඩරාකාර හැඩයකින් යුක්ත වුණ මේ යානය තම දෑස් ඉදිරිපිටම ක්ෂණිකව වෙඩි උණ්ඩයක් වැනි හැඩයකට මාරු වූ බවත් පවසනවා.
                                මොවුන්ගේ කතාවත් සිතේ තබා ගෙන ගම්මානයට පිවිසෙන පොළිසිය තමන්ගේ විමර්ශන කටයුතු ආරම්භ කරනවා.ගෙවල් දොරවල් , ඇඳුම් ඈදී සියලුම සාමාන්‍යය ආකාරයට තිබුණත් සජීවී ප්‍රාණීන් කිසිවකුම ගම්මානය තුළින් සොයා ගැනීමට ඔවුන් අසමත් වනවා.වනාන්තර , නිවාස පමණක් නොව ගමට අයත් සොහොන පවා නිරීක්ෂණය කරන ඔවුන්ට සොහොන තුළින් හමුවන්නේ කිසි ලෙසකින්වත් බලාපොරොත්තු වූ දර්ශණයක් නම් නොවේ.සොහොනේ සොයලුම සොහොන්කොත් දෙකට මැදින් පලා සොහොන් දෙපස පිළිවලට ගොඩගසා තිබෙන අතර ඒවා තුළ තිබූ සියලුම ඇටසැකිලිත් අතුරුදන්ව තිබෙනවා.
                                   මේ දර්ශණයෙන් තවත් වික්ශිප්තභාවයට පත් වුවත් පිළිතුරක් අපේක්ෂාවෙන් පොළිසිය ඔවුන්ගේ සෙවීම් තවදුරටත් පුලුල් කර තිබෙනවා.මෙහිදී පිළිතුරක් වෙනුවට ඔවුන්ට ලැබෙන්නේ තවත් ප්‍රහේලිකාවක් පමණයි.ගම්මානයට අඩි 300ක් පමණ දුරින් අඩි 12 යට වැලලූ හිම යානා අදින සුනඛයන් 07 දෙනෙකුගේ සිරුරු ඔවුන් මෙහිදී සොයා ගන්නවා.මොවුන් තම සුනඛයන්ට ඉතාමත් හොඳින් සලකන ගෝත්‍රික ජනතාවක් වුවත් මෙම සුනඛයන් මිය ගොස් තිබෙන්නේ නිරාහාරව සිට හාමත් වීමෙන් බවට වාර්තාවනවා.
                                  මෙවන් සීත සමයක ගම්වාසීන් සියලු දෙනා තම සුනඛයන් පවා හැරදමා වෙනත් ස්ථානයකට සංක්‍රමණය වූ බව පැවසීමේ හැකියාවක් නැහැ.එසේනම් ඔවුන් තම භාණ්ඩ සියල්ල රැගෙන යා යුතුයි.ලිප්මත පිසෙමින් තිබූ ආහාර පවා ඒ ආකාරයටම තබා ඔවුන් සියලු දෙනා කුමන ස්ථානයකට පිටව ගියාද?සොහොන් බිමේ මිහිදන් කළ ඇටසැකිලිවලට වුණේ කුමක්ද?මෙය සැබෑවක්ද?නැත්නම් මිත්‍යාවක්ද?සැබැවින්ම කිසිම හෝඩුවාවක් නොතබා ගම්මානයක්ම මෙසේ අතුරුදන් වූයේ කෙසේද?

Saturday, March 25, 2023

ඇමරිකාවේ භයානකම හොල්මන් නිවස


 

                                     ඇමරිකාව කියන්නේ ලෝකයේ බලවතා වෙන්න බොහොම ලොකු උත්සාහයක නිරත වන රටක්නේ.හැබැයි අද අපි කතා කරන්නෙ නම් එහෙම දෙයක් ගැන නෙවෙයි.කොයිතරම් දියුණු රටක් වුණත් ඇමරිකාව තුළත් විසඳීමට නොහැකි වුණු අබිරහස් සැඟවිලා තිබෙනවා.අද අපි කතා කරන්නේ අන්න ඒ වගේ අබිරහස් නිවසක් ගැන.

                            ඇමරිකාවේ තිබෙන බයංකරම නිවසක් වන මේ නිවස හඳුන්වන්නේ " Whaley House " කියන නමින්.තෝර්මස් වේලි නම් පුද්ගලයෙක් කැලිෆෝනියාවෙන් මිල දී ගත් ඉඩමක  1857 දී තට්ටු දෙකේ නිවසක් ඉදි කරනවා.මේක අපි හිතනවට වඩා ටිකක් විශාල නිවසක්.තෝර්මස් වේලි තමන්ගේ බිරිඳ ඇනා වේලිත් සමඟ පදිංචි වන මේ නිවසේ උසාවියක් ලෙස භාවිත කෙරුණු කොටසක් සහ ඇමරිකාවේ පළමු සිනමා ශාලාව ලෙස සැලකෙන සිනමා ශාලාවකුත් තිබිලා තියනවා.මේ නිවස 1850 - 1950ත් අතර කාලයේ දී තමයි මේ විදිහේ කටයුතුවලට භාවිත කරලා තිබෙන්නේ.
                                    මේ විදිහට කාලය ගෙවී යද්දී වේලි පවුලට ඇනා ඇමේලියා , තෝර්මස් ජූනියර් සහ ෆ්‍රැන්සිස් හින්ටන් නමින් දරුවන් තිදෙනෙක් උපදිනවා.නමුත් නොසිතූ ආකාරයට අවාසනාවන්ත කාලයක් උදා කරමින් ඔවුන් නොසිතූ ලෙස තෝර්මස් ජූනියර් උණ රෝගයක් වැළඳීමෙන් මිය යනවා.ඒත් එක්කම තෝර්මස් වේලිගේ ව්‍යාපාරික ස්ථානයත් කිසියම් හෝ පිරිසක් විසින් ගිනි තබා විනාශ කරනවා.මේ අවාසනාවන්ත තත්ත්වය නිසාම අවසානයේ ඔවුන් සැන්ෆ්‍රැන්සිස්කෝ බලා පිටත්ව යන අතර එහිදී ඔවුන්ට තවත් දරුවන් තිදෙනෙකු ලැබෙනවා.නමුත් අවාසනාව නම් ඔවුන් හැරදා යන්නේ නැහැ.අවාසනාවන්ත ලෙස භූමිකම්පාවකට මුහුණ දීමට සිදු වීම නිසා ඔවුන් නැවතත් වේලි නිවසටම පැමිණීමට ඔවුන්ට සිදුවනවා.
                                  විවාහ ජීවිතය අසාර්ථක වීම නිසා වයලට් වේලි මෙම නිවසේදීම වෙඩි තබා ගැනීමෙන් දිවි තොරකර ගන්නවා.ඉන් පසුව ගතවන වසර 68ක කාලය පුරා මේ නිවසේදී තවත් පවුලේ සාමාජිකයන් තිදෙනෙක් මිය යනවා වගේම පසුව මේ නිවසේ කුලියට සිටි බොහෝ දෙනෙකුත් මිය යනවා.කෙසේවෙතත් මේ නිවස නැරඹීමට එන බොහෝ දෙනා පවසන ආකාරයට මෙම නිවසේ ළදරුවකු හඬන ශබ්දය , දෙවනි තට්ටුවේ ඉතාමත් දුකින් සිටින තරුණ කාන්තාවක් , සිනමා ශාලාවෙන් සංගීත ශබ්ධ , කෑම කාමරයේ කොළ පැහැති ගව්මකින් සැරසී තේ පානය කරන තරුණියක් ආදී දේවල් දකින්නටත් අසන්නටත් ලැබී තිබෙනවා.
                                 දිනක් එරට හදිසි ඇමතුම් අංකයට ලැබෙන ඇමතුමකින් මෙම නිවස ඉදිරිපිට තරුණියක් හඬමින් සිටින බව පැවසෙන නිසා පොළිස් නිළධාරියෙක් මේ පිළිබඳව විමසා බැලීමට එම නිවසට යනවා.ඔහු යන විටත් තරුණියක් හඬමින් සිටින නිසා ඇය හොඳින් දැයි විමසූ අවස්ථාවේ තරුණිය ක්ෂණිකව නිළධාරියා දෙස බලා සිනා වෙනවා.මේ අමුතු හැසිරීම නිසා පොළිස් නිළධාරියා තරුණිය දෙසට විදුලි පන්දම එල්ල කල විට ඇය අතුරුදන් වී තිබෙනවා.
                                      තවත් අවස්ථාවක මෙම නිවස සංචාරකයන්ට පෙන්වන් පුද්ගලයා එයට විදුලි සීනුවක් සවි කරමින් සිටින විට පසුපසින් පැමිණි තරුණියක් ඔහු කුමක් කරනවා දැයි විමසනවා.මින් බියට පත්වන ඔහු එම මොහොතේම එතැනින් ඉවත්ව යනවා.රාත්‍රියේ නොනවත්වා මෙම නිවසේ සීනුව නාද වීම නිසා පොළිස් නිළධාරීන් පිරිසක් පැමිණ මේ පිළිබඳව විමසා බලනවා.ඔවුන් නිවස සෝදිසි කරනවිට කෑම කාමරයේ තරුණියක් තේ පානය කරමින් සිටින නිසා ඇය අත්අඩංගුවට ගැනීමට කණ්ඩායමක් කැඳවනවා.නමුත් ඔවුන් පැමිණෙන විට නිවසේ කිසිවකුත් සිට නැහැ.
                                කොහොම වුණත් මේ තෝර්මස් වේලි මේ නිවස ඉදිකර තිබෙන්නේ අසාධාරණ ලෙස මිනිසකු එල්ලා මරා දමන ලද ඉඩමකයි.ඔහු මෙම සිදුවීම දැකීමෙන් අනතුරුවත් එම ඉඩමේම නිවසක් ඉදි කිරීමට තීරණය කිරීම පුදුම සහගතයි.වාර්තා වන ආකාරයට වේලි පවුලේ අයටත් මේ නිවස තුළින් විවිධ අඩි ශබ්ධ ඇසුන බවත් වාර්තාවනවා.එසේනම් වේලි පවුල විනාශ කලේ අසාධාරණ ලෙස එල්ලා මරා දැමූ ජෝර්ජ් ඇන්කි ජිම්ද?මේ නිවස තුළ වේලි පවුලේ පිරිසගේ ආත්මයන් සැරිසරනවාද?
                                       

Friday, March 24, 2023

ලෝකයේ විවිධ ස්ථානවලින් මතුවන යෝධයන්


 

                                       ලෝකයේ විවිධ රටවල ජනප්‍රවාදයන්වල වගේම අපේ රටේ ජනප්‍රවාද තුළත් යෝධයන් ගැන සඳහන් වෙනවා.පුංචි කාලේ අපිට කියලා දුන්න කතන්දරවල මිරිස්ගල , උණ පඳුර ඇදගෙන මව පසුපස ගිය යෝධයාගේ සිට රජුගේ සේනාවට අයත් වූ දසමහා යෝධයන් ගැනත් අපි අසා තිබෙනවා.

                                    විශාල සිරුරක් නැතිනම් විශාල ශක්තියක් තිබුණ මොවුන්ගේ ක්‍රියාවන් පිළිබඳව අසා තිබුණත් ලෝකයේ බොහෝ දෙනා විශ්වාස කරන්නේ ඔවුන් සැබැවින්ම මිහිපිට වාසය නොකල බවයි.නමුත් ලෝකයේ විවිධ ප්‍රදේශවලින් ඔවුන් භාවිත කල බවට සැලකෙන භාණ්ඩවල ශේෂ වූ කොටස් සහ සාමාන්‍යය මිනිසුන්ට වඩා විශාල හිස්කබල් , මිනිස් අස්ථි කොටස් ආදිය හමුවී තිබෙනවා.අද ලිපිය තුළින් අප කතා කරන්නේ යෝධයන් සැබැවින්ම මිහිපිට වාසය කළ බව සනාථ කිරීමට ලොවපුරා ප්‍රදේශවලින් ඉදිරිපත් වන සාක්ෂි පිළිබඳවයි.

බටහිර වර්ජිනියාවෙන් හමුවු ඇටසැකිල්ලි :-

                               බටහිර වර්ජිනියාවේ ගල් අඟුරු කැණීම් සිදුකළ පිරිසකට සාමාන්‍යය මිනිස් අස්ථිවලට වඩා විශාල ඇටසැකිලි කිහිපයක් හමුවී තිබෙනවා.පරීක්ෂකයන් පවසන ආකාරයට මෙම ඇටසැකිලි ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වනවා.ඊට අමතරව පසුකාලීනව පොළව කනින ලද අවස්ථාවන්වලදීත් මීට සමාන සාක්ෂි හමුව තිබුණා.1838 දී මවුන්ට්සිං ප්‍රදේශයේ ග්‍රේව්පීක් කන්දේ කැණීම්වල නිරතව සිටි පුරාවිද්‍යා ගවේෂක කණ්ඩායමකටත් අඩි 08ක් පමණ උස මෙවන් අසාමාන්‍ය ඇටසැකිල්ලක කොටස් හමු වී තිබෙනවා.

චීනයෙන් හමු වූ අස්ථි කොටස් :-

                                    2017 වසරේ චීනයේ " ෂැංඩොං " ප්‍රදේශයෙනුත් මෙවන් අසාමාන්‍ය ඇටසැකිලි කිහිපයක් සොයාගෙන තිබෙනවා.මිනිස් සිරුරට අතිශයින් සමාන මෙම ඇටසැකිලි මීටර් 1.9ක පමණ දිගකින් යුතු බව පැවසෙනවා.මෙම අස්ථිවලට අමතරව එකල ඔවුන් භාවිත කල බවට සැලකෙන මැටි බඳුන් ආදී යම් යම් උපකරණ කිහිපයකුත් හමුවී තිබෙනවා.අදින් වසර 5000ට පමණ පෙර චීනයේ ජීවත් වන්නට ඇති බවට විශ්වාස කරන මෙම යෝධ මිනිසුන් සාමාන්‍යය චීන ජාතිකයකුගේ උපරිම උස වන අඩි 5.6 ඉක්මවා තිබීම විශේෂත්වයක්.
ඉන්දියාවෙන් හමු වූ ඇටසැකිල්ල :-

                                  ලොව එතෙක් මෙතෙක් හමුවූ විශාලම මිනිස් ඇටසැකිල්ල ලෙස සැලකෙන අඩි 18ක දිගකින් යුතු ඇටසැකිල්ල අසල්වැසි ඉන්දියාවෙන් හමුවී තිබෙනවා." National Geographic " චැනලය මගින් ප්‍රථම වරට වාර්තා කළ මෙම ඇටසැකිල්ලේ පැවැත්ම ප්‍රාග් ඓතිහාසික යුගය දක්වාම දිව යන බවට ඉන්දියානු ජාතික භූගෝල විද්‍යාඥයන් මත පළ කරනවා.

සෞදි අරාබියෙන් හමු වූ ඇටසැකිලි :-

                                  සවුදි අරාබියානු ප්‍රදේශය තුළිනුත් අතිශයින්ම විශාල , දැවැන්ත මිනිස් ඇටසැකිලි කිහිපයක් හමුවනවා.කෙසේවෙතත් ශුද්ධ වූ කුරාණයේ සඳහන් වන ආකාරයට මෙම මිනිසුන් දෙවියන් වහන්සේගේම නිර්මාණක් වන අතර පසුව මොවුන්ගේ විනාශකාරී හැසිරීම් නිසා උන්වහන්සේ විසින්ම මොවුන් විනාශ කර තිබෙනවා.

