Sunday, April 2, 2023

වාඩි වුණොත් යන්නම වෙන වස්බිගේ පුටුව


 

                                  විඩාවක් , තෙහෙට්ටුවක් දැනෙන වෙලාවක නිදහසේ පුටුවක වාඩිවෙලා ඉන්න ලැබෙන එකත් ලොකු සැනසීමක්නේ.හැබැයි ඉතින් මොනම හේතුවක් නිසාවෙන් හෝ මේ විදිහට වාඩිවෙන පුටුවක් තමන්ට මරණය කැඳවාවි කියල නම් කිසිම කෙනෙක් විශ්වාස කරන එකක් නැහැ.නමුත් අද අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ අහඹු ලෙස හෝ වාඩි වුවහොත් නිසැකවම මරණය ලඟා කරන පුටුවක් පිළිබඳවයි.
                             මේ පුටුව පිළිබඳව වාර්තා වෙන්නේ එංගලන්තයේ උතුරු යෝක්ෂයර්වල තර්ස් කියන ගම්මානයෙන්.පෙනුමෙන් නිවසක තිබෙන සාමාන්‍යය පුටුවක් වගේ පෙනෙන්නට තිබෙන මෙම පුටුව " මරණයේ පුටුව " නැත්නම් " වස්බිගේ පුටුව " කියලත් හඳුන්වනවා.වාඩිවන ඕනෑම පුද්ගලයකුට ඉතාම සුළු කාලයක් තුළ මරණය ලඟා කරන මෙම පුටුවේ ඉතිහාසය වසර 320ට එහා ඈත අතීතයට දිව යනවා.
                                 වාර්තා වන ආකාරයට මේ සිදුවීම් මාලාව ආරම්භ වන්නේ 1702 වසරේ.එංගලන්තයේ තර්ස් ගම්මානයේ අවන්හලක් හිමි " තෝර්මස් වස්බි " නම් අමුතුම ආකාරයේ පුද්ගලයකු වාසය කොට තිබෙනවා.බිරිඳ සහ බිරිඳගේ පියා සමඟ වාසය කළ මොහු දැඩි ලෙස මත්පැන්වලට ඇබ්බැහි වූ පුද්ගලයකු බව පැවසෙනවා.ඔහු දවසින් වැඩි කාලයක් ඔහුගේම අවන්හලේ ඔහුටම වෙන්වුණු පුටුවට වී මත්පැන් පානය කරනවා.
                                    මත්පැන්වලට දැඩි ලෙස ගිජු වූ වස්බිගෙන් ඔහුගේ බිරිඳට වන හිරිහැර නම් අඩුවක් වුණේ නැහැ.බිරිඳගේ පියා විසින් වස්බිට කොතරම් අවවාද කලත් මෙම කල්ක්‍රියාව පුරුද්දක් ලෙස පවත්වා ගෙන ගිය වස්බිගේ කිසිඳු වෙනසක් සිදු වී නැහැ.කෙසේවෙතත් අවන්හල් තුළ වස්බි සමඟ මත්පැන් පානය කරමින් සිටින අතරතුර දිනක් මාමණ්ඩිය විසින් දියණියට වන හිරිහැර නවතන ලෙස කරන අවවාදයක් දුරදිග යනවා.මෙම කෝලාහාලයේ අවසන් ප්‍රථිපලය ලෙස අවාසනාවන්ත ලෙස වස්බි අතින් ඔහුගේ මාමණ්ඩිය ඝාතනයට ලක්වනවා.
                                 ඝාතනය කළ ආකාරය පිළිබඳව විවිධ මත ඉදිරිපත් වුවත් අවසානයේ වස්බි වරදකරු බව තහවුරු වී තිබෙනවා.ඒ අනුව වස්බි ඔහුගේ ගම්මානයේදීම එල්ලා මැරීමට නීතිය විසින් තීන්දු කරනවා.සුපුරුදු ආකාරයටම මරණයට පත් කිරීමට පෙර වස්බිගෙනුත් ඔහුගේ අන්තිම කැමැත්ත විමසා තිබුණා.එහිදී ඔහු පවසා තිබුණේ තමන්ගේ අවන්හලේ තමන්ගේ පුටුවට වී සීතල බීර වීදුරුවක් පානය කිරීමට කැමති බවයි.
                                  මේ නිසාම බන්ධනාගාර නිළධාරීන් වස්බි ඔහුගේ අවන්හලට රැගෙන යාමට කටයුතු කරනවා.එහිදී ඔහු නිතරම අසුන් ගන්නා පුටුවට වී වස්බි බීර වීදුරුවක් පානය කර තිබෙනවා.ඉන් අනතුරුව මරණ දඬුවම ලබා දීමට නිළධාරීන් ඔහු රැගෙන යාමට කටයුතු කරනවා.අවන්හලේ දොරටුව දක්වා පැමිණෙන වස්බි ආපසු හැරී අවන්හල දෙස බලා බිහිසුණු හඬකින් " කිසිවකට ඔහුගේ පුටුවේ වාඩිවෙන්න එපා කියලත් , එය කඩකරමින් කිසිවකු හෝ තමන්ගේ පුටුවේ වාඩිවුණොත් ඒ හැම කෙනෙක්ම අකාලයේ මියයාවි කියලත් පවසා තිබෙනවා.
                                    කොහොම වුණත්  වස්බිගේ මරණයෙන් පස්සේ කිසිම කෙනෙක් මේ පුටුවේ වාඩිවෙන්න ඉදිරිපත් වෙලා නැහැ.නමුත් දෙවන ලෝක යුද්ධ සමයේ " ස්කිප්ටන් " ගුවන් හමුදා කඳවුරේ කැනේඩියානු ගුවන් හමුදා බටයන් දෙදෙනෙක් මේ අවන්හලට එනවා.අවන්හලට වී බීර පානය කරමින් සිටින මොවුන්ට වස්බිගේ පුටුව ගැනත් මෙම ශාපය ගැනත් අසන්නට ලැබෙනවා.නමුත් සමච්චලයෙන් එය බැහැර කරන ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් වස්බිගේ මෙම පුටුවේ වාඩිවී තිබෙනවා.
