21වැනි සියවසේ ජීවත් වන අපට තාක්ෂණය නැතිවම බැරි දෙයක් වෙලා.මොකද ඒ තරමටම තාක්ෂණය සහ මිනිසා එකට බැඳිලා හමාරයි.තාක්ෂණය කියපුවම ඉතින් යන්ත්‍ර උපකරණ විතරක් නෙවෙයි මොනතරම් නවීන මෘදුකාංග , සේවා , අලුත් සොයාගැනීම් , තවත් කොපමණක්ද?අද වෙද්දි මේ තාක්ෂණය නැතිව මොනවද කරන්න පුළුවන් කියලා හිතෙන තැනටම ලෝකය පැමිණ අවසන්.එක් දිනකට මේ තාක්ෂණික සේවා බිඳ වැටුණහොත් අපේ වැඩ කීයක්නම් අතරමඟ නවතීද?
නමුත් ලෝකය මේ තාක්ෂණික දියුණුව වෙත ළඟා වුණේ පහසු සුන්දර ගමන්මඟක නම් නොවේ.මෙය බොහෝ වැරදීම් , බාධක මැද පැමිණි තවත් බොහෝ දුර ගෙවා යා යුතු නොනිමි ගමනක්.තොරතුරු තාක්ෂණය , ගමනාගමනය , ආරක්ෂාව ආදී කුමන ක්ෂේත්‍රයක් ඔස්සේ සලකා බැලුවත් තාක්ෂණික වශයෙන් මිනිසාට ලැබෙන පහසුව නම් සුලුපටු නැහැ.කොහොම වුණත් ක්‍රමයෙන් දියුණු වෙමින් පැවති මේ තාක්ෂණික ලෝකයට ලොකු රුකුලක් ලබා දෙන්න 1998 සැප්තැම්බර් 04 ලැරී පේජ් සහ සර්ජි බ්‍රින් ආරම්භ කරපු ගූගල් මෘදුකාංගයට හැකිවුණා.ඔවුන් ස්ටැන්ෆර්ඩ් සරසවියේ සිසුන්ව සිටියදී තමන්ගේ උපාධිය වෙනුවෙන් සිදු කළ නව නිර්මාණයක් තමයි මේ මෘදුකාංගය.මෙය මේ වන විටත් ලෝකයේ ජනප්‍රියම සෙවුම් යන්ත්‍රය ලෙස ලොවපුරා ප්‍රචලිත වී අවසන්.
ගූගල් සමාගම අද වෙද්දී අපට නැතිවම බැරි සේවාවක් වෙලා.google map , google street view , google translate වගේ මෙකී නොකී සේවාවන් විශාල ප්‍රමාණයක් හරහා ඔවුන් අපේ දෑස් මානයට තවත් සමීප වෙලා තිබෙනවා.ගූගල් මැප් එක ගැන අපේ රටේ ලොකු පැහැදීමක් නැති වුණත් අනෙක් සේවාවලදී නම් ගූගල් නැතුවම බැහැ.අන්න ඒ වගේම තවත් වැදගත් ඇප් එකක් තමයි (google earth) ගූගල් අර්ත් කියන්නේ.ගූගල් අර්ත් යනුවෙන් හඳුන්වන්නේ අපිට යම් ස්ථානයක් අන්තර්ජාලය මගින් නිරීක්ෂණය කරන්න ආධාර කරන ඇප් එකක්.ඉතාමත් ජනප්‍රිය ඇප් එකක් වන මෙය ලංකාව තුළ වුවත් ඉතාමත් ජනප්‍රියයි.මෙහෙම කිව්වා කියලා ඔබ දැන් හිතන්න එපා ඔබට අවශ්‍ය සෑම ස්ථානයක්ම සෑම දෙයක්ම මේ ඔස්සේ නිරීක්ෂණය කරන්න පුළුවන් කියලා.මොකද ඒ සඳහා එවැනි අවස්ථාවක් නැහැ.මන්ද එයද ක්‍රියාත්මක වන්නේ යම් සීමාවන්ට අවනතවයි.
