ඉමක් කොනක් නැති මුහුදු ජීවිතය කියන්නේ අපිට බොහොම ආස්වාදජනක අත්දැකීමක් වුණත් එය තම ජීවිතය කරගත් ධීවරයන්ට නම් තීරණාත්මක ගමනක්.තමන්ගේ දිවි රැක ගැනීමට නිරත වන මෙම වෘත්තීය තුළදී නාවුකයින් මුහුණ දෙන ත්‍රාස්‍යජනක සිදුවීම් ද බොහොමයි.නමුත් ඔවුන් මෙම ත්‍රාස්‍යජනක අත්දැකීම්වලට අමතරව නොයෙක් අත්භූත සිදුවීම්වලටත් මුහුණ දෙන බව බොහෝ අවස්ථාවලදී අසන්නට ලැබෙනවා.මෙවන් ගමන්වලදී ඔවුන්ට දකින්නට ලැබෙන අත්භූත යාත්‍රා ගැනත් සඳහන් වුණත් බොහෝ දෙනා මෙවන් කතා විශ්වාස කරන්නේ නම් නැහැ.ඉතින් අද අපි මේ ලිපියෙන් කතා කරන්නේ බොහෝ පළපුරුදු නාවිකයන් අත්විඳි නමිත් පැවසීමට අකමැති මහ සයුරේ සැරිසරන එවන් හොල්මන් යාත්‍රාවක් ගැනයි.
The Ourang Medan :-ඇමරිකානු නාවික යාත්‍රා 02ට මුහුණ දීමට සිදු වුණ මෙම අත්භූත සිදුවීම වාර්තා වෙන්නේ 1947 වසරේදී.මලක්කා සමුද්‍ර සන්ධිය පසු කරමින් සිටින විට ඔවුන්ට " The Ourang Medan " නම් යාත්‍රාවකින් හදිසි පණිවිඩයක් ලැබෙනවා.එම නෞකාවේ සිටි පුද්ගලයෙක් තමන්ගේ නෞකාවේ කපිතාන්වරයාගේ සංඥා උපකරණයෙන් ලබා දුන් එම පණිවිඩයෙන් කියවුණේ තමන් සිටින නැවේ සියලුම දෙනා මියගොස් තිබෙන බවත් වහාම තමාව බේරාගන්නට පැමිණෙන ලෙසත් බොහෝම බැගෑපත්ව කළ ඉල්ලීමක්.මෙම ඉල්ලීම කරන ඔහු කතාව නිමකර තිබෙන්නේ " මමත් මැරෙන්නද කොහෙද යන්නේ " යනුවෙන් ඉතාමත් දුර්වල හඬින් පවසමින්.
මේ ලැබුණු පණිවිඩය නිසාම ඇමරිකානු යාත්‍රා දෙක අවසාන නාවිකයා හෝ මුදා ගන්නා අදහසින් හැකි ඉක්මනින් සංඥා ලැබුණු දිශාවට ගමන් කරනවා.අනතුරට පත් නෞකාවක් සහ මරණාසන්න නාවිකයකු මුදා ගැනීමට ගිය ඔවුන්ට මුහුණ දෙන්න සිදු වන්නේ නම් සිහිනෙකින්වත් නොසිතූ අන්දමේ ත්‍රාස්‍යජනක අත්දැකීමකටයි.ඔවුන්ට කිසිඳු හානියක් නොවූ මෙම නෞකාව හමු වුණත් එහි කිසිවකුවත් ඒ වනවිටත් ජීවතුන් අතර සිටියේ නම් නැහැ.පණිවිඩය ලබාදුන් පුද්ගලයකු තබා යාත්‍රාවේ සිටි සුරතල් සතකුවත් ඒ වනවිට ජීවත්ව නොසිටීම ඔවුන් මවිත කිරීමට සමත්ව තිබුණා.කෙසේවෙතත් සුරතල් සතුන් ඇතුලුව එහි සිටි සියළු දෙනාම මියගොස් තිබුණේ අති භයානක අත්දැකීමකට මුහුණදී අවසන් හුස්ම හෙලූ බවක් දක්වන ඉරියව්වලින් වීම ඔවුන් තව දුරටත් වික්ෂිප්ත බවට පත් කරන්නට සමත් වුණා.