                                පසුදින ඔවුන් දෙදෙනා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත් වෙනවා.ඉන් එක් සෙබලෙක් සුලු තුවාල ලබා දිවි ගලවා ගත්තත් වස්බිගේ ශාපලත් පුටුවේ වාඩිවූ බටයා එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.මේ සිදුවීම නිසා මිනිසුන් වස්බිගේ පුටුව ආසන්නයට යාමට පවා බියක් දක්වනවා.නිහඬව නොසිටින වස්බිගේ පුටුව නැවත වරක් ක්‍රියාත්මක වනවා.
                               මේ කිසිවක් පිළිබඳව නොදන්නා අවන්හලේ චිමිනිය පිළිසකර කිරීමට පැමිණෙන පුද්ගලයෙක් විඩාව නිවා ගැනීමේ අදහසින් මෙහි වාඩිවී තිබෙනවා.වෙහෙස නිවා ගැනීමෙන් අනතුරුව නැවතත් තම රාජකාරිය සඳහා චිමිනියට නගින ඔහු මොහොතක් ගත වීමටත් පෙර චිමිනියෙන් ඇද වැටී මිය යනවා.මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පසුව වස්බිගේ පුටුව මිනිසුන්ගෙන් ඈත් කර අවන්හලේ ගබඩා කාමරයට දැමීමට හිමිකරුවන් කටයුතු කරනවා.කාලය ගත වීමත් සමඟම සියලු දෙනාටම පුටුව පිළිබඳව අමතක වී යනවා.
                                 මේ අතර දිනක් අවන්හලට අවශ්‍ය භාණ්ඩ කිහිපයක් රැගෙන එන සේවකයන් දෙදෙනෙක් එම භාණ්ඩ ගබඩා කිරීමට ගබඩාවට ගොස් තිබෙනවා.විඩාව හේතුවෙන් ක්ලාන්ත තත්ත්වයක් ඇතිවන එක් සේවකයෙක් ආසන්නයේ තිබූ පුටුවේ වාඩිවෙන්නේ ඔහුගේ අසනීප තත්ත්වය හේතුවෙනුයි.නමුත් අභාග්‍ය සම්පන්න ලෙස මෙන පුද්ගලයා වාඩිවී තිබෙන්නේ වස්බිගේ ශාපලත් පුටුව මතයි.කෙසේවෙතත් මෙම සේවකයා අවන්හලෙන් පිටවීමට සූදානම් වන අවස්ථාවේ හෘද්‍යාබාදයක් හේතුවෙන් ඳ වැටී මිය යනවා.
                                  මේ හේතුවෙන් අමතකව ගොස් තිබූ පුටුව සම්බන්ධ බිය නැවතත් මිනිසුන් අතරට පැමිණෙනවා.මිනිසුන්ගේ දෙගුණ තෙගුණ වූ බිය නිසාම එවකට අවන්හලේ හිමිකරු විසින් මෙම පුටුව තර්ස් ගම්මානයේ කෞතුකාගාරයට භාරදෙනවා.නමුත් ශාපය තවදුරටත් මෙම පුටුව වටා රැඳෙමින් ගොදුරුවලට ඉව අල්ලමින් සිටිනවා.
                                  කෞතුකාගාරය තුළදීත් මේ පුටුවෙන් ප්‍රවේසම් වීමට සැම දෙනාම වැඩි සැළකිල්ලක් යොමු කර තිබුණා.නමුත් අවාසනාවන්ත ලෙස කෞතුකාගාරයේ සේවිකාවක් භාණ්ඩ පිරිසිදු කරමින් සිටින අතරතුර පය පැකිලීමක් නිසා ඉබේම මෙම පුටුව මත වාඩි වී තිබෙනවා.මේ නිසා මහත් බියට පත්වන ඇය කෙතරම් ප්‍රවේශම් වුවත් උඩු මහලේදී නැවතත් පය පැටලී ඇද වැටීමෙන් මිය යනවා.සිදු වූ අවාසනාවන්ත සිදුවීම් සැළකිල්ලට ගන්නා කෞතුකාගාර පාලන අධිකාරිය කිසිවකුට හෝ අත්වැරදීමකින්වත් වාඩිවිය නොහැකි අන්දමට පුටුව පොළව මට්ටමින් ඉහළ රඳවා තැබීමට තීරණය කර තිබෙනවා.
                                   පුටුව වටා ක්‍රියාත්මක වූ ශාපය අවසන් දැයි නිවැරදිවම පැවසිය නොහැකි වුවත් එංගලන්තයේ තර්ස් ප්‍රදේශයේ සංචාරයක නිරතවනවා නම් ඔබටත් මෙම කෞතුකාගාරය තුළදී පොළවට අඩි 05ක් පමණ ඉහළින් රඳවා ඇති මෙම පුටුව දැක ගැනීමේ හැකියාව පවතිනවා.ඇත්තටම මේ මිනිස්සු මැරුණේ පුටුවේ වාඩි වුණ නිසාද?නැතහොත් මේ සියල්ලම අහඹු සිදුවීම්ද?

1 comment:

  1. ඒ පුටුවෙ ඉඉදගෙන බලන්න මටත් ආසයි ඒ වුනාට 😢

    ReplyDelete