ඇමරිකාවෙන් හමු වූ නෂ්ටාවශේෂ :-
       
                                1930 දී ඇමරිකාවේ නිවාඩා ප්‍රාන්තයේ ලව්ලොක් ප්‍රදේශයෙන් පතල්කරුවන් පිරිසකට යෝධයන්ගේ නෂ්ටාවශේෂ , නිදන් වස්තු සහ රතු පැහැති හිසකෙස් හමුවී තිබෙනවා.ජනප්‍රවාදවල මෙම යෝධයන් සීටකා නම් මිනීමරු ගෝත්‍රිකයට අයත් යෝධයන් ලෙස හඳුන්වා තිබෙනවා.එපමණක් නොව මෙම යෝධයන් විසින් ආහාරයට ගෙන ඉතිරි වූ කොටස් ලෙස අනුමාන කෙරෙන අඩි 06ක් පමණ උස මිනිසකුගේ මමීකෘත සිරුරක කොටස් ද හමුවී තිබෙනවා.
                                    සැබෑවටම ඔවුන් මේ මිහිපිට වාසය කලාද?කෙසේවෙතත් අතීතයේ යෝධ මිනිසුන් මේ මිහිපිට ජීවත් වූ බවට දැක්වෙන මෙවන් තොරතුරු විදෙස් වෙබ් අඩවි ගණනාවක්ම ඉදිරිපත් කර තිබුණත් ඔවුන් මෙම තොරතුරු සොයාගත් සොයා ගත් මූලාශ්‍ර පිළිබඳව යම් ගැටලුකාරී තත්ත්වයන් තිබෙන නිසා මේවා නිසැක වශයෙන්ම සත්‍ය බව හෝ අසත්‍ය බවට පැවසීමේ හැකියාවක් නැහැ.නමුත් ජනප්‍රවාද තුළ අපට නිතර හමුවූ යෝධයන් සැබැවින්ම මිහිපිට වාසය කලාද යන ගැටළුව නම් තවමත් විසඳී නැහැ.

Thursday, March 23, 2023

නිවැසියන් බිය ගන්වන සෙලවෙන සිතුවම


 

                                       හොල්මන් කියන්නේ හැමෝම එකහෙලාම පිගන්න මතයක් නෙවෙයි.හොල්මන් ද මිනිසාගේ බුද්ධියට ගෝචර නොවෙන පරාසයක පවතින වෙනත් යමක් දැයි නිවැරදිවම අනුමාන කළ නොහැකි සිදුවීම් පවා ලෝකය පුරා විවිධ කාලවකවානු තුළ සිදුවනවා.නමුත් ගුහාවලින් ආරම්භ වී වර්තමානය වනවිට ඩිජිටල්කරණය හරහා සෑම ක්ෂේත්‍රයක්ම තම ග්‍රහනයට නතු කොට ගෙන චිත්‍ර කලාව තුළින් මෙවන් අද්භූත සිදුවීම් වාර්තා වන බව පැවසුවහොත් ඔබ පිළිගන්නවාද?

                                විවිධ කලා ශිල්පීන්ගේ දෑතීන් නිර්මාණය වුණ , අතිවිශාල මිල ගණන්වලට අලෙවි වුණ චිත්‍ර වගේම අතිශය කතාබහට ලක්වුණු සිතුවම් ද බොහොමයක් තිබෙනවා.නවා.
                                    සාමාන්‍යයෙන් සිතුවමක් විදිහට සැලකෙන්නේ යම්කිසි නිශ්චල දර්ශණයක් නිසා එම රූපරාමුවල කිසිඳු චලනයක් බලාපොරොත්තු වීමේ හැකියාවක් නැහැ.නමුත් එසේ නොවුණු චලනය වන අසාමාන්‍ය චිත්‍රත් මේ ලෝකය තුළ තිබෙනවා.අද අපි මේ ලිපිය තුළින් ඔබට රැගෙන එන්නේ අහඹු ලෙස කැමරා කාචවල සටහන් වුණ එවන් චලනය වන අබිරහස් සිතුවමක් පිළිබඳවයි.
                                මේ ආකාරයේ බොහොම ප්‍රසිද්ධ සිතුවමක් තමයි " The Anguished Man " සිතුවම.තමන්ගේ මිත්තනියගේ මරණයෙන් පසුව ෂෝන් රොබින්සන්ට හිමිවන මේ සිතුවම ඔහු පවසන ආකාරයට වසර 25ක කාලයක් පුරා තම මිත්තනියගේ නිවසේ අට්ටාලයේ තිබිල තියනවා.කොහොම වුණත් මේක බොහොම නපුරු චිත්‍රයක් කියල තමයි මිත්තනිය කියලා තියෙන්නේ.
                                       වාර්තා වෙන විදිහට මේ චිත්‍රය නිර්මාණය කරපු තැනැත්තා ඒ සඳහා බෙහෙවින් භාවිත කරලා තියෙන්නේ තමන්ගේ රුධිරය.නමුත් මේ තරම් අමුද්‍රව්‍ය සුලභව තිබෙන කාලයක  රුධිරයෙන් චිත්‍රයක් ඇඳීම නම් හරිම අමුතුයි.කොහොම වුණත් මේ සිතුවම ඇඳලා අවසන් වෙද්දී එම පුද්ගලයත් මිය ගිහින් තිබෙනවා.ඒ නිසාම සමහරු නම් කියන්නේ මේක සියදිවි නසා ගැනීමක් කියලයි.කෙසේවෙතත් මෙහි නිරූපණය කරලා තියෙන්නේ වේදනාවෙන් කෑගසන හිස මුඩු කළ පිරිමි පුද්ගලයකුගේ උඩුකය චිත්‍රයක්.
                                   මිත්තනියගේ මරණයෙන් පසුව ෂෝන් මෙම සිතුවම තම නිවෙසට නිවසට රැගෙන එනවා.නමුත් නොසිතූ විදිහට චිත්‍රය රැගෙන ඒමෙන් පසුව රාත්‍රී කාලයට විවිධ ශබ්ධ වගේම කිසියම් අයෙක් වේදනාවෙන් කෑගහන ශබ්දයකුත් ඇසෙන්නත් පටන් ගන්නවා.මේ නිසාම මේ ගැන සොයා බලන්න හිතන ෂෝන් මෙම සිතුවම සහිත කාමරයේ කැමරා සවි කරනවා.දවස් 04ක් කිසිවක් සිදු නොවුනත් 05වෙනි දවසේ කිසිඳු හේතුවකින් තොරව සිතුවම පෙරලී යනවත් එක්කම සුදු පැහැති ඡායාවක් බිත්තියේ සටහන් වෙලා අතුරුදන් වන ආකාරය පටිගත වෙලා තියෙනවා.
                             අවස්ථා ගණනාවකදීම මේ පිළිබඳව සොයා බලන ෂෝන් අවසානයේ 2011 වසරේදී හොල්මන් පින්තාරු කිරීම් " The Anguished Man " ලෙස යූ ටියුබ් වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හරිනවා.පැය 08ට ආසන්න කාලයක් සිතුවම තිබෙන කාමරයේ පටිගත කරලා තිබෙන මේ වීඩියෝවේ සිතුවම සහිත කාමරයේ දොරවල් තනිවම ඇරෙන් වැසෙන දර්ශන , සීරීම් හඬ වගේ විකෘති ශබ්ද රැසක් ඇසෙන බවත් පැවසෙනවා.
                               මේ සිතුවම පමණක් නෙවෙයි ලෝකය පුරා තවත් මෙවැනිම සෙලවෙන , ඡායාරූපයට ලක් කළ නොහැකි , හඬන , සිනාසෙන සිතුවම් රැසක් පිළිබඳව වාර්තා වනවා.ඇත්තටම මෙතන තියෙන්නේ හොල්මන්ද?නැත්නම් මේක දෘෂ්ටි මායාවක්ද?

Wednesday, March 22, 2023

මුහුදේ සැරිසරන අත්භූත නෞකා


 

                                        ඉමක් කොනක් නැති මුහුදු ජීවිතය කියන්නේ අපිට බොහොම ආස්වාදජනක අත්දැකීමක් වුණත් එය තම ජීවිතය කරගත් ධීවරයන්ට නම් තීරණාත්මක ගමනක්.තමන්ගේ දිවි රැක ගැනීමට නිරත වන මෙම වෘත්තීය තුළදී නාවුකයින් මුහුණ දෙන ත්‍රාස්‍යජනක සිදුවීම් ද බොහොමයි.නමුත් ඔවුන් මෙම ත්‍රාස්‍යජනක අත්දැකීම්වලට අමතරව නොයෙක් අත්භූත සිදුවීම්වලටත් මුහුණ දෙන බව බොහෝ අවස්ථාවලදී අසන්නට ලැබෙනවා.මෙවන් ගමන්වලදී ඔවුන්ට දකින්නට ලැබෙන අත්භූත යාත්‍රා ගැනත් සඳහන් වුණත් බොහෝ දෙනා මෙවන් කතා විශ්වාස කරන්නේ නම් නැහැ.ඉතින් අද අපි මේ ලිපියෙන් කතා කරන්නේ බොහෝ පළපුරුදු නාවිකයන් අත්විඳි නමිත් පැවසීමට අකමැති මහ සයුරේ සැරිසරන එවන් හොල්මන් යාත්‍රාවක් ගැනයි.

The Ourang Medan :-
                          
                                ඇමරිකානු නාවික යාත්‍රා 02ට මුහුණ දීමට සිදු වුණ මෙම අත්භූත සිදුවීම වාර්තා වෙන්නේ 1947 වසරේදී.මලක්කා සමුද්‍ර සන්ධිය පසු කරමින් සිටින විට ඔවුන්ට " The Ourang Medan " නම් යාත්‍රාවකින් හදිසි පණිවිඩයක් ලැබෙනවා.එම නෞකාවේ සිටි පුද්ගලයෙක් තමන්ගේ නෞකාවේ කපිතාන්වරයාගේ සංඥා උපකරණයෙන් ලබා දුන් එම පණිවිඩයෙන් කියවුණේ තමන් සිටින නැවේ සියලුම දෙනා මියගොස් තිබෙන බවත් වහාම තමාව බේරාගන්නට පැමිණෙන ලෙසත් බොහෝම බැගෑපත්ව කළ ඉල්ලීමක්.මෙම ඉල්ලීම කරන ඔහු කතාව නිමකර තිබෙන්නේ " මමත් මැරෙන්නද කොහෙද යන්නේ " යනුවෙන් ඉතාමත් දුර්වල හඬින් පවසමින්.
                                    මේ ලැබුණු පණිවිඩය නිසාම ඇමරිකානු යාත්‍රා දෙක අවසාන නාවිකයා හෝ මුදා ගන්නා අදහසින් හැකි ඉක්මනින් සංඥා ලැබුණු දිශාවට ගමන්  කරනවා.අනතුරට පත් නෞකාවක් සහ මරණාසන්න නාවිකයකු මුදා ගැනීමට ගිය ඔවුන්ට මුහුණ දෙන්න සිදු වන්නේ නම් සිහිනෙකින්වත් නොසිතූ අන්දමේ ත්‍රාස්‍යජනක අත්දැකීමකටයි.ඔවුන්ට කිසිඳු හානියක් නොවූ මෙම නෞකාව හමු වුණත් එහි කිසිවකුවත් ඒ වනවිටත් ජීවතුන් අතර සිටියේ නම් නැහැ.පණිවිඩය ලබාදුන් පුද්ගලයකු තබා යාත්‍රාවේ සිටි සුරතල් සතකුවත් ඒ වනවිට ජීවත්ව නොසිටීම ඔවුන් මවිත කිරීමට සමත්ව තිබුණා.කෙසේවෙතත් සුරතල් සතුන් ඇතුලුව එහි සිටි සියළු දෙනාම මියගොස් තිබුණේ අති භයානක අත්දැකීමකට මුහුණදී අවසන් හුස්ම හෙලූ බවක් දක්වන ඉරියව්වලින් වීම ඔවුන් තව දුරටත් වික්ෂිප්ත බවට පත් කරන්නට සමත් වුණා.
                                මුහුණ දීමට සිදු වූ අත්දැකීමෙන් දැඩි කැළඹීමට පත්වන ඇමරිකානු යාත්‍රාවල නාවිකයන්ට පවා මේ සම්බන්ධව කිසිම නීත්‍යානුකූල පියවරක් හෝ ගැනීමට අවස්ථාව උදා වන්නේ නැහැ.දුටු දර්ශණයන්ගේ භයානක බව දෙගුණ කරමින් කිසිඳු පරීක්ෂණයක් සිදු කිරීමට පෙර අනපේක්ෂිත අයුරින් නෞකාවේ ඇතිවන අබිරහස් ගින්නකින් මුලු නෞකාවම ගිනිගෙන විනාශ වී යනවා.
                                 කොහොම වුණත් මිනිසුන් මියගොස් අබිරහස් විදිහට ගිනිගත්ත මේ නෞකාව අදටත් බොහොමයක් යාත්‍රාවන්වලට මුණ ගැසෙන බවට සඳහන් වනවා.නෞකාවේ තිබුණු රසායනික ද්‍රව්‍යයන්වල බලපෑමක් නිසා නැව ගිනි ගන්න ඇති කියලා පර්‍යේක්ෂකයන් මත පළ කලත් ඒවා සනාථ කරන්නත් කිසිම සාක්ෂියක් නැහැ.ඇත්තටම මේ නැවේ ගමන් කළ නාවිකයන්ට මොකද වුණේ?

The Lady Lovibond :-
                                
                                විවාහ උත්සවයක් වටා යොමුවන මේ නෞකාවේ කතාව 1748 වසර දක්වාම දිව යනවා.මේ නැවේ කපිතාන්වරයා තමන්ගේ විවාහ උත්සවය තමන්ට සුපුරුදු නෞකාවේම පවත්වන්න තීරණය කරනවා.නමුත් ඒ වනවිටත් කපිතාන්වරයාගේ මනාලියට පෙම්බැඳි නැවේ සිටි තරුණයෙක් ඊර්ෂ්‍යාව සහ පළිගැනීමේ චේතනාවෙන් මෙම නෞකාව විශාල ගල් පරයක ගැටීමට සලස්වනවා.මේ නිසා තරුණයා ඇතුලු නැවේ ගමන් කළ සියලු දෙනාම මරණයට පත්ව තිබෙනවා.කොහොම නමුත් මේ සිදුවීමට වසර ගණනාවට පසුව 1798 දී එම්ප් නගරය ආසන්න මුහුදේදී මෙම නෞකාව දක්නට ලැබුණු බවට වාර්තා වනවා.එවක් පටන් සෑම වසර 50ටම වරක් මෙම අත්භූත නෞකාව විවිධ නාවිකයන්ට දක්නට ලැබී තිබුණත් 1998 වසරේදී නම් කිසිවකුට එය දක්නට ලැබුණු බවට වාර්තා වන්නේ නැහැ.

The Caleuche :-
     
                               චිලී රටේ ජනතාවට නාවික ක්ෂේත්‍රය පිළිබඳව දීර්ඝ ඉතිහාසයක් වගේම ශක්තිමත් බැඳීමක් පවතිනවා.නමුත් චිලී රටේ කෙතරම් දක්ෂ , පළපුරුදු නාවිකයෙක් වුවත් තැතිගැන්මට පත් කිරීමට සමත් යාත්‍රාවක් විදිහට තමයි මේ නෞකාව සැලකෙන්නේ.කටකතා සහ මේ නැව සම්බන්ධ ඇසින් දුටු සාක්ෂිවලට අනුව මේ නැව බොහොම ලස්සන නැවක්.ඒ වගේම මේ නැව ගොඩබිම ආසන්නයෙන් ගමන් කරන විට සංගීතය වගේම බොහොම සතුටින් විනෝදවන ශබ්දයකුත් ඇසෙනවා.නමුත් එම සිනහවන් ඉතාමත් සුලු මොහොතකින් විලාපයක් බවට පත් වන බවත් මෙම නෞකාව දුටු පුද්ගලයන් පවසා තිබෙනවා.ඔවුන් පවසන ආකාරයට නෞකාව හදිසියේ මුහුදුබත් වීම නිසා තමයි මොවුන් මෙහෙම විලාප දෙන්නේ.
                                     යම් හේතූන් නිසා මුහුදුබත් වුණ , අනතුරට පත් වුණ නෞකාවන් මේ විදිහට මාවිකයන්ට මුණ ගැසෙනවාද?එසේනම් එහෙම වෙන්නේ ඇයි?සැබෑවටම මෙවන් සිදුවීම් තුළ පවතින සත්‍ය කුමක්ද?

