Sunday, March 19, 2023

ලොවපුරා නිර්මාණය වූ අබිරහස් කුළුණු


 

                                        ලෝකය තුළ ගැනිය නොහැකි තරම් තිබෙන ඉදිකිරීම් අතර තාක්ෂණයේ දියුණුව සිහිගන්වන ගොඩනැගිලි සේම බොහෝ අබිරහස් සඟවාගෙන සිටින පැරණි ඉදිකිරීම් පවා තිබෙනවා.මේ අතර කවුරුන් කුමන අරමුණකට නිර්මාණය කළාද යන්න අනුමාන කිරීමේ හැකියාවක් නොමැති නිර්මාණයන් පවා තිබෙනවා.මෙවැනි ඉදිකිරීම් වටා අගක් මුලක් නොමැති විවිධ උපකල්පන , මතවාද නිර්මාණය වීම බොහොම සාමාන්‍යය තත්ත්වයක්.අද අපි ඔබට තොරතුරු රැගෙන එන්නේ අපගේ දැනුමෙන් එහාට විහිදී ගිය විශිෂ්ට දෑත්වලින් නිර්මාණය වුණ එවන් අමුතු , පැරණි නිර්මාණ කිහිපයක් පිළිබඳවයි.


හිමාලයේ අබිරහස් කුලුණු :-
                                   ටිබෙට් දේශයේ උතුරු නැගෙනහිර පළාතේ සිචුවාන් දිස්ත්‍රික්කයේ කඳු මත ගල් කුළුණු 200ට අධික ප්‍රමාණයක් පිහිටා තිබෙනවා.මේ කුලුණුවලින් සමහරක් මීටර් 30ක් පමණ විශාල වන අතර ඇතැම් ඒවා තරුවක හැඩයකින් නිර්මාණය කර තිබෙනවා.පුරාවෘත්තවලට අනුව ක්‍රි:ව: 1240 දී මොන්ගුල් අධිරාජ්‍යයා ටිබෙට් දේශයට එන විට ක්ෂණිකවම මෙම කුලුණු නිර්මාණය වී තිබෙනවා.මේ කුලුණුවල අබිරහස සොයා ගන්න විශාල ගවේෂණ කණ්ඩායමක් උත්සාහ කළත් තවමත් කිසිවකුට මේ කුළුණුවල වයසවත් නිර්මාණය වුණු ආකාරය ගැනවත්  කිසිඳු අදහසක් නැහැ.
                                    අවම වශයෙන් සියවස් ගණනාවක් පුරාවට මේ කුලුණු ආශ්‍රිත ගම්මානයේ ජීවත්වන වැසියන්වත් මෙහි ඉතිහාසය දන්නේ නැහැ.ඒ කියන්නේ ඔවුන්ට මේ පිළිබඳව පරම්පරාවගත දැනුමක්වත් නැහැ.කුළුණුවල තිබී ලියවිලි කිහිපයක් හමුවී ඇතත් ඉතිහාසඥයන් පවසන ආකාරයට ඒවා තුළින්වත් මේ කුලුණු පිළිබඳව තොරතුරක් හෙළිවී නැහැ.මේ නිසාම 2000 - 2003 අතර කාලයේ මේ කුලුණු තුළ තිබෙන කුඩා දැව කොටස් කිහිපයක් ලබාගෙන මෙම කුලුණුවල වයස නිර්ණය කර ගැනීමට එම කොටස් කාබන් ඩේටින් පරීක්ෂණයක් සඳහා යොමු කරනවා.ඔවුන් මේ සඳහා දැව සාම්පල් 32ක් පමණ ලබා ගෙන තිබෙනවා.පරීක්ෂණයට ලක් වුණ ඇතැම් සාම්පල්වල දත්ත අනුව එම දැව කොටස් වසර 1000 - 1200ත් අතර පැරණි බවට සනාථ වුණත් තවත් සමහර සාම්පලවලින් සියවස් කිහිපයකට පෙර වයස් ප්‍රමාණයන් ලබා දී තිබෙනවා.එහෙම නම් මේ කුලුණු ගැන සියළු තොරතුරු පෘථිවියෙන් අතුරුදන් වෙලාද?ඇත්තටම මේවා නිර්මාණය කළේ කවුද?