කොහොම වුණත් මේ ඇප් එක හරහා ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනතාවක් විවිධ නිරීක්ෂණ කටයුතු සිදු කරනවා.නමුත් මේ හරහා සිදුකර තිබෙන සමහර නිරීක්ෂණයන් ලොව පුරා ඉතාමත් ආන්දෝලනාත්මක සිදුවීම් බවට පත්වුණා.ඒත් ගූගල් සමාගම මේ පිළිබඳව කිසිඳු අදහසක් නොදක්වා , ප්‍රකාශ නිකුත් කිරීමෙන් පවා වැළකී සිටීම නම් මවිතය දනවන්නක්.ඇත්තටම මොනවද මේ ගූගල් සමාගම ගූගල් අර්ත් සම්බන්ධව රහසක් විදහට තියාගත්ත , නැත්නම් යට ගහන්න උත්සාහ කරන රහස්?ඇයි ඔවුන් එහෙම කරන්නේ?මෙතෙක් ඉදිරිපත්වී ඇති වාර්තාවන්වලට අනුව ඔවුන් මේ විදිහට ලෝකයෙන් සඟවන සිදුවීම් කිහිපයක්ම තිබෙනවා.
" Sandy Island " සිදුවීම :-
නව කැලිඩෝනියාවට බටහිර දෙසින් සාගරයේ තිබුණ දිවයිනක් තමයි " සැන්ඩි අයිලන්ඩ් " යනුවෙන් හඳුන්වන්නේ.මේ දූපත 1876 වසරේදී " Velocity " කියන ප්‍රකට ගවේෂක නෞකාව දුටු බවට වාර්තා පළ කරල තිබෙනවා.ඒ විතරක් නෙවෙයි 1908 වකවානුවක බ්‍රිතාන්‍ය නාවික වාර්තාවලත් මේ දූපත පිළිබඳ වාර්තා වී තිබෙනවා.නමුත් 1970 වසර ආසන්න වන තෙක්ම මේ දූපත කිසිවකුට සොයාගන්න නොහැකි වන නිසා නාවික වාර්තාවලින් ඉවත් කිරීමට පවා කටයුතු කර තිබුණා.බොහෝ නාවිකයන් විශ්වාස කළේ මේ දූපත ගිලී යන්නට ඇති බවයි.
නමුත් හිටි හැටියේ දිනක ගූගල් අර්ත් මගින් මේ දූපත නිරීක්ෂණය කරන්න විද්‍යාඥයන් පිරිසකට හැකියාව ලැබුණා.කාලයක් පුරාවටම සොයමින් හිටපු මේ දූපත ගූගල් අර්ත් හරහා දුටු ඕස්ට්‍රේලියානු ජාතික ගවේෂකයන් හා විද්‍යාඥයන් පිරිසක් ඒ තොරතුරු හරහා 2012 වසරේදී මේ දූපත සොයා ගියා.නමුත් ඔවුන්ට ඒක හමු වුණේ නම් නැහැ.මේ නිසා ඔවුන් ගූගල් අර්ත්වල පෙන්වන මෙම දර්ශනයන් පිළිබඳව ගූගල් සමාගමට චෝදනා කළ.ඒ පිළිබඳව සිය කණගාටුව පළ කළ ගූගල් සමාගම දූපත සහිත කොටස කළු පැහැයෙන් බොඳ කරන්න කටයුතු කළත් ඉන් පසුව මේ ගැන කිසිම වාර්තාවක් සපයන්න ඉදිරිපත් වුණේ නැහැ.
මේ සිතියම් ගත කිරීමට පෙර ඔවුන් ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප පිළිබඳව මාධ්‍යයට සඳහන් නොකිරීම විශාල ගැටළුවක්.වසර ගණනාවක සිට සිතියම්වලින් ඉවත් කළ මේ සැන්ඩි අයිලන්ඩ් දූපත ඔවුන් මේ ඇප් එකට එකතු කලේ ඇයි?ඇත්තටම මේ දූපත සැබවින්ම දිස් වෙලා තිබුණාද? නැත්නම් නිර්මාණකරුවන් කළ කුමන හෝ ආකාරයක ව්‍යාජ සිතියම් ගත කිරීමක්ද යන්න අදටත් නොවිසඳුණු පැනයක්.