Monday, March 20, 2023

බිග්ෆුට් ඇමරිකාවෙන් මතුවෙයි ?


 

                                     බාල , මහලු , තරුණ වයස් භේදයකින් තොරව හැමෝම අතර ජනප්‍රිය දෙයක් තමයි කතන්දර.හයක් හතරක් නොතේරෙන පුංචි කාලේ අහපු සුරංගනා කතාවේ සිට තරුණ කාලයේ අහපු දැකපු චිත්‍රපට , පුරාවෘත්ත , ජනකතා වගේම මහලු කාලෙදි අහන්න ලැබෙන ජාතක කතා වෙනකන්ම කාලෙන් කාලෙට අපේ හිත්වලට පැමිණි චරිත බොහොමයි.මේ චරිත අතර යෝධයෝ , කුරිමිට්ටෝ , දියකිඳිරියෝ වගේ අපේ සිත් ඇද බැඳ ගත්ත නමුත් කිසි දින සියැසින් නොදුටු චරිත ප්‍රධානයි.සියැසින් නොදුටුවත් විටින් විට ලෝකයේ විවිධ ස්ථානවලින් දුටු බවට සාක්ෂි හමුවන මෙවැනි අය අතර බිග්ෆුට් කියන්නෙත් බොහොම ජනප්‍රිය කෙනෙක්.කාලෙන් කාලෙට පුවත් මවන , විස්මිත කතා තුළින් ආන්දෝලනයක් ඇති කරන , ලෝකයා විටින් විට මවිත කරන බිග්ෆුට් තමයි අද අපේ මාතෘකාව.

                                ජනප්‍රවාද සහ ඇසින් දුටු සාක්ෂිවලට අනුව බිග්ෆුට් කියන්නේ මිනිසුන් වගේම දෙපයින් ඇවිදින මිනිසෙක්ට වඩා උස මුළු ශරීරයම ලොම්වලින් වැසුණු ජීවියෙක්.හරියටම කියනවනම් මෙයා මිනිසෙක්ට සමාන යෝධ වානරයෙක්.ලෝකයේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන බිග්ෆුට් පිළිබඳ ජනප්‍රවාද සහ ඇසින් දුටු සාක්ෂි එක් දහස් අටසිය ගණන් දක්වාම දිව යනවා.1840 බටහිර ජාතිකයන් ඇමරිකාවට පැමිණීමත් සමඟම බිග්ෆුට් ජනප්‍රිය මාතෘකාවක් වෙලා වුණා.
                                     1958 වනතෙක්ම සෙස්කොච් නමින් හැඳින්වුණු මේ සත්ත්වයා පසුකාලීනව බිග්ෆුට් බවට පත් වෙන්නත් හරි අපූරු සිදුවීමක් පාදක වෙලා තිබෙනවා.ඇමරිකාවේ " Six River " ජාතික වනෝද්‍යානයේ ට්‍රැක්ටර් පදවන්නෙක් වන ජෙරී කෲ කියන පුද්ගලයාට දිනක් මිනිසෙක්ට සමාන නමුත් ඊටවඩා බෙහෙවින් විශාල අඩි සළකුණු කීපයක් හමුවනවා.මේක කාගේ පා සලකුණක්ද කියන ප්‍රශ්නය නිසාම එකල ජාතික පුවත්පත් පවා මේ සිදුවීම වාර්තා කර තිබෙනවා.කොහොම වුණත් මේ විදිහට වාර්තා කරපු එක්තරා පුවත්පතක් සෙස්කොච් කියන නම වෙනවට බිග්ෆුට් කියලා වාර්තා කරලා තිබුණා.විශාල පා සටහන් කිහිපයක් හේතුවෙන් ඒ විදිහට ගෙතුණු නම තමයි අද දක්වාම තවමත් භාවිත වෙන්නේ.
                                බිග්ෆුට් තවමත් ජීවමානව සිටිනවා කියන්න පුළුවන් විදිහේ තවත් සාක්ෂියක් 1967 ඔක්තෝම්බර් මාසේ කැලිෆෝනියාවෙන් වාර්තා වෙලා තිබෙනවා.අශ්වාරෝහකයින් දෙදෙනෙක් තම කැමරාවට හඋකර ගත් මෙම දර්ශණ වසර 50ක් පුරා ලොව පවතින් එකම බිග්ෆුට් සාක්ෂිය ලෙස ප්‍රචලිත වුවත් පසුව මෙය ව්‍යාජ රංගනයක් බව තහවුරු වනවා.
                                    1976 වසරේදී තමයි බිග්ෆුට් සම්බන්ධ වැදගත්ම සිදුවීම වාර්තා වෙන්නේ.1976 ඇමරිකා එක්සත් ජනපදයේ වනජීවී ඒකකයේ ජීව විද්‍යාඥයන් දෙදෙනෙක් කිසියම් පරීක්ෂණයකට කැළේට ගිය අවස්ථාවක ඔවුන්ට ඉතා අමුතු ජීවියෙක් නෙත ගැටෙනවා.මෙයා ඉතාමත් උස මහත ශරීරයක් තියෙන හිසේ සිට පාද දක්වාම ලෝම වැඩුණු කෙනෙක්.ඒවගේම මෙයා කකුල් දෙකෙන් තමයි ඇවිදගෙන ගොස් තිබෙන්නේ.ටික වෙලාවක් මේ අමුතු ජීවියා දිහා බලාගෙන හිටපු මේ දෙදෙනාට එකට වැඩුණු ගස් දෙකක් මැද්දෙන් මෙයා කැලේ ඇතුළට අතුරුදන් වෙනවා දැකගන්න ලැබෙනවා.මේක දැකපු විද්‍යාඥයන් දෙදෙනා තමන් මේ ආරංචිය පීටර් බර්න් කියන විශේෂ වන ගවේෂකයෙක්ට සහ එවකට තිබුණ බිග්ෆුට් තොරතුරු මධ්‍යස්ථානයට දැනුම් දෙනවා.බර්න් මේ ස්ථානය පරික්ෂා කරද්දී අමුතු පා සටහණක් වගේම ගහේ පොත්තක හිර වෙලා තිබුණ ලෝම කැබැල්ලකුත් සොයාගන්නවා.ලෝම පරික්ෂා කරපු විද්‍යාඥයන් පවසන විදිහට මේ තිබිලා තියෙන්නේ දැනට විද්‍යාවෙන් සොයාගෙනවත් නැති සත්වයෙකුගේ ලෝම.
                               ඒ පරීක්ෂණ දත්ත නිසාම නිවැරදි තොරතුරක් අපේක්ෂාවෙන් බර්න් පසුව මේ ලෝම FBI වෙත යොමු කර තිබෙනවා.FBI කියන්නේ සතුන් ගැන පරීක්ෂණ කරන ආයතනයක් නොවුනත් බර්න් විශ්වාස කරනවා ඔවුන් මේ පිළිබඳව යම් පිළිතුරක් ලබා දේවි කියලා.කොහොම වුණත් පිළිතුරක් වෙනුවෙන් විශාල කාලයක් තිස්සේ බලාගෙන සිටියත් බර්න්ට කිසිම පිළිතුරක් ලැබෙන්නේ නැහැ.හැබැයි FBI එක බර්න් යවපු සාම්පලය පරීක්ෂණයට ලක් කරලත් ඉවරයි.අවසානයේ ඔහුට ඒ සම්බන්ධයෙන් පිළිතුරක් ලැබෙනවා.හැබැයි ඒ අවුරුදු 40ත් පස්සේ.
                             එහෙම එවලා තිබෙන වාර්තාවේ සඳහන් වෙලා තිබුණේ මේ තියෙන්නෙ මුවෙක්ගේ ලෝම කියලයි.ඒ විතරක් නෙමෙයි මේ පිළිබඳව තව දුරටත් පරීක්ෂණ කිරීමට යාමෙන් ඔබේ වටිනා කාලය නැති වෙනවා කියලත් ඔවුන් සටහන් කරලා තිබුණා.කොහොම වුණත් අදටත් ජීවතුන් අතර සිටින බර්න් නම් ඔවුන්ගේ මේ වාර්තාව පිළිගන්නේ නැහැ. ඔහු කියන්නේ FBI එක තමන්ව රැවැට්ටුවා කියලයි.බිග්ෆුට් කියන්නේ බොරුවක් නම් ඇයි FBI එක ඔවුන් වෙනුවෙන් ලිපිගොනුවක් විවෘත කරලා තිබෙන්නේ?ව්‍යාජ වාර්තා ලබා දෙමින් ඇයි බර්න් වගේ ගවේෂකයන්ව නවත්තන්න උත්සාහ කරන්නේ?
                                   කොහොම වුණත්  කාලෙන් කාලෙට වාර්තා වුණ මේ වගේ සිදුවීම් වාර්තා වුණේ අතීතයේදී පමණයි කියලා හිතනවා නම් ඒක බොහොම වැරදි ආකල්පයක්.2022 අගෝස්තු 03 දකුණු කැරොලිනා ප්‍රාන්තයේ හන්ටින් අයිලන්ඩ් රාජ්‍ය උද්‍යානයෙන් බිග්ෆුට් කෙනෙකු සතු බවට වාර්තා පළ වී තිබෙනවා.උද්‍යානයට පැමිණි අමුත්තන් තිදෙනෙක් අඩි 5 - 6ක් පමණ උස , කෙලින් ඇවිදගෙන යන , තද දුඹුරු පැහැති අඟල් 02ක් පමණ දිග රෝම සහිත සතෙක් ප්‍රදීපාගාරයෙන් පිටව යන විට දුටු බව පැවසෙනවා.
                                  ඒ වගේම 2022 ඔක්තෝබර් 28 චිත්‍ර ශිල්පිනී සිබිලා අර්වින් තමන් සියැසින් බිග්ෆුට් කෙනෙකු දුටු බව පවසා තිබෙනවා.වනාන්තර ප්‍රදේශයක නිරීක්ෂණ කටයුත්තක නිරත වෙමින් සිටි මොහොතක අනපේක්ෂිත ලෙස ගසක වම්පසින් බිග්ෆුට් කෙනෙකුගේ ඔලුව සහ උරහිස මතුව තිබෙනවා.මේ අවස්ථාවේදී තමන් බියට පත්වූ බවත් ඒ බිග්ෆුට් හිසක් සහිත රාත්තල් 1000ක ශීතකරණයක්සේ තමන් දුටු බවත් ඔවුන් පවසා තිබෙනවා.
                               1990 ගණන්වල මැද භාගයේ "Matt Moneymaker " ආරම්භ කරන ලද බිග්ෆුට් ක්ෂේත්‍ර  පරීක්ෂකයන්ගේ සංවිධානයට උතුරු ඇමරිකාව පුරා බිග්ෆුට් සම්බන්ධ සිදුවීම් 75,000ට අධික ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා.මෙසේ වාර්තා වූ සියලුම දර්ශන සමාලෝචනය කරන 500ට ආසන්න සමාලෝචනයන් පවසන්නේ මේ අතරින් දර්ශන 5000 - 6000ක් අතර ප්‍රමාණයක් පමණ විශ්වාසනීය බවයි.ඔවුන් පවසන ආකාරයට මෙසේ වාර්තා පැමිණි ප්‍රදේශ අතර වොෂින්ටන් ,  කැලිෆෝනියාව , ෆ්ලොරීඩා , ටෙක්සාස් වැනි ප්‍රදේශ ප්‍රමුඛ වෙනවා.
                                වඳ වෙලා ගියා කියලා එහෙමත් නැත්නම් මිත්‍යා කථාවල පමණක් සිටිනවා කියලා හිතපු යෝධ දැල්ලා , සීලකානත් මාළුවා , කඳුකර ගෝරිල්ලා , යෝධ පැන්ඩා වගේ සතුන් ගණනාවක්ම සැබෑවට ජීවත් වෙනවා කියලා තහවුරු වෙලා තිබෙන කාලයක බිග්ෆුට් සැබෑවටම ජීවත් වෙනවා වෙන්න බැරිද?බොහොමයක් රහස් තමන්ගේ රටේ ජනතාවටවත් නොදී සඟවන FBI  ආයතනය මේ ගැන සැබෑ තොරතුරුත් සඟවනවාද?නැත්නම් මේක නිකම්ම නිකන්ම නිකන් ජනප්‍රවාදයක්ම විතරද?

ඇත්තටම මේවා කළේ මිනිස්සුමද?


  

                                       ඉතිහාසය කියන්නේ හරිම අපූරු විස්මයජනක ඉසව්වක්. වර්තමාන ලෝකය නිරන්තරවම නවීකරණය වන බවට සඳහන් වුවත් මොහොතින් මොහොත , දවසින් දවස සොයාගන්නා තොරතුරුවලින් ඉතිහාසය තරම් වෙනස් වන තවත් ක්ෂේත්‍රයක් නොමැති තරම්.වර්තමාන තාක්ෂණය උසස් යැයි සිතා සිටින මිනිසාට වරින්වර ඉස්මතුවී පහර පිට පහර එල්ල කරමින් තමන්ගේ ශිෂ්ඨාචාරයන්වල විස්කම් මතුකරන පුරාවස්තූන් සැබැවින්ම අපව විස්මයට පත් කරනසුළුය.ඉතිහාසය අපට පෙන්වන ඔවුන්ගේ දැනුම , තාක්ෂණය ඉදිරියේ අප තවමත් නිරුත්තරයි.ඉතිහාසඥයන් පවසන ආකාරයට අවම වශයෙන් මීට වසර දෙදහසකට පෙර පෘථිවියේ ඉතිහාසය පිළිබඳ උපකල්පනය කිරීමටවත් ඔවුන් සතුව ප්‍රමාණවත් සාක්ෂි නැහැ.ඉතින් අදත් අපි ඔබට මේ කියන්නේ වර්තමාන තාක්ෂණය , විද්‍යාව මෙන්ම විද්වතුන් පවා නිරුත්තර කරන එවන් විස්මිත තාක්ෂණයන් කිහිපයක් පිළිබඳවයි.

