බාල , මහලු , තරුණ වයස් භේදයකින් තොරව හැමෝම අතර ජනප්‍රිය දෙයක් තමයි කතන්දර.හයක් හතරක් නොතේරෙන පුංචි කාලේ අහපු සුරංගනා කතාවේ සිට තරුණ කාලයේ අහපු දැකපු චිත්‍රපට , පුරාවෘත්ත , ජනකතා වගේම මහලු කාලෙදි අහන්න ලැබෙන ජාතක කතා වෙනකන්ම කාලෙන් කාලෙට අපේ හිත්වලට පැමිණි චරිත බොහොමයි.මේ චරිත අතර යෝධයෝ , කුරිමිට්ටෝ , දියකිඳිරියෝ වගේ අපේ සිත් ඇද බැඳ ගත්ත නමුත් කිසි දින සියැසින් නොදුටු චරිත ප්‍රධානයි.සියැසින් නොදුටුවත් විටින් විට ලෝකයේ විවිධ ස්ථානවලින් දුටු බවට සාක්ෂි හමුවන මෙවැනි අය අතර බිග්ෆුට් කියන්නෙත් බොහොම ජනප්‍රිය කෙනෙක්.කාලෙන් කාලෙට පුවත් මවන , විස්මිත කතා තුළින් ආන්දෝලනයක් ඇති කරන , ලෝකයා විටින් විට මවිත කරන බිග්ෆුට් තමයි අද අපේ මාතෘකාව.
ජනප්‍රවාද සහ ඇසින් දුටු සාක්ෂිවලට අනුව බිග්ෆුට් කියන්නේ මිනිසුන් වගේම දෙපයින් ඇවිදින මිනිසෙක්ට වඩා උස මුළු ශරීරයම ලොම්වලින් වැසුණු ජීවියෙක්.හරියටම කියනවනම් මෙයා මිනිසෙක්ට සමාන යෝධ වානරයෙක්.ලෝකයේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන බිග්ෆුට් පිළිබඳ ජනප්‍රවාද සහ ඇසින් දුටු සාක්ෂි එක් දහස් අටසිය ගණන් දක්වාම දිව යනවා.1840 බටහිර ජාතිකයන් ඇමරිකාවට පැමිණීමත් සමඟම බිග්ෆුට් ජනප්‍රිය මාතෘකාවක් වෙලා වුණා.1958 වනතෙක්ම සෙස්කොච් නමින් හැඳින්වුණු මේ සත්ත්වයා පසුකාලීනව බිග්ෆුට් බවට පත් වෙන්නත් හරි අපූරු සිදුවීමක් පාදක වෙලා තිබෙනවා.ඇමරිකාවේ " Six River " ජාතික වනෝද්‍යානයේ ට්‍රැක්ටර් පදවන්නෙක් වන ජෙරී කෲ කියන පුද්ගලයාට දිනක් මිනිසෙක්ට සමාන නමුත් ඊටවඩා බෙහෙවින් විශාල අඩි සළකුණු කීපයක් හමුවනවා.මේක කාගේ පා සලකුණක්ද කියන ප්‍රශ්නය නිසාම එකල ජාතික පුවත්පත් පවා මේ සිදුවීම වාර්තා කර තිබෙනවා.කොහොම වුණත් මේ විදිහට වාර්තා කරපු එක්තරා පුවත්පතක් සෙස්කොච් කියන නම වෙනවට බිග්ෆුට් කියලා වාර්තා කරලා තිබුණා.විශාල පා සටහන් කිහිපයක් හේතුවෙන් ඒ විදිහට ගෙතුණු නම තමයි අද දක්වාම තවමත් භාවිත වෙන්නේ.
බිග්ෆුට් තවමත් ජීවමානව සිටිනවා කියන්න පුළුවන් විදිහේ තවත් සාක්ෂියක් 1967 ඔක්තෝම්බර් මාසේ කැලිෆෝනියාවෙන් වාර්තා වෙලා තිබෙනවා.අශ්වාරෝහකයින් දෙදෙනෙක් තම කැමරාවට හඋකර ගත් මෙම දර්ශණ වසර 50ක් පුරා ලොව පවතින් එකම බිග්ෆුට් සාක්ෂිය ලෙස ප්‍රචලිත වුවත් පසුව මෙය ව්‍යාජ රංගනයක් බව තහවුරු වනවා.