මුහුණ දීමට සිදු වූ අත්දැකීමෙන් දැඩි කැළඹීමට පත්වන ඇමරිකානු යාත්‍රාවල නාවිකයන්ට පවා මේ සම්බන්ධව කිසිම නීත්‍යානුකූල පියවරක් හෝ ගැනීමට අවස්ථාව උදා වන්නේ නැහැ.දුටු දර්ශණයන්ගේ භයානක බව දෙගුණ කරමින් කිසිඳු පරීක්ෂණයක් සිදු කිරීමට පෙර අනපේක්ෂිත අයුරින් නෞකාවේ ඇතිවන අබිරහස් ගින්නකින් මුලු නෞකාවම ගිනිගෙන විනාශ වී යනවා.
කොහොම වුණත් මිනිසුන් මියගොස් අබිරහස් විදිහට ගිනිගත්ත මේ නෞකාව අදටත් බොහොමයක් යාත්‍රාවන්වලට මුණ ගැසෙන බවට සඳහන් වනවා.නෞකාවේ තිබුණු රසායනික ද්‍රව්‍යයන්වල බලපෑමක් නිසා නැව ගිනි ගන්න ඇති කියලා පර්‍යේක්ෂකයන් මත පළ කලත් ඒවා සනාථ කරන්නත් කිසිම සාක්ෂියක් නැහැ.ඇත්තටම මේ නැවේ ගමන් කළ නාවිකයන්ට මොකද වුණේ?
The Lady Lovibond :-
විවාහ උත්සවයක් වටා යොමුවන මේ නෞකාවේ කතාව 1748 වසර දක්වාම දිව යනවා.මේ නැවේ කපිතාන්වරයා තමන්ගේ විවාහ උත්සවය තමන්ට සුපුරුදු නෞකාවේම පවත්වන්න තීරණය කරනවා.නමුත් ඒ වනවිටත් කපිතාන්වරයාගේ මනාලියට පෙම්බැඳි නැවේ සිටි තරුණයෙක් ඊර්ෂ්‍යාව සහ පළිගැනීමේ චේතනාවෙන් මෙම නෞකාව විශාල ගල් පරයක ගැටීමට සලස්වනවා.මේ නිසා තරුණයා ඇතුලු නැවේ ගමන් කළ සියලු දෙනාම මරණයට පත්ව තිබෙනවා.කොහොම නමුත් මේ සිදුවීමට වසර ගණනාවට පසුව 1798 දී එම්ප් නගරය ආසන්න මුහුදේදී මෙම නෞකාව දක්නට ලැබුණු බවට වාර්තා වනවා.එවක් පටන් සෑම වසර 50ටම වරක් මෙම අත්භූත නෞකාව විවිධ නාවිකයන්ට දක්නට ලැබී තිබුණත් 1998 වසරේදී නම් කිසිවකුට එය දක්නට ලැබුණු බවට වාර්තා වන්නේ නැහැ.
The Caleuche :-
චිලී රටේ ජනතාවට නාවික ක්ෂේත්‍රය පිළිබඳව දීර්ඝ ඉතිහාසයක් වගේම ශක්තිමත් බැඳීමක් පවතිනවා.නමුත් චිලී රටේ කෙතරම් දක්ෂ , පළපුරුදු නාවිකයෙක් වුවත් තැතිගැන්මට පත් කිරීමට සමත් යාත්‍රාවක් විදිහට තමයි මේ නෞකාව සැලකෙන්නේ.කටකතා සහ මේ නැව සම්බන්ධ ඇසින් දුටු සාක්ෂිවලට අනුව මේ නැව බොහොම ලස්සන නැවක්.ඒ වගේම මේ නැව ගොඩබිම ආසන්නයෙන් ගමන් කරන විට සංගීතය වගේම බොහොම සතුටින් විනෝදවන ශබ්දයකුත් ඇසෙනවා.නමුත් එම සිනහවන් ඉතාමත් සුලු මොහොතකින් විලාපයක් බවට පත් වන බවත් මෙම නෞකාව දුටු පුද්ගලයන් පවසා තිබෙනවා.ඔවුන් පවසන ආකාරයට නෞකාව හදිසියේ මුහුදුබත් වීම නිසා තමයි මොවුන් මෙහෙම විලාප දෙන්නේ.
යම් හේතූන් නිසා මුහුදුබත් වුණ , අනතුරට පත් වුණ නෞකාවන් මේ විදිහට මාවිකයන්ට මුණ ගැසෙනවාද?එසේනම් එහෙම වෙන්නේ ඇයි?සැබෑවටම මෙවන් සිදුවීම් තුළ පවතින සත්‍ය කුමක්ද?

No comments:
Post a Comment