ලේසර්වලින් කැපූ ගල් :-

                               පැරණි ඊජිප්තුව කියන්නේ අදටත් විසදාගත නොහැකි අබිරහස් රැසක් සැඟවුණු ශිෂ්ටාචාරයක්.ඒ අතර තිබෙන සැඟවුණු පිරමීඩ කියන්නේ අදටත් විද්‍යාවෙන් පවා හරිහැටි පිළිතුරක් නොලැබුණු ඉතාමත් සංකීර්ණ නිර්මාණයක්.පැරැන්නෝ කොහොමද ඉතාමත් නිවැරදි ජ්‍යාමිතියකින් මෙම නිර්මාණයන් කළේ කියන එක අප ඉදිරියේ තවමත් ඉතිරිව ඇති පැනයක්.ඊට අමතරව අපට ප්‍රශ්නාර්ථයක් නගන තවත් ගැටලුවක් තමයි මේ සඳහා යොදාගත් විශාල ගල් කුට්ටි එකම ආකාරයකට කපා කපා ගැනීමට යොදාගත් තාක්ෂණය කුමක්ද කුමක් ද කියන කරුණ ද කියන කරුණ විවිධ මතිමතාන්තර අනුමාන රැසක් තිබුනත් පැරණි ඊජිප්තුව මේ සඳහා යොදාගත් තාක්ෂණය පිළිබඳ තවමත් කිසිවකු හරිහැටියට දන්නෙ නම් නැහැ.මේ සඳහා සුවිශේෂි උපකාරණ පවතින වර්තමානයේ දී පවා ගල් කුට්ටියක් කැපීම ඉතාමත් අපහසු කටයුත්තක්.
                                 විද්‍යාඥයන් අනුමාන කරන්නේ ඔවුන් බොහෝ දුරට විදුලි බලයෙන් හෝ ගෑස් බලයෙන් මෙම ගල් කැපීම් සිදු කරන්නට ඇති බවයි.නමුත් අදටත් ඔවුන්ට විදුලි බලය හෝ ගෑස් බලය තිබුණු බවට සාධක හමුවී නැහැ. දෑතින් මෙවැනි විශාල ගල් කුට්ටි කපා මෙවන් පිරමීඩ ඉදි කිරීමට කෙතරම් කාලයක් ගතවේවිද?ඒ නිසා මේ ගල් කුට්ටි කපා ගැනීමට ඔවුන් සතුව කුමන හෝ තාක්ෂණයක් පවතින්නට තිබෙන ඉඩකඩ ප්‍රමාණය වැඩියි.කෙසේ නමුත් විද්‍යාඥයන් කළ පරීක්ෂණවලදී ඔවුන්ගේ උකුසු නෙත්වලට ඇතැම් ගල් කුට්ටිවල කියතක් වැනි උපකරණයකින් ඇතිවූ සලකුණු දැක ගන්නට ලැබී තිබෙනවා.ඒ කියන්නේ ඔවුන් මේ සඳහා යොදාගෙන තිබෙන්නේ ඉතාමත් මුවහත් කියතක් වැනි ආයුධයක්ද?ඇත්තටම ඒක නම් හිතාගන්න බැරි දෙයක්.කියතක් වැනි ආයුධයකින් මෙතරම් විශාල ගල් කුට්ටි කපන්න පුළුවන්ද?විද්‍යාඥයන් පවසන ආකාරයට නම් මේක කියතකට වඩා ලේසර් එකක් ලෙස සඳහන් කිරීම වඩාත් නිවැරදි‍යි.
                                     එය එසේ නම් එවන් අතීතයක ඔවුන් මෙවන් උපකරණයක් නිර්මාණය කළේ කෙසේ?ඒ වගේම විද්‍යාඥයන් කියන විදිහට මේක කිසිසේත්ම අතින් නිර්මාණය කළ කියතකුත් නෙවෙයි නම් මෙය කෙසේ නිර්මාණය කරන ලද්දක්ද?කාගේ නිර්මාණයක්ද?මේ අයුරින් ඉතාම නිවැරදිව සහ සරල රේඛීයව ගල් කුට්ටියක් කැපීම සාමාන්‍ය තාක්ෂණයකින් කිසිසේත්ම සිදු කළ නොහැකි නිසා එම මතය නම් පිළිගත හැකියි.කෙසේ වෙතත් ඉතිහාසය බොහෝ සත්‍ය කරුණු වසන් කරගෙන සිටින නිසා වර්තමාන ලෝකයා තවමත් මෙවන් පැනයන් ඉදිරියේ නිරුත්තර බව නම් පැහැදිලියි.

දැඩිගම ඇත් පහනේ විස්මිත තාක්ෂණය :-

                                සෑම ක්ෂේත්‍රයක් පිළිබඳවම සුවහසක් දැනුම් සම්භාරයක් පොදිබැඳගත් ශ්‍රී ලාංකිකයාගේ තවත් සුවිශේෂී නිර්මාණයක් ලෙස දැඩිගම ඇත් පහන හඳුන්වා දිය හැකියි.මෙය ලෝහ විද්‍යාව සහ භෞතික විද්‍යාව පමණක් නොව ද්‍රව විද්‍යාව පිළිබඳව පවා වූ හසල දැනුම පදනම් කරගෙන නිර්මාණය වුණු ලංකාවේ ඉතාමත් පැරණි නිර්මාණයක්. මෙහි ක්‍රියාකාරීත්වය සාමාන්‍ය පහණකට වඩා මදක් සංකීර්ණයි.
                                මෙහිදී තෙල් පුරවන්නේ ඇතාගේ උදර කුහරයටයි.ඒ සඳහා ඇතාගේ දකුණු පාදය ඇතුළතින් උදර කුහරයට විවෘත වන නලයක් සිහින්ව ඇත් රූපයටම වාත්තු කර තිබෙනවා.මේ ආකාරයට ඇත් රූපය උඩුකුරුකොට පාදයේ ඇති නළය ඔස්සේ තෙල් පුරවා වෘත්තාකාර පහන් තැටිය මත රඳවනවා. දැන් ඔබට හිතේවි මේ ආකාරයට රැඳවූ පසුව ඇතාගේ උදරයට පිරවූ තෙල් සියල්ල නැවත වෘත්තාකාර පහන් තැටියට වැටේවි කියලා.නමුත් කිසිසේත්ම එසේ වන්නේ නම් නැහැ.
                                    වෘතාකාර තැටියට තෙල් වෑස්සීම සිදු වන්නේ ඇතාගේ ලිංගය හරහායි.පාදයේ ඇති සිරුරේ විවරය දක්වා තෙල් වෑස්සෙන විට පොල්තෙල්වලිනම එම සිදුරු වැසී යන නිසා පහන් තැටියට ස්වයංක්‍රීයව තෙල්ගලා ඒම නවතිනවා.මෙනිසා පහනේ තෙල් උතුරා යාමක් සිදු වන්නේ නැහැ.ඒ වගේම මෙහි තමන්ට අවශ්‍ය ප්‍රමාණයට පහන්තිර යොදා ආලෝකය ලබා ගැනීමේ හැකියාවත් තිබෙනවා.තෙල් අඩු වනවිට නැවතත් ස්වයංක්‍රීයව පාදයේ තිබෙන සිදුර විවෘත වී තෙල් ගලා ඒම සිදු වෙනවා.ලංකාවේ පැරැන්නන් සුද්දා වැද්දා කාලේ අහසින් ගියා යැයි පැවසෙන කරුණ සනාථ කරමින් බටහිර ජාතීන් භෞතික විද්‍යාව සොයා ගැනීමටත් පෙර ශ්‍රී ලංකාවේ පැරැන්නෝ භෞතික විද්‍යාවෙන් වැඩ ගත් ආකාරය මෙයින් මනාවට පැහැදිලි වනවා.
                                   සැබැවින්ම ලෝකයා නිහඬ කළ මෙවන් නිර්මාණ කළේ කවුද?අදටත් අවබෝධ කර ගැනීමට පවා අපහසු දැනුම් සම්භාරය ඔවුන්ට ලැබුණේ කෙසේද?ඉතිහාසය නම් රසබර ගබඩාව තුළ සැඟවුණු ඒ දැනුම් සම්භාරය කවදා නම් වර්තමාන ලෝකයාට ලැබේවිද?

Sunday, March 19, 2023

ලොවපුරා නිර්මාණය වූ අබිරහස් කුළුණු


 

                                        ලෝකය තුළ ගැනිය නොහැකි තරම් තිබෙන ඉදිකිරීම් අතර තාක්ෂණයේ දියුණුව සිහිගන්වන ගොඩනැගිලි සේම බොහෝ අබිරහස් සඟවාගෙන සිටින පැරණි ඉදිකිරීම් පවා තිබෙනවා.මේ අතර කවුරුන් කුමන අරමුණකට නිර්මාණය කළාද යන්න අනුමාන කිරීමේ හැකියාවක් නොමැති නිර්මාණයන් පවා තිබෙනවා.මෙවැනි ඉදිකිරීම් වටා අගක් මුලක් නොමැති විවිධ උපකල්පන , මතවාද නිර්මාණය වීම බොහොම සාමාන්‍යය තත්ත්වයක්.අද අපි ඔබට තොරතුරු රැගෙන එන්නේ අපගේ දැනුමෙන් එහාට විහිදී ගිය විශිෂ්ට දෑත්වලින් නිර්මාණය වුණ එවන් අමුතු , පැරණි නිර්මාණ කිහිපයක් පිළිබඳවයි.


හිමාලයේ අබිරහස් කුලුණු :-
                                   ටිබෙට් දේශයේ උතුරු නැගෙනහිර පළාතේ සිචුවාන් දිස්ත්‍රික්කයේ කඳු මත ගල් කුළුණු 200ට අධික ප්‍රමාණයක් පිහිටා තිබෙනවා.මේ කුලුණුවලින් සමහරක් මීටර් 30ක් පමණ විශාල වන අතර ඇතැම් ඒවා තරුවක හැඩයකින් නිර්මාණය කර තිබෙනවා.පුරාවෘත්තවලට අනුව ක්‍රි:ව: 1240 දී මොන්ගුල් අධිරාජ්‍යයා ටිබෙට් දේශයට එන විට ක්ෂණිකවම මෙම කුලුණු නිර්මාණය වී තිබෙනවා.මේ කුලුණුවල අබිරහස සොයා ගන්න විශාල ගවේෂණ කණ්ඩායමක් උත්සාහ කළත් තවමත් කිසිවකුට මේ කුළුණුවල වයසවත් නිර්මාණය වුණු ආකාරය ගැනවත්  කිසිඳු අදහසක් නැහැ.
                                    අවම වශයෙන් සියවස් ගණනාවක් පුරාවට මේ කුලුණු ආශ්‍රිත ගම්මානයේ ජීවත්වන වැසියන්වත් මෙහි ඉතිහාසය දන්නේ නැහැ.ඒ කියන්නේ ඔවුන්ට මේ පිළිබඳව පරම්පරාවගත දැනුමක්වත් නැහැ.කුළුණුවල තිබී ලියවිලි කිහිපයක් හමුවී ඇතත් ඉතිහාසඥයන් පවසන ආකාරයට ඒවා තුළින්වත් මේ කුලුණු පිළිබඳව තොරතුරක් හෙළිවී නැහැ.මේ නිසාම 2000 - 2003 අතර කාලයේ මේ කුලුණු තුළ තිබෙන කුඩා දැව කොටස් කිහිපයක් ලබාගෙන මෙම කුලුණුවල වයස නිර්ණය කර ගැනීමට එම කොටස් කාබන් ඩේටින් පරීක්ෂණයක් සඳහා යොමු කරනවා.ඔවුන් මේ සඳහා දැව සාම්පල් 32ක් පමණ ලබා ගෙන තිබෙනවා.පරීක්ෂණයට ලක් වුණ ඇතැම් සාම්පල්වල දත්ත අනුව එම දැව කොටස් වසර 1000 - 1200ත් අතර පැරණි බවට සනාථ වුණත් තවත් සමහර සාම්පලවලින් සියවස් කිහිපයකට පෙර වයස් ප්‍රමාණයන් ලබා දී තිබෙනවා.එහෙම නම් මේ කුලුණු ගැන සියළු තොරතුරු පෘථිවියෙන් අතුරුදන් වෙලාද?ඇත්තටම මේවා නිර්මාණය කළේ කවුද?

ඊජිප්තුවේ ඔබිලික්ස් :-
                                   ඔබිලික්ස් කියන්නේ ඉතිහාසය පුරාම විශාල වාද විවාද ප්‍රමාණයක් ඇති වුණ නිර්මාණයක් වුණත් ඒ පිළිබඳවත් නිවැරදි තොරතුරක් තවමත් සොයා ගැනීමට හැකියාවක් ලැබී නැහැ.ඔබිලික්ස්වල පිරමීඩවලට ආවේණික ලක්ෂණ දකින්න ලැබෙන නිසාත් ඊජිප්තු දේවස්ථාන ඉදිරිපිට පිහිටා තිබෙන නිසාත් මේවා ආගමිකවතාවත් සඳහා යොදා ගන්නට ඇති බවට විශ්වාසයක් පවතිනවා.ඉතිහාසඥයන්ගේ මතය අනුව මේවා බොහොමයක් හිරු දෙවියන්ගේ වන්දනාවට යොදාගත් ඒවායි.
                                    මේවා හිරු එළිය පතිතවන ආකාරය අනුව කාලය නිර්ණය කර ගැනීමට යොදාගත් බවට තවත් පිරිසක් මත පල කරනවා.ඒ වගේම මේ ඔබිලික්ස්වල විවිධ සිදුවීම් දක්වන ඉතාමත් අලංකාර රූපාක්ෂරවලින් ද සමන්විතයි.මෙහි තිබෙන විශාලම කුලුණු මීටර 33ක් පමණ විශාලයි.අද වනවිට ඊජිප්තු ඔබිලික්ස් ඉස්තාම්බුල් , ලන්ඩන් , නිව්යෝර්ක් ආදී රටවල පවා දැකගන්න පුළුවන්.කොහොම වුණත් මේවා නිර්මාණය කළේ කවුද?කුමක් සඳහාද කියලා අපේ ජීවිත කාලය තුළදීවත් සොයා ගැනීමට හැකි වේවිද?

බාබෙල් කොත :-
                               බාබෙල් කොත කියන්නේ තවමත් තිබෙන ස්ථානය නිවැරදිව හඳුනාගෙන නොමැති විශිෂ්ට නිර්මාණයක්.මේ පිළිබඳව ශුද්ධ වූ බයිබලයේත් ඉතා සුළුවට නමුත් සඳහන් කර තිබෙනවා.එහි සඳහන් වන ආකාරයට මිනිසාගේ විශිෂ්ටතම නිර්මාණය සහ මිනිසාගේ විශාලතම කඩා වැටීමට හේතුවත් මේ බාබෙල් කොතයි.
                                එහි සඳහන් වන ආකාරයට මැද පෙරදිග බොහෝදෙනා බැබිලෝනියාවේ පදිංචි වෙලා තිබෙනවා.මීට වසර ගණනාවකට ඉහත ඇතිවූ මහා ජල ගැල්මට පෙර ශිනාර් භූමිය කියන මේ ප්‍රදේශයේ මිනිසුන් පදිංචි වෙලා තිබෙනවා.ඉතින් ඇතැම් මිනිසුන් දෙවියන් එවූ මේ විනාශය කල්තියාම දැනගෙන එම විනාශයෙන් බේරෙන්න හිතාගෙන කොතක් නිර්මාණය කරනවා.මේ කොත ඉතාමත්ම විශාලයි.ඔවුන්ට ස්වර්ගය දක්වාම මේ කොත නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය තිබුණත් ඒක කවදාවත්ම සිදු වුණේ නම් නැහැ.
                                   කතාවේ විදිහට හැමදෙයක්ම උඩ ඉඳලා බලාගෙන ඉන්න දෙවියන් මිනිස්සු කරන මේ දේවල් නිසා බොහොම කේන්තියට පත් වෙනවා.ඉතින් මෙය නිර්මාණය කලහොත් මිනිසුන් දෙවියන් වහන්සේගේ බලය පිළිබඳව අවතක්සේරු කරාවි කියන සිතුවිල්ලෙන් දෙවියන් වහන්සේ මෙතන වැඩකරන මිනිසුන්ට විවිධ භාෂාවලින් කතා කරවන්න පටන් අරගෙන තිබෙනවා.මේ නිසා මෙහි මිනිසුන්ට පණිවිඩ හුවමාරු කරගැනීමට නොහැකි වීම නිසා බාබෙල් කොතේ වැඩත් එතනම නවතිනවා.
                                 බොහෝදෙනා කියන්නේ මේ කුලුණ ඉරාකයේ පිහිටලා තිබිලා වර්තමානය වනවිට මේක කාලයත් සමඟ විනාශ වෙලා යන්නට ඇති කියලයි.ගවේෂකයන් විශාල ප්‍රමාණයක් මේ කුලුණ තිබෙන ස්ථානය සොයා වෙහෙසුනත් තවමත් ඔවුන් කිසිවෙකුට මේ කොත සොයා ගන්නට හැකියාව ලැබිලා නැහැ.ශිනාර් නැත්නම් සුමේරියන්වරු ලිවීමේ කලාව ලොවට දායාද කලත් ඔවුන් මේ බාබෙල් කොත පිළිබඳව කිසිම සඳහනක් නොකිරීමත් පුදුම සහගතයි.සැබැවින්ම මෙවන් නිර්මාණයන් සිදු කළේ කවුද?ඒ කිනම් අරමුණක් උදෙසාද යන්න තවමත් නොවිසඳුණු අබිරහසක්.

