ලෝකය වටා වගේම තමන්ගේ රට තුළ සංචාරය කරන්නත් බොහෝ දෙනා කැමැත්තක් දක්වනවා.එකිනෙකට වෙනස් පරිසර , ප්රදේශ කරා ඇදී යමින් මොවුන් තම ජීවිතයට බොහොමයක් අත්දැකීම් එක්කර ගන්නවා.නමුත් සෑම දිනකම එකම වේලාවක නිවසින් පිටවී මුලු ජීවිත කාලය පුරාම එකම ගමන් මාර්ගයක ගමන් කිරීමට කැමති පුද්ගලයකු සිටිය හැකිද?අද අපි ඔබට කියන්නේ එවන් විශ්මිත පුද්ගලයකු පිළිබඳවයි.
1857 වසරේ වෙස්චෙස්ටර් නගරයට විශාල සිරුරක් ඇති අමුතු පෙනුමක් සහිත පුද්ගලයකු පැමිණෙනවා.ඔහු හැඳ සිටියේ සරල මැහුම්වලින් මසා තිබුණු ලෙදර් කබායක් සහ ලෙදර්වලින්ම කළ කලිසමක් , සපත්තු සහ තොප්පියක්.වැඩි කතාබහකට අකමැති ඔහු පැමිණි ප්රදේශය හෝ කිසිවකු දැන සිටියේ නැහැ.මේ අමතු හැසීරීම් සහ අමුතු පෙනුම නිසාම මිනිසුන්ට ඔහු අමුතු අද්භූත පුද්ගලයකු ලෙස පෙනුණා.කෙසේවෙතත් ඔහුගේ ලෙදර් ඇඳුම් නිසා මේ පුද්ගලයා " ලෙදර් මිනිසා " ලෙස හැඳින්වීමට මිනිසුන් හුරු වී තිබුණා.ලෙදර් මිනිසා පිළිබඳව මිනිසුන් දැන සිටි එකම කරුණ වුණේ ඔහු සෑම විටකම නිශ්චිත ගමන් මාර්ගයක ගමන් කරන බව පමණයි.මේ ආකාරයට ඔහු කිලෝමීටර් 587ක නිශ්චිත ගමන් මාර්ගයක දින 34ක් තුළ ගමන් කරනවා.ඒ වගේම අධික උණුසුම් ගිම්හාන දිනකදීවත් වෙනස් නොකරන ඔහුගේ මෙම සම්පූර්ණ ඇඳුම් කට්ටලයේ බර කිලෝග්රෑම් 27ක් පමණ වූ බවටත් සැලකෙනවා.වසර ගණනාවක් පුරා නගර 40ට වැඩි ගණනක් හරහා වැටුණු ගමන් මාර්ගයක ගමන් කළ ඔහුගේ කාලය ද ඉතාමත් නිවැරදි වූ නිසා මිනිසුන් ඔහුගේ පැමිණීම අනුව කාලය හඳුනා ගැනීමට පවා කටයුතු කර තිබුණා.
නමුත් 1889 නියමිත දිනට ලෙදර් මිනිසා නගරයට පැමිණ තිබුණේ නැහැ.කිසිලෙසකින්වත් ඔහුගේ පැමිණීම වෙනස් නොවුණ නිසාම මිනිසුන් ඔහු පිළිබඳව සොයා බැලීමට කටයුතු කර තිබුණා.ඒ අතර මාර්තු 24 මිස්වුඩ්ස් ප්රදේශයේ ගුහාවක තිබී ලෙදර් මිනිසාගේ සිරුර සොයා ගැනෙනවා.කිසියම් අයහපත් කාලගුණික තත්ත්වයක් නිසා ගුහාවක නතරව තිබූ ඔහු අධික ලෙස දුම්කොළ භාවිතය නිසා ඇති වූ මුඛ පිළිකා තත්ත්වයකින් මියගිය බවට සොයා ගෙන තිබෙනවා.මලසිරුර පරීක්ෂා කිරීමේදී ඔහුගේ කබාය තුළ තිබී හමුවූ ප්රංශ භාෂාවෙන් රචිත යාඥා පොතක් හමුවීම නිසා ඇතැම් පිරිස් ඔහු ප්රංශ කැනේඩියානු සම්බවයක් ඇති පුද්ගලයකු බවට විශ්වාස කිරීමට පෙළඹුණත් ඔහු පිළිබඳව පැහැදිලිව සඳහන් කළ හැකි කිසිඳු තොරතුරක් සොයා ගැනීමේ හැකියාවක් ලැබී නැහැ.
කෙසේවෙතත් මරණයෙන් අනතුරුව ඔහුගේ සිරුර නිව්යෝර්ක් නගරයේ ස්පාටා සුසාන භූමිය තුළ භූමදාන කෙරුණත් 2011 වසරේදී මාර්ග සංවර්ධන කටයුත්තක් හේතුවෙන් සොහොන වෙනත් ස්ථානයකට රැගෙන යාමට සිදුවනවා.ඒ අනුව සිදුකළ කැනීමෙන් දක්නට ලැබුණු දර්ශණයෙන් සියල්ලන් මවිතයට පත්ව තිබුණා.ලෙදර් මිනිසා භූමදානය කළ ස්ථානය තුළ කිසිඳු අස්ථි කොටසක් දක්නට ලැබුණේ නැහැ.අමුතු මිනිසා අබිරහසක් කරමින් එම ස්ථානයෙන් සොයා ගැනීමට හැකිවී තිබෙන්නේ සිරුර බහා තිබූ පෙට්ටියට සවි කළ ඇණ කිහිපයක් පමණයි.2011 වසරේ මැයි 25 ඔහුගේ සොහොනේ තිබී හමු වූ ඇණ කොටස් වෙනත් පෙට්ටියක බහා වෙනත් ස්ථානයක භූමදානය කිරීමට කටයුතු කෙරුණා.
ඇත්තටම මේ මිනිසා කවුද?ඔහු එවන් නිශ්චිත මාර්ගයක නිරන්තරවම ගමන් කළේ ඇයි?තොරතුරු රැසක් හෙළිකර ගැනීමට හැකියාව තිබූ අස්ථි කොටස්වලට මොකද වුණේ?මේ සියල්ල අදටත් අබිරහසක්ම පමණයි.

Nice Article
ReplyDelete