1976 වසරේදී තමයි බිග්ෆුට් සම්බන්ධ වැදගත්ම සිදුවීම වාර්තා වෙන්නේ.1976 ඇමරිකා එක්සත් ජනපදයේ වනජීවී ඒකකයේ ජීව විද්‍යාඥයන් දෙදෙනෙක් කිසියම් පරීක්ෂණයකට කැළේට ගිය අවස්ථාවක ඔවුන්ට ඉතා අමුතු ජීවියෙක් නෙත ගැටෙනවා.මෙයා ඉතාමත් උස මහත ශරීරයක් තියෙන හිසේ සිට පාද දක්වාම ලෝම වැඩුණු කෙනෙක්.ඒවගේම මෙයා කකුල් දෙකෙන් තමයි ඇවිදගෙන ගොස් තිබෙන්නේ.ටික වෙලාවක් මේ අමුතු ජීවියා දිහා බලාගෙන හිටපු මේ දෙදෙනාට එකට වැඩුණු ගස් දෙකක් මැද්දෙන් මෙයා කැලේ ඇතුළට අතුරුදන් වෙනවා දැකගන්න ලැබෙනවා.මේක දැකපු විද්‍යාඥයන් දෙදෙනා තමන් මේ ආරංචිය පීටර් බර්න් කියන විශේෂ වන ගවේෂකයෙක්ට සහ එවකට තිබුණ බිග්ෆුට් තොරතුරු මධ්‍යස්ථානයට දැනුම් දෙනවා.බර්න් මේ ස්ථානය පරික්ෂා කරද්දී අමුතු පා සටහණක් වගේම ගහේ පොත්තක හිර වෙලා තිබුණ ලෝම කැබැල්ලකුත් සොයාගන්නවා.ලෝම පරික්ෂා කරපු විද්‍යාඥයන් පවසන විදිහට මේ තිබිලා තියෙන්නේ දැනට විද්‍යාවෙන් සොයාගෙනවත් නැති සත්වයෙකුගේ ලෝම.
ඒ පරීක්ෂණ දත්ත නිසාම නිවැරදි තොරතුරක් අපේක්ෂාවෙන් බර්න් පසුව මේ ලෝම FBI වෙත යොමු කර තිබෙනවා.FBI කියන්නේ සතුන් ගැන පරීක්ෂණ කරන ආයතනයක් නොවුනත් බර්න් විශ්වාස කරනවා ඔවුන් මේ පිළිබඳව යම් පිළිතුරක් ලබා දේවි කියලා.කොහොම වුණත් පිළිතුරක් වෙනුවෙන් විශාල කාලයක් තිස්සේ බලාගෙන සිටියත් බර්න්ට කිසිම පිළිතුරක් ලැබෙන්නේ නැහැ.හැබැයි FBI එක බර්න් යවපු සාම්පලය පරීක්ෂණයට ලක් කරලත් ඉවරයි.අවසානයේ ඔහුට ඒ සම්බන්ධයෙන් පිළිතුරක් ලැබෙනවා.හැබැයි ඒ අවුරුදු 40ත් පස්සේ.
එහෙම එවලා තිබෙන වාර්තාවේ සඳහන් වෙලා තිබුණේ මේ තියෙන්නෙ මුවෙක්ගේ ලෝම කියලයි.ඒ විතරක් නෙමෙයි මේ පිළිබඳව තව දුරටත් පරීක්ෂණ කිරීමට යාමෙන් ඔබේ වටිනා කාලය නැති වෙනවා කියලත් ඔවුන් සටහන් කරලා තිබුණා.කොහොම වුණත් අදටත් ජීවතුන් අතර සිටින බර්න් නම් ඔවුන්ගේ මේ වාර්තාව පිළිගන්නේ නැහැ. ඔහු කියන්නේ FBI එක තමන්ව රැවැට්ටුවා කියලයි.බිග්ෆුට් කියන්නේ බොරුවක් නම් ඇයි FBI එක ඔවුන් වෙනුවෙන් ලිපිගොනුවක් විවෘත කරලා තිබෙන්නේ?ව්‍යාජ වාර්තා ලබා දෙමින් ඇයි බර්න් වගේ ගවේෂකයන්ව නවත්තන්න උත්සාහ කරන්නේ?