Friday, March 17, 2023

හිම නොමිදෙන අබිරහස් විලක සරන අද්භූත ජීවියා


 

                                       වයස් භේදයකින් තොරව අපි කවුරුත් කැමති නිතැතින්ම සිත ඇදී යන මාතෘකාවක් තමයි කතන්දර කියන්නේ.එකෝමත් එක කාලෙකින් පටන් අරන් විසිඑක් වැනි ශතවර්ෂයේ අගභාගය දක්වාම දිවෙන කතන්දර තුළින් අපට අහන්න ලැබුණු මන:කල්පිත සතුන් , මිත්‍යා සතුන් බොහොමයි.ඒ අතර වසර මිලියන ගණනාවකට පෙර පෘථිවියේ ජීවත් වූ බවට සනාථ වූ සතුන් සේම පැරණි මූලාශ්‍ර,ජනවහර තුළින් පැවත එන සතුන්ද බොහොමයි.

                                 කතා කරන සත්තු,ගිනි පිඹින මකරු අතරේ වසර 1500ට වඩා පැරණි ඉතිහාසයක සිට ස්කොට්ලන්තයේ ලොච්නෙස් විලෙන් වාර්තා වන "නෙසී" කියලා අමුතු සත්වයෙක් ගැනත් කියවෙනවා."ලොච්නෙස් මොන්ස්ටර්" නැත්නම් කාටූන් චිත්‍රපටවලින් අප හඳුනා ගත් දිය තුරඟා එදා සිට අද දක්වාම මිනිසුන් අතර නොවෙනස් කුතුහලයක් රඳවා තබා ගැනීමට සමත් වෙලා තිබෙනවා.
                                   තවමත් නොවිසඳුණු අබිරහස් ගණනාවක් සඟවා ගත් ස්කොට්ලන්තයේ තිබෙන කිලෝමීටර් 03ක් පමණ පළල , මීටර් 240ක් පමණ ගැඹුරු විලක් තමයි ලොච්නෙස් කියන්නේ.වාර්තා වන ආකාරයට විශාල කඳු ගණනාවකට මැදිව පිහිටි මේ විල කෙතරම් ශීත කාල පැමිණියත් මිදෙන්නේ නැති බවටත් වාර්තා වනවා.නෙසී ඉන්නේ මෙන්න මේ කියන අරුම පුදුම විලේ කියලයි සඳහන් වෙන්නේ.
                                   ඉතිහාසයේ සිට මේ දක්වා වාර්තා වන තොරතුරුවලට අනුව නෙසී කියන්නේ දිගු බෙල්ලක් සහි, පාද වෙනුවට පිහිනීම පහසු කරන අවල්පත් හතරක් සහිත අලියෙක්ටත් වඩා පහළොස් ගුණයක් පමණ විශාල බවට පැවසෙන කොළ පැහැයට හුරු යෝධ සත්වයෙක්.හැබැයි මේ සත්වයා කටකතාවලට පමණක් සීමා වුණු කෙනෙක් නම් නොවේ.ඉතිහාස මූලාශ්‍ර , ජනප්‍රවාදයන්වල සිට ඡායාරූප , වීඩියෝ දර්ශන වගේම සෝනාර් වගේ වර්තමානයේ ක්‍රියාත්මක වන අධි තාක්ෂණික උපකරණවලට පවා හසු වුණු නමුත් තවමත් අභිරහසක්ව පවතින සත්වයෙක්.
                                      බැලූ බැල්මට විශ්වාස කළ නොහැකි දෙයක් ලෙස පෙනුනත් දිනෙන් දින නැතණත් දිනෙන් දින නැතිව ඇසින් දුටු සාක්ෂිකරුවන් ඉහළ යනවා ඒ අතර හාරදහසකට අධික පිරිසක් මෙම තත්ත්වය දුටු බවට වාර්තා කොට තිබෙනවා.නෙසී පිළිබඳව මුල්ම ලිඛිත මූලාශ්‍රය හමුවන්නේ ක්‍රි:ව: 565දී තරම් ඈත අතීතයේදීයි.මෙසේ ඈත අතීතයදී තම පැවැත්ම පිළිබඳව සාක්ෂි සපයන නෙසී ඉන් නොනැවතී වර්තමාන කාලයට පවා තම පැවැත්ම පිළිබඳව ඉඟි පල කරනවා.
                                     2018 වසරේ දෙසැම්බර් මාසයේ සැඳෑවක සුපුරුදු විදිහට තමන්ගේ සුනඛයන් දෙදෙනාත් සමඟ ලොච්නෙස් විලේ ඉවුරේ කාලය ගත කිරීමට ගිය "රිකී ෆිලිප්" නම් විශ්‍රාමික හමුදා නිලධාරියාට නිසල විල් ජාලය තුළ අසාමාන්‍ය කැලඹීමක් නිරීක්ෂණය වනවා.කිසි ලෙසකින් සාමාන්‍ය නොවූ ඒ අසාමාන්‍ය කැළඹීමත් සමඟ මේ විලේ සිටින බව පැවසෙන නෙසී පිළිබඳව සිහියට නැගෙන නිසා ඔහු දිගින් දිගටම කැළඹීම සිදු වූ ස්ථානය ඡායාරූපයට නගා තිබෙනවා.අපහැදිලි නමුත් නෙසීගේ ඡායාරූපයක් ලබා ගැනීමට රිකී මෙහිදී සමත් වනවා.මේ ඡායාරූප නිරීක්ෂණය කරන විද්‍යාඥයන් ඇතැම්විට මේවා නෙසී නම් පුරාවෘත්ත සත්වයාගේ ජීවමාන සාක්ෂිය විය හැකි බවට මත පළ කර තිබෙනවා.2021 වසරේදී නීතියට පටහැනිව නමුත් යම් පිරිසක් විසින් මේ ස්ථානයේ සවි කළ වෙබ් කැමරා මගින් නෙසීගේ ඡායාරූප 10ක්ම ලබා ගැනීමට හැකි වෙනවා.ඡායාරූපවලට අමතරව රූපරාමු ආකාරයටත් සාක්ෂි සපයන නෙසී සැබෑවටම මේ විල පතුලේ ජීවත් වනවාද?
                                කෙසේ වෙතත් 1933 වසරේදී ලොච්නෙස් ඉවුර දිගේ නව මාර්ගයක් ඉදිකිරීම ආරම්භ කිරීමත් සමඟ නෙසී පිළිබඳව තොරතුරු රැසක් ගලාගෙන එනවා.මෙම වසරේ අප්‍රේල් මාසයේ දිනක සවස් යාමයේ එක්තරා විවාහක යුවළක් මෙම විල ආසන්නයෙන් තම නිවස බලා ගමන් කරමින් සිටින අතරතුර අනපේක්ෂිත ලෙස දැවැන්ත සත්වයෙක් විල් ජලයේ පිහිනමින් සිටිනු දක්නට ලැබෙනවා.මෙම සිදුවීම ඔවුන් දුටු මායාවක් ලෙස බැහැර කිරීමට හැකි වුවත් සිදුවීමෙන් දින කිහිපයකට පසු විල අසල සටහන්ව තිබූ විශාල පා සටහන් එම සිදුවීම සත්‍ය බවට සාක්ෂි සපයනවා.
                                  දිනෙන් දිනම ඇසින් දුටු සාක්ෂිකරුවන් වැඩි වන නෙසීගේ  ඡායාරූපයක් 1934 වසරේදී ලන්ඩන් ඩේලිමේල් පුවත්පතේ පළවීමත් සමග බොහෝ දෙනා මේ ලොච්නෙස් විලේ  ජීවත් වන නෙසී පිළිබඳව විශ්වාස කිරීමට පටන් ගන්නවා.ජලයෙන් උඩට මතුවුණු දිග ගෙලක් සහිත මෙම සත්ව ඡායාරූපය ඩේලිමේල් පුවත්පත ලබාදී තිබුණේ ලන්ඩනයේ ජීවත්වන "කෙනත් විල්සන්" නම් වෛද්‍යවරයා විසිනුයි.කෙසේ වෙතත් වසර ගණනාවක් පුරා ප්‍රබල සාක්ෂියක්ව තිබූ මෙම කළු සුදු ඡායාරූපය නෙසීගේ අනුරුවක් බවත් සත්‍ය ඡායාරූපයක් නොවන බවත් 1994 වසරේදී තහවුරු වනවා.
                                    වසර ගණනාවක් පුරා සත්‍ය අසත්‍ය මත දෝලනය වන ඡායාරූප , ජනප්‍රවාද , මිත්‍යාමත ආදියෙන් මිදී නෙසී විද්‍යාත්මක පදනමකින් නෙසී පිළිබඳව සොයා බැලීමට පෙළඹීමක් ඇති කරවන ආකාරය ග්‍රන්ථයක් මේ අතරවාරයේ කරලියට පැමිණෙනවා.1950 වසරේදී මේ සිදුවීම් සම්බන්ධ ඇසින් දුටු සාක්ෂිවල වාර්තා එක්රැස් කොට ස්කොට්ජාතික වෛද්‍යවරියක් වන "කොන්ස්ටන්ස් වයිට්" 1957 වසරේදී එම සාක්ෂිවලට අදාල රූපසටහන්ද ඇතුළත්කොට "More Than a Legend" නම් කෘතිය ප්‍රකාශයට පත් කිරීම මඟින් අලුත් පරම්පරාවට ලොච්නෙස් පිළිබඳව තවදුරටත් සොයා බැලීමට ආරාධනා කරනවා.මෙහි ප්‍රතිඵලයක් ලෙස 1960දී ලොච්නෙස් වෙත පැමිණෙන "ටිම් ඩින්ස්ඩේල්" තමන්ගේ ඉංජිනේරු රැකියාව පවා හැර දමා පැමිණ මෙම සත්වයා පිළිබඳව අධ්‍යන කටයුතුවල නිරත වනවා.මේ සියලු තොරතුරුවල දිගින් දිගටම වාර්තා වන ඇසින් දුටු සාක්ෂිවල ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ පිළිගත් විශ්වවිද්‍යාල කිහිපයක්ද ඇතුළත් කණ්ඩායම් 04ක් වෙනම පරීක්ෂණ ආරම්භ කිරීමටත් කටයුතු කරනවා.
                                   මෙහි පරීක්ෂණයන් තුනක් ඔක්ස්ෆර්ඩ් , කේම්බ්‍රිජ් සහ බර්මින්හැම් විශ්වවිද්‍යාල මගින් සිදු කරනවා.BBC ආයතනයේ අනුග්‍රහයෙන් සෝනාර් උපකරණ 600ක් සහ චන්ද්‍රිකා තාක්ෂණය පවා යොදා ගනිමින් අනෙක් පරීක්ෂණය සිදු කරනවා.තාක්ෂණය සහ දැනුම අතින් ඉදිරියෙන් සිටින මෙම කණ්ඩායම් කැමරාවලින් ඡායාරූප ගැනීම , දුරදක්න මගින් ජල තලය නිරීක්ෂණය කිරීම වැනි සාමාන්‍ය විශ්ලේෂණයන්වලට සීමා නොවී සෝනාර් ආදී දියුණු තාක්ෂණයන් යොදා ගැනීමටත් ශබ්ද මගින් ජලාශය ඇතුලත පරිසරය නිරීක්ෂණය කිරීමටත් කටයුතු කරනවා. දියුණු තාක්ෂණය , ශිල්පීය ඥානය ආදිය යොදා ගැනුනත් ගැඹුරු ජලය තුළ චලනය  වන විශාල වස්තූන්වල සංකේත හැර නිශ්චිත නිගමනයකට එළඹීමට හැකි තොරතුරක් සොයා ගැනීමට ඔවුන්ද  අසමත්ව තිබෙනවා.
                                   කෙසේ වෙතත් තම උත්සාහය අත්නොහරින බොස්ටන්  සරසවිය නෙසී පිළිබඳ ගවේෂණ මාලාවක් සිදු කිරීම ආරම්භ කරනවා.මෙහිදී භෞතික විද්‍යාඥයකු වන රොබට් trine ගේ අධීක්ෂණය යටතේ පළමු වතාවට සුවවන තාක්ෂණයත් දිය යටදී ඡායාරූප ලබාගැනීම තාක්ෂණයක් යන ක්‍රම දෙකම එකවර භාවිත කර තිබෙනවා ඔවුන් විසින් සෑම තප්පර හතළිස් පහකට වරක් ම ජලය තුළ ඡායාරූප ගත හැකි පද්ධතියක් ස්ථාපනය කළ අතර ගොවිජන මාව තවත් සාර්ථක මගකට යොමු කරමින් දිය යට එහා මෙහා ගමන් කරන විශාල වස්තුවක දත්ත සටහන් වනවා.මහඑලිය ලබාගත් ඡායාරූප පරිගණකය මගින් වැඩි දියුණු කිරීමෙන් දිය වැට ගමන් කර ඇත්තේ විශාල ශරීරයක් සහ අවල්පත් සහිත ජලය සත්වයකු බවත් බවත් තහවුරු වී තිබෙනවා.එම ඡායාරූප නිරීක්ෂණය කරන ඡායාරූප විශේෂඥයන් පවා නිතැනිත්ම එහි සටහන්ව තිබෙන්නේ සත්වයකු බව තහවුරු කලත් ඇතැම් පිරිස් එම මතයන් ප්‍රතික්ෂේප කරනවා.
                               කොහොම වුණත් ලොච්නෙස් විලේ නෙසී වගේම බ්‍රිටිෂ් කොලොම්බියාවේ ඕකනෝගන් විලේ ඕකපෝගන් රාක්ෂයා , රුසියාවේ බ්‍රොන්ස්නා ආදී අද්භූත සතුන් පිළිබඳවත් ලෝකයේ විවිධ ස්ථානවලින් තොරතුරු අසන්නට ලැබෙනවා.උතුරු අර්ධ ගෝලයේ උතුරට අංශක 40-60 දක්වා ඇති අක්ෂාංශ රේඛා ලෝක සිතියමක් හරහා සැලසුම් කළහොත් ප්‍රසිද්ධ විල් රාක්ෂයන් සම්බන්ධ සියළු කතා මේ කොටසට ඇතුලත් වීම නිතැතින්ම ඔබ මවිත කරාවි.නමුත් සැබැවින්ම සත්‍යය එයයි.මෙම ප්‍රභල සාක්ෂිය හරහා විද්වතුන් සොයාගෙන ඇති ආකාරයට මේ විල් සියල්ලම එකිනෙකට සමානයි.ඒවා සියල්ලම දිගින් වැඩි , පටු වගේම ගැඹුරුයි.මෙවන් කාරණා නිසාම මේ අක්ෂාංශවල ඇතැම් ප්‍රදේශ අතීතයේ වඳවී ගිය බවට සැලකෙන ජීවීන්ගේ පැවැත්මට තවමත් ඉඩ සලසන බවට පරීක්ෂකයන් විශ්වාසය පළ කරනවා.
                                  ඇත්තටම මේ වගේ සත්වයෙක් ලොච්නෙස් විලේ සිටිනවාද?එහෙමත් නැත්නම් මේ හැම දෙයක්ම ඩේලිමේල් පුවත්පතේ පළවුණ ඡායාරූපය වගේ රැවටීමක්ද?ස්කොට්ලන්තයේ ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීමේ ආයතනය විසින් නෙසීව ආරක්ෂා කිරීමට නීති සංග්‍රහයක් පවා පනවා තිබෙනවා.එයට අනුව යම් කිසි පුද්ගලයකු නෙසීව අල්ලා ගතහොත් D.N.A සාම්පලයක් පමණක් ලබාගෙන නැවත ඔහු විලට මුදා හැරිය යුතු බවට සඳහන් වනවා.එවන් සත්වයකු නොමැතිනම් ඔවුන් මෙවැනි නීති සංග්‍රහයක් හඳුන්වා දේවිද?වර්තමානය වනවිටත් ඇසින් දුටු බවට සාක්ෂි වාර්තා වන නෙසී අනාගතයටත් අබිරහසක් පමණක්ම වේවිද?