ඊජිප්තුවේ ඔබිලික්ස් :-
                                   ඔබිලික්ස් කියන්නේ ඉතිහාසය පුරාම විශාල වාද විවාද ප්‍රමාණයක් ඇති වුණ නිර්මාණයක් වුණත් ඒ පිළිබඳවත් නිවැරදි තොරතුරක් තවමත් සොයා ගැනීමට හැකියාවක් ලැබී නැහැ.ඔබිලික්ස්වල පිරමීඩවලට ආවේණික ලක්ෂණ දකින්න ලැබෙන නිසාත් ඊජිප්තු දේවස්ථාන ඉදිරිපිට පිහිටා තිබෙන නිසාත් මේවා ආගමිකවතාවත් සඳහා යොදා ගන්නට ඇති බවට විශ්වාසයක් පවතිනවා.ඉතිහාසඥයන්ගේ මතය අනුව මේවා බොහොමයක් හිරු දෙවියන්ගේ වන්දනාවට යොදාගත් ඒවායි.
                                    මේවා හිරු එළිය පතිතවන ආකාරය අනුව කාලය නිර්ණය කර ගැනීමට යොදාගත් බවට තවත් පිරිසක් මත පල කරනවා.ඒ වගේම මේ ඔබිලික්ස්වල විවිධ සිදුවීම් දක්වන ඉතාමත් අලංකාර රූපාක්ෂරවලින් ද සමන්විතයි.මෙහි තිබෙන විශාලම කුලුණු මීටර 33ක් පමණ විශාලයි.අද වනවිට ඊජිප්තු ඔබිලික්ස් ඉස්තාම්බුල් , ලන්ඩන් , නිව්යෝර්ක් ආදී රටවල පවා දැකගන්න පුළුවන්.කොහොම වුණත් මේවා නිර්මාණය කළේ කවුද?කුමක් සඳහාද කියලා අපේ ජීවිත කාලය තුළදීවත් සොයා ගැනීමට හැකි වේවිද?

බාබෙල් කොත :-
                               බාබෙල් කොත කියන්නේ තවමත් තිබෙන ස්ථානය නිවැරදිව හඳුනාගෙන නොමැති විශිෂ්ට නිර්මාණයක්.මේ පිළිබඳව ශුද්ධ වූ බයිබලයේත් ඉතා සුළුවට නමුත් සඳහන් කර තිබෙනවා.එහි සඳහන් වන ආකාරයට මිනිසාගේ විශිෂ්ටතම නිර්මාණය සහ මිනිසාගේ විශාලතම කඩා වැටීමට හේතුවත් මේ බාබෙල් කොතයි.
                                එහි සඳහන් වන ආකාරයට මැද පෙරදිග බොහෝදෙනා බැබිලෝනියාවේ පදිංචි වෙලා තිබෙනවා.මීට වසර ගණනාවකට ඉහත ඇතිවූ මහා ජල ගැල්මට පෙර ශිනාර් භූමිය කියන මේ ප්‍රදේශයේ මිනිසුන් පදිංචි වෙලා තිබෙනවා.ඉතින් ඇතැම් මිනිසුන් දෙවියන් එවූ මේ විනාශය කල්තියාම දැනගෙන එම විනාශයෙන් බේරෙන්න හිතාගෙන කොතක් නිර්මාණය කරනවා.මේ කොත ඉතාමත්ම විශාලයි.ඔවුන්ට ස්වර්ගය දක්වාම මේ කොත නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය තිබුණත් ඒක කවදාවත්ම සිදු වුණේ නම් නැහැ.
                                   කතාවේ විදිහට හැමදෙයක්ම උඩ ඉඳලා බලාගෙන ඉන්න දෙවියන් මිනිස්සු කරන මේ දේවල් නිසා බොහොම කේන්තියට පත් වෙනවා.ඉතින් මෙය නිර්මාණය කලහොත් මිනිසුන් දෙවියන් වහන්සේගේ බලය පිළිබඳව අවතක්සේරු කරාවි කියන සිතුවිල්ලෙන් දෙවියන් වහන්සේ මෙතන වැඩකරන මිනිසුන්ට විවිධ භාෂාවලින් කතා කරවන්න පටන් අරගෙන තිබෙනවා.මේ නිසා මෙහි මිනිසුන්ට පණිවිඩ හුවමාරු කරගැනීමට නොහැකි වීම නිසා බාබෙල් කොතේ වැඩත් එතනම නවතිනවා.
                                 බොහෝදෙනා කියන්නේ මේ කුලුණ ඉරාකයේ පිහිටලා තිබිලා වර්තමානය වනවිට මේක කාලයත් සමඟ විනාශ වෙලා යන්නට ඇති කියලයි.ගවේෂකයන් විශාල ප්‍රමාණයක් මේ කුලුණ තිබෙන ස්ථානය සොයා වෙහෙසුනත් තවමත් ඔවුන් කිසිවෙකුට මේ කොත සොයා ගන්නට හැකියාව ලැබිලා නැහැ.ශිනාර් නැත්නම් සුමේරියන්වරු ලිවීමේ කලාව ලොවට දායාද කලත් ඔවුන් මේ බාබෙල් කොත පිළිබඳව කිසිම සඳහනක් නොකිරීමත් පුදුම සහගතයි.සැබැවින්ම මෙවන් නිර්මාණයන් සිදු කළේ කවුද?ඒ කිනම් අරමුණක් උදෙසාද යන්න තවමත් නොවිසඳුණු අබිරහසක්.

No comments:

Post a Comment