කොහොම වුණත් කාලෙන් කාලෙට වාර්තා වුණ මේ වගේ සිදුවීම් වාර්තා වුණේ අතීතයේදී පමණයි කියලා හිතනවා නම් ඒක බොහොම වැරදි ආකල්පයක්.2022 අගෝස්තු 03 දකුණු කැරොලිනා ප්‍රාන්තයේ හන්ටින් අයිලන්ඩ් රාජ්‍ය උද්‍යානයෙන් බිග්ෆුට් කෙනෙකු සතු බවට වාර්තා පළ වී තිබෙනවා.උද්‍යානයට පැමිණි අමුත්තන් තිදෙනෙක් අඩි 5 - 6ක් පමණ උස , කෙලින් ඇවිදගෙන යන , තද දුඹුරු පැහැති අඟල් 02ක් පමණ දිග රෝම සහිත සතෙක් ප්‍රදීපාගාරයෙන් පිටව යන විට දුටු බව පැවසෙනවා.
ඒ වගේම 2022 ඔක්තෝබර් 28 චිත්‍ර ශිල්පිනී සිබිලා අර්වින් තමන් සියැසින් බිග්ෆුට් කෙනෙකු දුටු බව පවසා තිබෙනවා.වනාන්තර ප්‍රදේශයක නිරීක්ෂණ කටයුත්තක නිරත වෙමින් සිටි මොහොතක අනපේක්ෂිත ලෙස ගසක වම්පසින් බිග්ෆුට් කෙනෙකුගේ ඔලුව සහ උරහිස මතුව තිබෙනවා.මේ අවස්ථාවේදී තමන් බියට පත්වූ බවත් ඒ බිග්ෆුට් හිසක් සහිත රාත්තල් 1000ක ශීතකරණයක්සේ තමන් දුටු බවත් ඔවුන් පවසා තිබෙනවා.
1990 ගණන්වල මැද භාගයේ "Matt Moneymaker " ආරම්භ කරන ලද බිග්ෆුට් ක්ෂේත්‍ර පරීක්ෂකයන්ගේ සංවිධානයට උතුරු ඇමරිකාව පුරා බිග්ෆුට් සම්බන්ධ සිදුවීම් 75,000ට අධික ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා.මෙසේ වාර්තා වූ සියලුම දර්ශන සමාලෝචනය කරන 500ට ආසන්න සමාලෝචනයන් පවසන්නේ මේ අතරින් දර්ශන 5000 - 6000ක් අතර ප්‍රමාණයක් පමණ විශ්වාසනීය බවයි.ඔවුන් පවසන ආකාරයට මෙසේ වාර්තා පැමිණි ප්‍රදේශ අතර වොෂින්ටන් , කැලිෆෝනියාව , ෆ්ලොරීඩා , ටෙක්සාස් වැනි ප්‍රදේශ ප්‍රමුඛ වෙනවා.
වඳ වෙලා ගියා කියලා එහෙමත් නැත්නම් මිත්‍යා කථාවල පමණක් සිටිනවා කියලා හිතපු යෝධ දැල්ලා , සීලකානත් මාළුවා , කඳුකර ගෝරිල්ලා , යෝධ පැන්ඩා වගේ සතුන් ගණනාවක්ම සැබෑවට ජීවත් වෙනවා කියලා තහවුරු වෙලා තිබෙන කාලයක බිග්ෆුට් සැබෑවටම ජීවත් වෙනවා වෙන්න බැරිද?බොහොමයක් රහස් තමන්ගේ රටේ ජනතාවටවත් නොදී සඟවන FBI ආයතනය මේ ගැන සැබෑ තොරතුරුත් සඟවනවාද?නැත්නම් මේක නිකම්ම නිකන්ම නිකන් ජනප්‍රවාදයක්ම විතරද?

ගොඩක් වැදගත් දෙයක් ❤️🙏
ReplyDelete👌 නියමයි
ReplyDelete🌹👌
ReplyDelete