Thursday, March 16, 2023

පෘථිවියට පිටසක්වලින් අනතුරු ඇඟවීමක්.


 

                                        පිටසක්වල ජීවීන් සම්බන්ධයෙන් පෘථිවිවාසී අප කා තුළත් පවතින්නේ කුතුහලයක් සහ විස්මයක්. සැබැවින්ම පිටසක්වළ ජීවයක් පවතින්නේද යන පැනය අප සමාජය තුළ අදටත් නිශ්චිත පිළිතුරක් සඳහන් කළ නොහැකි කාරණයක්.එදිනෙදා ජීවිතයේදී අප අවට සිදුවන ඕනෑම විසඳුමක් නොමැති සිදුවීමකට , අස්වාභාවික තොරතුරකට පිටසක්වළ ජීවීන් නම් මේ පොදු පිරිස ඈඳා ගැනීමට අප සමාජයේ බොහෝ දෙනා කටයුතු කරන බව අපට නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැබෙන දෙයක්.එය කෙතරම් සාමාන්‍යකරණය වෙලාද කියනවා නම් අපිට වුණත් විස්තර කළ නොහැකි අවස්ථාවක් , අනතුරක් හෝ අද්භූත සිදුවීමකදී නිතැතින්ම එම සිතුවිල්ල ගලා එන අවස්ථා එමටයි.

                                 එදා මෙදාතුර තවමත් සත්‍ය අනාවරණය නොවී කාලයේ වැලිතලාවන් අතර වැලළී ගිය අබිරහස් අතරින් පිටසක්වල ජීවීන් ඈඳාගත් තොරතුරු බොහොමයි." වගා කව " නැතහොත් අස්වනු වෘත්ත කියන්නෙත් එවන් අබිරහස් සිදුවීම් ගොන්නෙන් තවත් එක් අබිරහස් සිදුවීමක් පමණයි.
                                 වගා කව යනු කාලයෙන් කාලයට ලෝකයේ විවිධ ප්‍රදේශවල සරුසාර වගා භූමියක එක් රැයක් තුළ හිටිහැටියේ ඇතිවන එකිනෙකට වෙනස් , විශාල , සංකීර්ණ , අද්භූත විවිධාකාර ජ්‍යාමිතික හැඩයන්‍ වේ.කිසිවකුගේ අනුදැනුමකින් තොරව ගොවිබිම්වල විශාල ප්‍රදේශයක් පුරා පැතිර යන වෘතාකාර හැඩයෙන් යුක්ත මෙවන් වගා කව ඉඳහිට හිම මතද කාන්තාර ප්‍රදේශ තුළින්ද වාර්තා වුණ අවස්ථාවන් පිළිබඳව වාර්තාවනවා.මෙය මෑතකාලීන කාලවකවානුව තුළ වාර්තා වුණ සිදුවීමක් පමණක් නොවේ.
                                     මෙම සිදුවීම දිගුකාලීන ඉතිහාසයක් සමඟ දිග හැරෙන විස්මිත හෙළිදරව්වක් වෙනවා.මෙම අතිවිශාල වගා කවයන්වල විශ්කම්භය අඩි 10 සිට අඩි 100ක් තරම් විශාල වන අවස්ථාවන්ද අපට දක්නට ලැබෙනවා.නමුත් මෙම සියළු දත්තයන් ඉක්මවා යමින් අක්කර 300ක පමණ ව්‍යාප්ත වී තිබුණු දුර්ලභ විස්මිත වගා කවයක් පිළිබඳවත් හැම්ෂයර් ප්‍රදේශයෙන් වාර්තා පළවනවා.නමුත් වෘත්ත හැඩයට නැතහොත් තරු රටා ආකාරයට නිර්මාණය වූ මෙවන් අති විශාල හැඩතල නිමවීමට ගත වන්නේ පැයක් හෝ පැය කිහිපයක් තරම් ඉතාම සුළු කාලයක් බවට වාර්තා පළ වන්නේ මිනිස් සිත තුළ පවතින කුතුහලය සහ විස්මය තව තවත් ඉහළ නංවමිනි.සැබෑවටම මේවායින් කියවෙන්නේ කුමක්ද?මේ වෙනත් දියුණු ලෝකයක වෙසෙන ජීවීන් පිරිසකගේ පණිවුඩයක්ද?නැතහොත් අනතුරු ඇඟවීමක්ද?මෙවන් සංකීර්ණ නිර්මාණ ඉතාමත් සුළු කාලයකින් සිදු කිරීමට දැනුම සහ තාක්ෂණය පවතින්නේ කවුරුන් සතුවද යන්න තවමත් නොවිසඳුණු පැනයක්.
                                    ලෝකයේ විවිධ ස්ථානවලින් විවිධ කාලවල වාර්තා වන මෙවන් ක්‍රියාකාරකම් කුමන මොහොතක කුමන ස්ථානයකින් වාර්තා වෙයි දැයි අනුමාන කළ නොහැකියි.වගා කව පිළිබඳව මුල් වරට වාර්තා වන්නේ මීට වසර 300ටත් එහා 1678 තරම් ඈත අතීතයේදී වුවත් මෙම අරුම පුදුම වගා කවයන්වලට මුල්වරට අවධානය යොමු වන්නේ 1980 වර්ෂයේදීය.මේ ආකාරයට ලැබුන ලිඛිත සාක්ෂිවලින් විග්‍රහ කෙරෙන කරුණු නම් විශ්වාස කිරීම තරමක් අපහසු බවක් පෙනී යනවා.ඔවුන් මෙම ලිඛිත සාක්ෂි තුළින් පවසා තිබෙන්නේ අස්වැන්නට අධිපති වශයෙන් හඳුන්වන දෙවියන් විසින් මේ ආකාරයට හැඩතල නිර්මාණය කරමින් එම අස්වැන්න විනාශ කිරීමට කටයුතු කරන බවයි.ඔවුන් එසේ පැවසුවත් පසුකාලීනව කරන ලද පරීක්ෂණ මගින් මෙවන් වගා කව හේතුවෙන් එම ගොවිබිම්වල අස්වැන්නට කිසිඳු හානියක් සිදුවී නොමැති බවත් අස්වැන්න සහිත ශාක ඇඹරී හැඩය වෙනස්වීමක් පමණක් සිදුවී ඇති බවටත් විද්‍යාඥයන් සනාථ කොට ගන්නවා.ඒවගේම එම වගා බිම්වල අස්වැන්න අනෙක් වගා බිම්වලට සාපේක්ෂව ඉතාමත් ඉහළ අගයක් ගත් බවටත් අනෙක් ප්‍රදේශවලට වඩා චුම්භක මෙම ප්‍රදේශවල චුම්බක ක්ෂේත්‍රය වෙනස් බවත් ඔවුන් හඳුනා ගන්නවා.කෙසේ වෙතත් මෙම වගා කව ඇති වීමෙන් අනතුරුව එම ගොවිබිම්වල සේවය කරන ගොවියන් හට අක්ෂි ආබාධ , හිසරදය , ආඝ්‍රාණ ගැටලු ආදී ගැටලු ඇති වූ බවටත් වාර්තා වෙනවා.අස්වැන්න වැඩිවීමට බලපෑ බව කියන වගා කව ගොවියන් ආබාධයන්ට ලක් කිරීමටත් හේතු වූවාද?
                                    ඇමරිකාව,කැනඩාව, රුසියාව,බ්‍රිතාන්‍ය,නවසීලන්තය,චීනය, ඕස්ට්‍රේලියාව,ප්‍රංශය,ජර්මනිය, රුමේනියාව,දකුණු අප්‍රිකාව,බල්ගේරියාව ආදී රටවල් රැසකින්න මෙවැනි සිදුවීම් රැසක් වාර්තා වනවා.මෙවන් සිදුවීම් 1500ට අධික ප්‍රමාණයක් අසල්වැසි ඉන්දියාවේ වගාබිම් වලිනුත් වාර්තා වනවා.ලෝකයේ වාර්තා වී ඇති වගා කව අතරින් 80% ක්ම වාර්තා වන්නේ පළමු සිදුවීම වාර්තා වන බ්‍රිතාන්‍යයෙන් වීමත් විශේෂත්වයක්.
                                  ලෝකය පුරා විවිධ ප්‍රදේශවලින් මෙවන් සිදුවීම් වාර්තා වුවත් තවමත් එහි රටාවක්,සංකේතයක්, භාෂාවක්,පණිවිඩයක් නිවැරදිව වටහා ගැනීමේ හැකියාව ලැබී නැහැ.නමුත් මෙවන් සිදුවීම් බහුලව වාර්තාවී ඇත්තේ භූගත ජලය බහුලව පවතින ස්ථාන,අධි ආරක්ෂිත කලාප ආශ්‍රිතව,පූජනීය ස්ථාන ආශ්‍රිතව වශයෙන් බවට මේ වන විට පොදු හඳුනා ගැනීමක් සිදු කොට තිබෙනවා.කෙසේවෙතත් මෙවන් නිර්මාණ එකිනෙකට පරස්පර ස්ථානවලින් වාර්තා වීම ඒ පිළිබඳව සොයා බැලීම් කරන විද්‍යාඥයන් මංමුළා කිරීමටත් වික්ෂිප්ත කිරීමටත් සමත්වනවා.ලොව නන් දෙසින් වාර්තාවන මෙවන් වගා කව සංඛ්‍යාව පසුගිය වසර කීපයක කාලය තුළ යම් වර්ධනයක් පෙන්නුම් කරන අතර ඒ අතරිනුත් වැඩිම සිදුවීම් ප්‍රමාණයක් වාර්තා වන බ්‍රිතාන්‍ය තුළින්ද වර්ධනයක් දක්නට ලැබීම සුවිශේෂී තත්වයක්.
                                  වසර 20ක පමණ කාලයක් පුරාවට මෙවැනි වගා කවයන්වල සමීප දසුන් සහ උඩුගුවනට ගොස් ලබාගත් ඡායාරූප මාර්ගයෙන් පවා විශ්ලේෂණය කරමින් ඒ පිළිබඳව විවිධ පරීක්ෂණ පරීක්ෂණවල නියැළුණු කොලින් ඇන්ඩෘස් පවසන ආකාරයට මේවා තුළ යම් මිනුමකට අනුව සිදුකළ ජාමිතික රූප බහුලව පවතින බව පැවසෙනවා.වගා කවයක් ආශ්‍රිතව කළ පරීක්ෂණයකදී ඒ අවට වාසය කරන පිරිස් පවසා තිබෙන්නේ එම ප්‍රදේශයට පෙර දින රාත්‍රියේදී ආලෝක ධාරාවක් ඇදී එනු දුටු බවයි.එසේනම් මෙවන් අති විශාල,සංකීර්ණ නිර්මාණ පිටසක්වල ජීවීන් සිදුකරන්නේ ආලෝක ධාරාවක් නිකුත් කිරීම තුළින්ද?
                                      වටහා ගැනීමට තබා මෙතරම් සීමිත කාල වේලාවකින් මෙවන් විස්මිත සංකීර්ණ නිර්මාණයක් සිදු කරන්නේ කවුරුන්ද යන්නවත් නොහඳුනන මිනිස් වර්ගයා මෙවන් වගා කව විශාල ප්‍රමාණය අතරින් එක් වගා කවයක අර්ථය වටහා ගැනීමට සමත්ව තිබීමත් සතුටට කරුණක්.නමුත් මෙය මිනිස් වර්ගයාගේ දක්ෂතාව මත සිදුවූවක් බවට පැවසීමේ හැකියාවක් නම් නැහැ. මොකද මෙම වගා කවය අනෙක් වගා වගා කවවල සංකීර්ණ බවින් දුරස්ව මිනිස් භාෂාවකින්ම සඳහන් කර තිබෙනවා.මිනිසා තැති ගැන්මට බඳුන් කරන මිනිස් භාෂාවකින් ලියන ලද එකම සක්වල පණිවිඩය ලෙස සැලකෙන මෙය ඉංග්‍රීසි " ASCLL Cord " එකකින්ම 2002 වසරේදී වින්චෙස්ටර්හි ක්‍රැබ්වුඩ් පෙදෙසේ සටහන් කර තිබෙනවා.
                                      අපේ ලෝකයේ සිටින ඇතැම් මිනිසුන් කවදත් පොරොන්දු ඉටු කිරීමට මැලිකමක් දක්වන,අයහපත් සිතුවිලි සහිතව බොහෝ දෙනාගේ විනාශයට මං විවර කරමින් ක්‍රියා කරන බව නො සැඟවිය හැකි කරුණක්.නමුත් මෙය මිනිස් ලොවට පමණක් සීමා නොවී බොහෝ දුර ඈත තවමත් නිසි ගවේෂණයට පවා ලක් නොවූ පිටසක්වල දක්වාම පැතිර තිබෙනවා යැයි කිවහොත් ඔබ පිළිගන්නවාද?මිනිසාගේ කුහක බව මේ වන විට විශ්වයටම නොරහසක් වෙද්දී පිටසක්වල ජීවීන් පවා ඔවුන් හේතුවෙන් අසාධාරණයට ලක්ව තිබෙන බවට මිනිස් භාෂාවෙන් නිර්මාණය වූ මෙම වගා කවය සාක්ෂි සපයනවා.
                            " බොරු තෑගි සහ ඉටු නොකළ පොරොන්දු දරන්නන්ගෙන් පරිස්සම් වන්.අපට ඉතාමත් නරක දේ සිදු කළ හැකි නමුත් අපි තවමත් ඔබ විශ්වාස කරනවා.තවමත් කාලය තිබෙනවා.අප තුළ හොඳ දේවල් තිබේ.යළි විශ්වාසය ඇති කරවන්න.රැවටීමේ ප්‍රතිඵල භයානක විය හැකි අතර අප රැවටීමට තරයේ විරුද්ධයි "
                                  ඔවුන් මේ පවසන්නේ කුමන රැවටීමක් පිළිබඳවද?කවුරුන් විසින් සිදුකළ රැවටීමක් පිළිබඳවද?ලෝක බලවතා වීමට,ලෝකයේ පාලනය ලබා ගැනීම වෙනුවෙන් නොතිත් ආසාවෙන් ඕනෑම කටයුත්තක් සිදු කරන පිටසක්වල යානාවලට සමාන යානා ආදිය නිපදවා ගෙන ලෝකයේ විවිධ ස්ථානවල රහස් සොයා විශ්වය පුරා කරක් ගසන ඇමරිකානුවන් වැනි පිරිස් පෘථිවිවාසීන් රැවටීමෙන් නොනැවතී පිටසක්වල ජීවීන් පවා රැවටුවාද?මෙවන් අනතුරු ඇඟවීම්වලින් නොනැවතී ඇමරිකානුවන්ගේ ක්‍රියාවන්වල ප්‍රතිඵල පොදුවේ මුළු ලෝකවාසීන්ට අත් විඳීමට සිදු වේවිද?
                                 ලෝකය තුළින් කෙතරම් වගා කවයන් වාර්තා වුවත් මේ දැන් මේ කිසිවක් නිර්මාණය වන අයුරු සියැසින් දුටු මිහිපිට කිසිවකුත් සොයාගෙන නොමැත.මෙම අද්භූත සහ අබිරහස් නිර්මාණයන් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් උරණවූ සක්වලවාසීන් ලබා දෙන පණිවුඩයක්ද? නැතහොත් අනතුරු ඇඟවීමක්ද?කිසිවකුටත් නොපෙනී නොදැනී නිමේශයක් තුළ ඔවුන් නිර්මාණය කරන මෙම සංකීර්ණ නිර්මාණ සිදු කරන්නේ කුමක් උදෙසාද?සැබෑවටම මෙම අති විශිෂ්ට නිර්මාණවල සැබෑ හිමිකරුවන් කවුරුන්ද?දශක ගණනාවක් පුරා තවමත් විසඳාගැනීමට නොහැකිවූ මෙම ප්‍රහේලිකාවක් විසඳා ගැනීමට පිටසක්වල ජීවීන් සමඟ සමීප සබඳතා පවත්වන යුගයක් වනතෙක් බලා සිටීමට පෘථිවිවාසීන්ට සිදු වේවිද?

Wednesday, March 15, 2023

ඊජිප්තු රජය ස්ෆින්ග්ස් ප්‍රතිමාව ගැන සත්‍ය ලෝකයෙන් වසන් කරනවාද?


 

                              ඊජිප්තුව කියන්නේ අතීතය පිළිබඳ තොරතුරු රැසක් කාලයේ වැලිතලාවලින් වසාගෙන සිටින නගරයක්.කොයිතරම් කාලයක පටන් පරීක්ෂණ සිදුකෙරුණත් තවමත් මේවගෙන් ගවේෂණයට ලක් වෙලා තිබෙන්නේ බොහොම සුළු තොරතුරු ප්‍රමාණයක් පමණයි.කාලයේ වැලිතලාවලින් වැසුණු මේ ඉතිහාසය ලෝකයා හමුවට පැමිණියහොත් ඇතැම්විට අප දන්නා ඉතිහාසය වෙනස් කොට නැවත රචනා කරන්නට විය හැකියි.

                                 ඊජිප්තුවේ තිබෙන පැරණිම ස්මාරක මූර්තිය විදිහට සැලකෙන මේ ප්‍රතිමාව මීටර් 73ක් පමණ දිගකින් වගේම මීටර් 20ක පළලින් යුක්තයි.විද්‍යාඥයන් පවසන ආකාරයට විවාදයකින් තොරවම ඉතිහාසයේ විශිෂ්ට නිර්මාණයක් වන මෙය ක්‍රි:පූ: 2558 - ක්‍රි:පූ: 2532 අතර කාලවකවානුවේ නිර්මාණය කර තිබෙනවා.වර්තමානය වනවිට වර්ණයන් වියැකී ගොස් තිබුණත් " ස්පින්ක්ස් " ප්‍රතිමාව තද රතු පැහැයෙන් වර්ණ ගන්වා තිබූ බවට සළකුණු තවමත් වම් කන යට ශේෂව පවතිනවා.
                                   කොහොම වුණත් 1936 වනතුරුම මේ ප්‍රතිමාව උරහිස දක්වාම වැලි පසෙන් වැසී තිබූ බවයි සඳහන් වන්නේ.ස්ෆින්ග්ස් ප්‍රතිමාව මේ විදිහට ආරක්ෂා වෙන්න ඒකත් ප්‍රබල හේතුවක් වන්නට ඇති බව තමයි පුරාවිද්‍යාඥයන් පවසන්නේ.අද අපි කතා කරන්න යන්නේ ස්ෆින්ග්ස් ප්‍රතිමාවෙහි සැඟවුණු අබිරහස් ගොන්නෙන් කිහිපයක් පිළිබඳවයි.

ස්ෆින්ග්ස් ප්‍රතිමාවේ නහයට මොකද වුණේ?

                                   ස්ෆින්ග්ස් ප්‍රතිමාව කියපු ගමන්ම කාගේත් මතකයට එන්නේ මේ ප්‍රතිමාවේ නාසය.සූරපප්පා කාටූනය වගේ විවිධ නිර්මාණවල පවා එදා සිටම උපහාසයට ලක්වන ස්ෆින්ග්ස්ගෙ නහයට වුණේ මොකක්ද කියල නම් කවුරුත්ම හරියට දන්නේ නැහැ.නිවැරදිවම මොකක්ද වුණේ කියලා කියන්න බැරි වුණත් පුරාවිද්‍යාත්මක අධ්‍යනයක් කරපු " මාක් ලෙහ්නර් " නිගමනය කරන්නේ මේ ප්‍රතිමාවේ නාසය ක්‍රි:ව: 03 - ක්‍රි:ව: 10 සියවස් අතර කැඩී යන්නට ඇති බවයි.ඩෙන්මාර්කයේ චිත්‍ර ශිල්පියෙක් වන  " ඩේවිඩ් ලුඩ්විග් " 1788දී මේ ප්‍රතිමාව සිතුවමට නඟලා තිබෙන්නෙත් නාසයක් රහිතවයි.ඒ නිසාම මේ ප්‍රතිමාවේ නාසය බොහෝ කාලයකට කලින් නැති වුණා කියලා තමයි හිතන්න වෙන්නේ.

ප්‍රතිමාවේ හිස වෙනස් වීම :-

                                    මේ ප්‍රතිමාවේ හිස සම්බන්ධවත් යම් ගැටළු තිබෙනවා.මුල් කාලීනව මේකෙ හිස සිංහ හිසක් විදිහට තිබෙන්න ඇති කියලා තමයි විශ්වාස කරන්නේ.සාමාන්‍යයෙන් මිනිසකුගේ හිසට වඩා සිංහයෙකුගේ හිස විශාලයි.අනෙක ප්‍රතිමාවේ අනෙක් කොටස්වලට වඩා වර්තමානයේ ප්‍රතිමාවේ තිබෙන හිස කොටස අලුත් බවක් දක්නට ලැබෙනවා.ගවේෂකයන් කියන විදිහට අපි දකින හිසට වඩා ස්ෆින්ග්ස් ප්‍රතිමාවේ හිස විශාල වෙන්නත් ඕන.මේතරම් විශාල ප්‍රතිමාවකට කුඩා හිස කොටසක් සවි කරන්න හේතු වුණ කාරණය ගැන ඔවුන් දිගින් දිගටම ප්‍රශ්ණ කරනවා.ප්‍රතිමාවේ අනෙත් කොටස්වලට සාපේක්ෂව ප්‍රතිමාවේ හිස කොටස පස්වලින් වැහිලා තිබිලත් නැහැ.ඇයි මෙහි හිස මෙතරම් නැවුම්ව තිබෙන්නේ?පසුකාලීනව ඊජිප්තුව පාලනය කළ පාලකයකුගේ උවමනාවට ප්‍රතිමාවේ තිබුණ හිස ඉවත් කරලා මේකට තමන්ගේ හිස ලබා දෙන්න ඇති කියලා තමයි අනුමාන කරන්නේ.

ස්ෆින්ග්ස් ප්‍රතිමාව ආසන්නයෙන් හමුවුණ සැඟවුණ නගරය :-
                                   එක්තරා ගවේෂකයන් ගවේශකයන් පිරිසක් වසර දහස් ගණනක් පැරණි මින් පෙර කිසිම දිනක නොදැන සිටි නගරයක් ස්ෆින්ග්ස් ප්‍රතිමාව අසලින් සොයා ගනු ලැබුවා.ලෝකයේ පුවත්පත්වල සිරස්තල මවපු මේ සොයා ගැනීම තවත් රසවත් කරන්න වගේම කුතුහලයෙන් පුරවන්න ඒ නගරයෙන් සොයාගත්ත අතීත ඊජිප්තුවාසීන්ගේ රත්තරන් නිධාන , ඔවුන් භාවිත කළ වටිනා උපකරණවලට හැකි වුණා.ඉතින් ඇයි මේ වගේ වසර 4000ක් විතර පරණ නගරයක් මේ තරම් විශේෂ වන්නේ?මොකක්ද ස්ෆින්ග්ස් ප්‍රතිමාවට මේ නගරය සමග තිබෙන සම්බන්ධය කියලා ඔබටත් හිතේවි.නැතිනම් ඒ නගරයේ නිර්මාණය වුණු සාමාන්‍යය ප්‍රතිමාවක් කියලත් හිතේවි.
                               නමුත් ඒක හිතාගන්නත් බැරි තරම් පුදුමයට හේතු වන ඔබ කිසි ලෙසකින්වත් අනුමාන නොකරන සබැඳියාවක්.ඒකට හේතුව තමයි මේ නගරයේ පිවිසුම.පුදුම සහගත දේ නම් මේ නගරයට පිවිසුම් දොරටුව නිමවී තිබෙන්නේ ස්ෆින්ග්ස් ප්‍රතිමාව තුළින්.ඒ කියන්නේ ස්ෆින්ග්ස් ප්‍රතිමාවේ හිස් මුදුනේ ඉඳලා මිනිස්සුන්ට පහලට යන්න විශාල විවරයක් තිබෙනවා.කොහොම වුණත් දැනට සොයාගෙන තිබෙන ස්ෆින්ග්ස් ප්‍රතිමාවට ඇතුළු වන රහස් කුහරයේ අභිරහස 18වැනි සියවසේ අගභාගයටම දිව යනවා.මේ කුහරය විවෘතව තිබෙන විදිහ ඒ කාලේ ඇඳලා තිබෙන චිත්‍රවලින් පවා බොහොම පැහැදිලිව දැකගන්න පුළුවන්.ඊට අමතරව 18වැනි සියවසේදී ස්ෆින්ග්ස් ප්‍රතිමාව බලන්න විශාල ගුවන් බැලුනයකින් ගමන් කරපු ගවේශකයන් පිරිසක් ඉහල අහසේ සිට ලබාගත් ඡායාරූපයකත් , 1890දී ගන්නා ලද ඡායාරූපයකත් මේ වසරේ පැවැත්වූ සටහන් වෙලා තිබෙනවා දැක ගන්න පුළුවන්.ස්පින්ක්ස් ප්‍රතිමාවේ මෙහෙම විවරයක් තිබෙනවා කියලා මේ වනවිටත් සොයාගෙන තිබෙන බවට ඇතැම් රහස් තොරතුරුවලින් වාර්තා වුණත් වර්තමානයේදී නම් එහෙම විවරයක් දකින්න ලැබෙන්නේ නැහැ.නමුත් මෑත කාලේ කවුරුහරි මේ කවුළුව කොන්ක්‍රීට් දාලා වහලා තිබෙන ආකාරයක් දකින්න ලැබෙනවා.නමුත් ඒ ඇයි?

ස්ෆින්ග්ස් ප්‍රතිමාව තුළ සැඟවුණ පුස්තකාලය :-

                               ස්ෆින්ග්ස් ප්‍රතිමාව ඉදිරිපිට තිබෙන ශිලා ලේඛනයේ වගේම ඊජිප්තු පුරාවෘත්තවලත් මේ ප්‍රතිමාව තුළ තිබෙන පැරණි පුස්තකාලයක් ගැන කියවෙනවා.ඒ අනුව ඊජිප්තුවරුන්ගේ දැනුම් සම්භාරයම මේ පුස්තකාලයේ ගබඩා කර තිබෙන බව තමයි කියවෙන්නේ.තවත් පිරිස් අනුමාන කරන ආකාරයට මේ ශිලා ලේඛනයෙන් විස්තර කරන්නේ අපි නොදන්නා වෙනත් දියුණු නිර්මාණයක් කරා ගමන් කරන මාර්ගය බවයි.කොහොම වුණත් මේ පුස්තකාලය ස්ෆින්ග්ස් ප්‍රතිමාවේ දකුණු කන යට තිබෙනවා කියන පිරිසකුත් කකුල යට තිබෙනවා කියලා විශ්වාස කරන පිරිසකුත් මේ අතර සිටිනවා.
                                    මේ මතයන් නිසාම ඇමරිකානු ගවේෂකයන් පිරිසක් ස්ෆින්ග්ස් ප්‍රතිමාවේ කකුල ආසන්නයේ මීටර් 07ක් පමණ ගැඹුරට හාරගෙන ගිහින් තිබෙනවා.පුස්තකාලයක පිවිසුම් දොරටුවක් සොයා ගන්න නොහැකි වුණත් ඔවුන්ට මෙහිදී ස්ෆින්ග්ස් ප්‍රතිමාව අභ්‍යන්තරයේ විශාල කුටි පිහිටා තිබෙන බවට යම් යම් සාධක ලැබී තිබෙනවා.නමුත් මෙවන් කැනීම් තුළින් ප්‍රතිමාවට හානිවීමේ අවදානම ඉහළයි.අන්න ඒ නිසාම මේවනවිට ඊජිප්තු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ සියලුම ආකාරයේ කැනීම් කටයුතු තහනම් කොට තිබෙනවා.නමුත් රජය මේ විදිහට කැණීම් තහනම් කරන්න හේතුව ප්‍රතිමාවේ ආරක්ෂාවමද?
                               දැනට වාර්තාවන තොරතුරුවලට අනුව නම් ස්ෆින්ග්ස් කියන්නේ නිකන්ම නිකන් ප්‍රතිමාවක් නෙවෙයි.මේ ප්‍රතිමාව අභ්‍යන්තරයේ සැඟවුණු විශාල දැනුම් සම්භාරයක් වගේම ඉතිහාසය වෙනස් කළ හැකි තොරතුරු සම්භාරයකුත් තිබෙනවා.නමුත් ඊජිප්තු රජය මේ හැමදෙයක්ම සඟවන්නේ ඇයි?

ස්ෆින්ග්ස් ප්‍රතිමා දෙකක් :-

                                  වර්තමානය වෙද්දි දකින්න ලැබෙන්නේ එක ස්ෆින්ග්ස් ප්‍රතිමාවක් වුණත් බොහොමයක් දෙනා විශ්වාස කරන්නේ ස්ෆින්ග්ස් ප්‍රතිමාවට මෙපිටින් තවත් ඒ වගේම ප්‍රතිමාවක් තිබූ බවයි.සමහර සිතුවම්වලින් එක ලඟ පිහිටා තිබෙන ප්‍රතිමා දෙකක් දක්වා තිබුණත් ඊජිප්තු ශිෂ්ටාචාරයේ නම් ඒ ගැන කිසිම තොරතුරක් වාර්තා වෙන්නේ නැහැ.කොහොම වුණත් මේ මතය විශ්වාස කරන ඇතැම් පිරිස් සැඟවිලා ඇතැයි විශ්වාස කරන මේ ප්‍රතිමාව සොයන්න සෑහෙන වෙහෙසක් දරලා තිබෙනවා.නමුත් තවමත් ඒ පිළිබඳව කිසිදු හෝඩුවාවක් ලැබිලා නම් නැහැ.ඊජිප්තු රජය මේ ප්‍රතිමාව තිබෙන තැන දැනගෙන ඒක සඟවන බව පවසන පිරිසකුත් මේ අතර සිටිනවා.ඇත්තටම ස්ෆින්ග්ස් ප්‍රතිමාවන් දෙකක් එක ළඟ පිහිටලා තිබුණද?එහෙම තිබුණා නම් චිත්‍රයක් හැර වෙනත් කිසිම සාධකයක් ඒ පිළිබඳව නොලැබුණේ ඇයි?
                                    ඊජිප්තු රජය කියන්නේ තමන්ගේ ඉතිහාසය ගැන බොහොම ආඩම්බර වෙන රජයක්. ඔවුන්ගේ ආර්ථිකය තුළ මූලික ස්ථානයක් හිමිවන්නේද මේ සංචාරක කර්මාන්ත ක්ෂේත්‍රය වෙතයි.ඉතින් එහෙනම් ඇයි ඔවුන් මේ ඇත්ත ලෝකයට ඉදිරිපත් කරලා තමන්ගේ සංචාරක කර්මාන්තය තවත් දියුණු කර නොගන්නේ?
                                     ඊජිප්තුවට මිනිස්සු එන්නෙ මේ සැඟවුණු අබිරහස් නිසාමයි. මොකද මේ එන සංචාරකයන්ගෙන් ඇතැම් පිරිස් එන්නේම අබිරහස් විසඳන්න උත්සාහ කරන්න.ඉතින් මේ හැම අබිරහසක්ම විසඳුණොත් හැමදේම සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා සංචාරක කර්මාන්තය විනාශ වෙන්න පුළුවන්. ඒකෙන් රටේ ආර්ථිකයටත් විශාල බලපෑමක් එල්ල විය හැකියි.අන්න ඒ නිසා ඊජිප්තු රජය තමන් ගවේෂණය කර ගත් තොරතුරු සදාකාලිකවම රහසක් විදිහට තබාගන්න තීරණය කළා වෙන්නත් බැරි නැහැ.හැබැයි මේ රහස් සියල්ලම පසුපස ඇති හේතු කරුණු එසේනම් ස්ෆින්ග්ස් ප්‍රතිමාවේ වගේම ඊජිප්තුවේ සෑම අබිරහසක්ම සදාකාලිකවම අබිරහසක් ලෙස පවතීවි.

Tuesday, March 14, 2023

බිෂොප්විල් භීතියෙන් සලිත කළ අමුතු ජීවියා රෙප්ටීලියන් කෙනෙක්ද?


 

                                     අප ජීවත් වන ලෝකය ගත්තම අපි වගේම තවත් ජීවීන් වර්ග විශාල සංඛ්‍යාවක් ජීවත් වෙනවා.මිනිසා කියන්නේ ඒ ජීවීන් අතර තවත් එක් ජීවියෙක් විතරයි.ඇසට පෙනෙන , නොපෙනෙන , වඳ වුණා යැයි විශ්වාස කරන අතොරක් නැති ජීවීන් අතර හඳුනා නොගත් ජීවීන් කොතරම් නම් ඇත්ද?නිතර දකින්න නොලැබුණත් මේ වගේ සුවිශේෂී ජීවී කොට්ඨාස ලෝකයේ කොතෙකුත් ජීවත්ව ඉන්න පුළුවන්.අන්න ඒ වගේ ජීවීන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා වුණු විශේෂ ගම්මානත් මේ ලෝකය තුළ තිබෙනවා.

                                    දකුණු කැරොලයිනාහි තිබෙන "බිෂොප්විල්" කියන්නෙත් අන්න ඒ වගේ කුඩා ගම්මානයක්.අවුරුදු ගණනාවක් තිස්සේ උරගයකුගේ ස්වරූපයක් සහිත මිනිසකු මේ ගමේ ජනතාව භීතියට පත් කරනවා කියලා කටකතාවක් පැතිරිලා යනවා.මේක සිතාගන්නවත් බැරි අතිශය ගුප්ත දෙයක් නිසා මානවරූපී උරගයන් අපිත් එක්කම අප අතරම ජීවත් වෙනවාද කියන ප්‍රශ්නය මිනිස්සුන්ට තදින් දැනෙන්න පටන් ගන්නවා.

                               අපි කවුරුත් අසා ඇති විදිහට රෙප්ටීලියන් කියන ජීවීන් තමයි මේ මානවරූපී උරගයන් කියලා හඳුන්වන්නේ.මේ සත්ත්ව විශේෂය පෘතුවියේ අප අතරම වෙස් වළාගෙන ජීවත් වන බවට දැඩි මතයක් මේ වන විටත් ලොව පුරා මිනිසුන් අතර ඇති වෙලා තිබෙනවා.විවිධ පරීක්ෂකයන් සහ විද්වත් පුද්ගලයන් විසින් මෙම උරග මිනිසුන් පිළිබඳව ඉදිරිපත් කරන ලද මතිමතාන්තර රාශියක් අපට හඳුනාගත හැකියි.ඒ අතර ඔවුන් ඩයිනෝසරයන්ගෙන් පරිනාමය වූ බව , ඇල්ෆා ඩ්‍රෙකෝනිස් තරු පන්තියකින් පැමිණි බව වගේම මොවුන් මිනිසුන්ගේ ආහාරවලට විවිධ දේවල් එක්කොට මනස විකෘති කරන බවටත් ලෝකයේ ප්‍රධාන තනතුරු දරන පුද්ගලයන් ලෙස වෙස්වළාගෙන ජීවත් වන බවටත් මත පලවෙනවා.මිනිසුන් අතර වෙස්වළාගෙන ජීවත් වුණත් ඇතැම් අවස්ථාවල මොවුන්ට තමන්ගේ සැබෑ ස්වරූපය පිටතට පැමිණීම පාලනය කරගන්න නොහැකි වී තිබෙනවා.එවන් දුර්ලභ අවස්ථා කැමරා කාචවල සටහන්ව තිබුණත් ඒවාගේ සත්‍ය අසත්‍යතාව නම් මේ වනතෙක්ම තහවුරු වී නැහැ.
                                  කෙසේ වෙතත් 1988 ගිම්හාන කාලයේ බිෂොප්විල්වල එක්තරා අමුතු සිදුවීමක් සිදු වෙනවා."Liston Truesdale" කියන්නේ මේ ගමේ හිටපු නගරාධිපතිවරයා වගේම මේ ගමේ හිටපු පොලිස්පතිවරයෙක්.මේ සිදුවීම සිදු වූ දිනයේ ඔහු තමන්ගේ රාජකාරි කටයුතුවල නිරත වෙලා සිටිද්දී මහ රෑ ඔහුට එක්තරා ඇමතුමක් ලැබෙනවා. අමුතු වෙලාවක වෙලාවක ආව මේ ඇමතුමෙන් හැම ජීවිතේ තමන් කිසිම දවසක බලාපොරොත්තු නොවුන විදිහේ පැමිණිල්ලක් අසන්නට ලැබෙනවා.
                                  මේ ඇමතුමෙන් කියවුණේ අසාමාන්‍ය විදිහට මෝටර් රථවලට කරපු විශාල හානි කිරීම ගැනයි. ඒ වගේම දිගින් දිගටම මේවගේ පැමිණිලි වාර්තා වෙන්නත් පටන් ගන්නවා. කවුරුහරි සූරලා විනාස කරලා දාලා තිබෙන ආකාරයක් තමයි මේ වාහන දිහා බැලූ බැල්මට පෙන්නේ තිබිලා තියෙන්නේ. ඒ නිසාම ලිස්ටන් හිතන්නේ මේක බොහෝවිට සර්කස් එකකින් පැනලා ආව සතෙකුගේ එහෙමත් නැත්නම් කාගේහරි සුරතලෙක් කරපු දෙයක් කියලයි.නමුත් මෙතරම් දරුණු හානියක් එහෙම සතෙක්ට කරන්න පුලුවන්ද?
                                     නිවැරදි හෝඩුවාවක් නැතිව ගෙවුණු දින කිහිපයකට පස්සේ ලිස්ටන්ට එක්තරා පැමිණිල්ලක් ලැබෙනවා.මේ පැමිණිල්ල කරන්නේ ක්‍රිස් ඩේවිස් කියලා අවුරුදු 17ක පමණ පාසල් ශිෂ්‍යයෙක්.ඒ දවසේ රාත්‍රියේ ක්‍රිස් යම් කටයුත්තකට තමන්ගේ මෝටර් රථයක් පදවාගෙන ආසන්නයෙන් පිහිටි නගරයට යන්නට පිටත් වෙනවා.කැලෑවක් මැදින් වැටුණු මේ පාරේ යන අතර මගදී ක්‍රිස්ගේ වාහනයේ සුළු කාර්මික දෝෂයක් ඇති වන නිසා ඔහු ඉක්මනින්ම වාහනය පාර අයිනට කරලා නවත්තනවා.වාහනයෙන් බැහැලා ඒක හදාගෙන යන්න සූදානම් වන විට ක්‍රිස්ට කැළෑවෙන් අමුතු සද්දයක් ඇහෙනවා.මේ ශබ්දයෙන් කලබලයට පත්වන ක්‍රිස් අතේ තිබෙන විදුලි පන්දම හැමතැනටම යොමු කරමින් කවුරුත් ඉන්නවාද කියලා නිරීක්ෂණය කරනවා.එහෙම බලද්දී හදිසියේම විදුලි පන්දමේ එළිය ගහකට එල්ල වෙනවා. එතකොට ක්‍රිස් දකිනවා එක්තරා අමුතු සතෙක් තමන් දිහා බලාගෙන ඉන්නවා.
                                   මේ සිදුවීමෙන් කලබල වන ක්‍රිස්ට එකවරම වරම කෑගැස්සෙනවා.ඒත් එක්කම මේ අමුතු ජීවියා මෙයා ඉන්න දිහාට දුවගෙන එන්න පටන් ගත්ත නිසා ඉක්මනින් වාහනයට නැග ගත් ඔහු ඉතාමත් වේගයෙන් වාහනය පදවනවා.ඒත් එකපාරටම විශාල ශබ්දයකුත් සමඟ මේ ජීවියා වාහනයට පැන්නා බව ක්‍රිස්ට හොඳටම දැනෙනවා.මෙයින් අතිශය භීතියට පත්වන ක්‍රිස් සත්වයා වියරුවෙන් මෙන් හැසිරෙද්දී සිග්සැග් ආකාරයට ඉතම සූක්ෂමව වාහනය  පදවා තිබෙනවා.කොහොම වුණත් නගරයට ආසන්න වෙද්දී මේ සතා ක්‍රිස්ව අතහැරලා තිබෙනවා.තමන්ගේ වාහනයත් පදවාගෙන ඒ අවස්ථාවෙම පොලිසියට ගිහින් පැමිණිලි කලත් පොලිසිය ඔහුගේ කතාව විශ්වාස කරන්නේ නැහැ.ඒ නිසාම ඔහුගේ කැමැත්ත ඇතිව පොලිසිය ඔහුට "ලයි ඩිටෙක්ටර්" පරීක්ෂණයක් සිදු කරනවා.ක්‍රිස් පවසන්නේ සම්පූර්ණයෙන්ම ඇත්තක් කියලා මේ පරීක්ෂණය මගිනුත් තහවුරු වෙලා තිබෙනවා.
                                  මේ සිදුවීමෙන් පසු බොහෝ පිරිස් ජීවියා දුටු බවටත් එම සත්වයාගේ ප්‍රහාරයට ලක්වූ බවටත් පවසන්නට පටන් ගන්නවා.ඇසින් දුටු සාක්ෂි රාශියක් තිබුනත් ඒ කාලේ ස්මාට් ෆෝන් වගේ දේවල් සුලභව නොතිබුණු නිසාත් තිබුණු දුරකථනවල වීඩියෝ කිරීමේ පහසුකම් නොතිබුණු නිසාත් කාටවත්ම මේ සිදුවීම වීඩියෝගත කර ගැනීමට නම් ලැබිලා නැහැ.මේ ගමේ සිටි "Frank Mitchell" නම් ගුවන් නියමුවෙක් තම ගුවන් යානය පදවමින් කැලෑවට ඉහළින් පියාසර කරන අතරතුර අමුතු ජීවියෙක් එළිමහනේ සිට කැලෑව තුළට පිවිසෙන ආකාරය දැක තිබෙනවා.ඔහු විස්තර කරන ආකාරයට මේ ජීවියා මනුස්සයෙක් වගේ වුණත් ඊට වඩා උසින් වැඩියි.ශරීරයේ කොරපොතු මෙන් ම වලිගයක් තිබුණු මේ සතා අඩි හතක් පමණ විතර උසකින් යුතු වෙලා තිබෙනවා.ඔහු කියන ආකාරයට මේ සත්වයා තමන් මීට කලින් කවදාවත් දැකලා නැති උරගයෙක්ට වගේම මනුස්සයෙක්ටත් සමානකම් තිබෙන හරිම අමුතු ජීවියෙක්.
                                   
                                    ජෝන් රෝස් කියන ගවේෂකයාට අනුව මේ ඉන්නේ මීට කලින් පෘථිවියේ ජීවත් වුණු ඩයිනෝසරයන්ගෙන් පැවත එන ජීවියෙක්.කැනඩාවේ පරීක්ෂණ පවත්වමින් පොසිල පිළිබඳ අධ්‍යයනය කරන ශ්‍රේෂ්ඨ විද්වතෙක් වන ඩේල් රසල්ට අනුව ලෝකයේ මීට වසර ගණනාවකට ඉහතදී සිදුවුණ මහා වඳවී යාමෙන් ඉතිරි වුණ ටෘඩෝන් වර්ගයට අයත් සත්වයෙක් මිනිස් වර්ගයට පරිණාමය වීමක්.කැනඩාවේ ඩෙල් හවුසි විශ්වවිද්‍යාලයේ පාරිසරික සහ විස රසායන පිළිබඳ මහාචාර්යවරියක් වන ෂැනන් බාට්ට අනුව මෙය විස රසායන හේතුවෙන් සිදුවුණු ජාන විකෘතිතාවයක්.තවත් පිරිසකට අනුව මෙය සංචාරක ආකර්ෂණය දිනා ගැනීම වෙනුවෙන් ගොඩනගන ලද බොරු කතාවක්.ඇත්තටම කිව්වොත් මේක එක්තරා විදිහක සංචාරක තෝතැන්නක් වෙලා ඉවරයි.ඒ නිසාම මේක සංචාරක කර්මාන්තය වෙනුවෙන් සාමූහිකව කරපු විශාල මුළා කිරීමක් කියලයි ඔහු පවසන්නේ.ඒක සනාථ කරන්න ඔහු වාහනයක් ගෙනත් ඒක සතා පහර දීලා හානි කළා කියන ආකාරයටම බොහොම සාර්ථකව අලාබහානි කරලත් පෙන්වනවා.
                                  කොහොම වුණත් ඔවුන්ගේ සංචාරක ව්‍යාපාරය නම් දැන් අති සාර්ථක මට්ටමක තිබෙනවා.ඉතින් ඇත්තටම මෙහෙම ජීවියෙක් ඉන්න පුලුවන්?ඉන්නවනම් ඒ කොහේද?ඔය ජීවියා ඩයිනෝසරයන්ගෙන් පරිනාමය වුණු සතෙක්ද?එහෙමත් නැත්නම් විස රසායනික නිසා විකෘති වුණු සාමාන්‍ය උරගයෙක්ද?ඒ එකක්වත් නොවේ නම් විදෙස් මාධ්‍ය කළඹපු මේ සිදුවීම තමන්ගේ ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න හිතාගෙන බිෂොප්විල් වැසියෝ කරපු සාමූහික මුළා කිරීමක්ද?