" Blood Lake " සිදුවීම :-
ඉරාකයේ බැග්ඩෑඩ් ආසන්න ප්‍රදේශයක පිහිටා තිබෙන ජලය පිරුණු බිමක් තමයි " ලාගෝ වර්මෙලෝ " කියන්නේ.හරියටම කිව්වොත් මෙය පිහිටා තිබෙන්නේ ඉරාකයේ "සාද" කියන ප්‍රදේශය තුළයි.මෙය එතරම් ජනාකීර්ණ ප්‍රදේශයකුත් නොවේ.නමුත් පසුගිය දිනක මේ ජලඡ ප්‍රදේශය රතු පැහැයෙන් නැත්නම් ලේ රතු පැහැයෙන් දිස් වෙලා තිබුණා.පැහැදිලි වාර්තාවක් නොතිබුණත් දින කිහිපයක් යන තෙක්ම ගූගල් අර්ත් හරහා මෙම ප්‍රදේශය මෙලෙස තද රතු පැහැයෙන් දිස් වුණ බවයි වාර්තා වෙන්නේ.මේ ගැන අදහස් දක්වන විද්වතුන් නම් පවසා තිබුණේ මේ ආශ්‍රිත ප්‍රදේශයේ මස් සඳහා සතුන් මැරීම සිදුවන බවයි.තවත් පිරිසක් පවසා තිබුණේ මෙය ඇල්ගී විශේෂයක යම් රසායනික ප්‍රතික්‍රියාවක් නිසා සිදු වන්නට ඇති බවයි. නමුත් මෙතරම් විශාල ජල බිමක් ඉතාමත් පැහැදිලි රතු පැහැයකින් දිස් වීමට තරම් මෙවැනි ක්‍රියා හේතු නොවන බවයි බහුතර විචාරකයන් පවසා තිබුණේ.මෙවැනි දෙයක් විශාල මිනිස් සංහාරයක් නිසා සිදුවිය හැකි බවට තවත් මතයක් පළවෙලා තිබෙනවා.නමුත් ඇත්තටම මොකද වුණේ කියලා නම් කවුරුත්ම දන්නේ නැහැ.ගූගල් අර්ත් පවා මේ පිළිබඳව කිසිම අදහසක් හෝ වැඩිදුර විස්තරයක් සඳහන් කරන්නෙත් නැහැ.
සහරා කාන්තාරයෙන් මතු වුණ අද්භූත පිරමීඩ සම්බන්ධ සිදුවීම :-
සැටලයිට් ආධාරයෙන් පෘථිවියේ ඡායාරූප ලබාගෙන අධ්‍යයන කටයුතු සිදු කරන ඇමරිකානු ජාතික ගවේෂිකාවක් වන ඇන්ජෙලා මිකොල් වරක් ඊජිප්තුවේ උතුරු ප්‍රදේශයෙන් පිරමීඩ යැයි සැක කරන භූ විෂමතාවක් ගූගල් අර්ත් හරහා 2012 වසරේදී නිරීක්ෂණය කරනවා.නමුත් මේ ප්‍රදේශයේ පිරමීඩ ඇති බවට වාර්තා වෙන්නේ නැහැ.මේ නිසාම ඇගේ මේ සොයා ගැනීම විදෙස් මාධ්‍ය තුළ පවා දැඩි කතාබහට ලක්වෙනවා.ඊජිප්තුව ජනවහරේ සඳහන් තවමත් සොයාගැනීමට නොහැකි වුණ ගීසා පිරමීඩවලටත් වඩා විශාල පිරමිඩ කිහිපයක් ගැන කියවෙනවා.මේවා වැලිකතරේ සැඟවුණු අද්භූත පිරමීඩ විදිහටයි සැලකෙන්නේ.මිකොල් සොයා ගත්තේ එම පිරමීඩයයි මාධ්‍ය තුළ වාර්තා වුණත් එම ස්ථායේ එවැන්නක් නැති බව පසුව අනාවරණය වුණා.මිකොල්ගේ මේ සොයා ගැනීම අනුව අදටත් විද්‍යාවේදීන් සැඟවුණු පිරමීඩ සොයා ගවේෂණ සිදු කරනවා.ඇතැම් පිරිස් පවසන්නේ ඇය මේ විදිහට දකින්න ඇත්තේ "බට්ස්" යනුවෙන් හඳුන්වන හුදෙකලා කඳු වැටි වැනි සහරාවේ ඇති භූ විෂමතාවන් කියලයි.නමුත් මිකොල් ඇතුළු කණ්ඩායම එය තදින් ප්‍රතික්ෂේප කරනවා.මේ පිළිබඳව ගූගල් බලධාරීන් පවසා තිබෙන්නේ ඔවුන්ට මෙම ඡායාරූප සැටලයිට් හරහා ලැබෙන බව පමණයි.
උතුරු කොරියාව දකින්න නැහැ :-
උතුරු කොරියාව නම් මේ ඇප් එකෙන් දකින්න ලැබෙන්නේම නැහැ.ඒකට විශේෂ හේතුවක් පවසා නැතත් උතුරු කොරියාවේ සිදුවන මානව හිමිකම් කඩවීම්වලට විරෝධය දැක්වීමක් ලෙස මෙය සිදුකළ බවයි ගූගල් සමාගම පවසා තිබුණේ.නමුත් උතුරු කොරියාවේ දර්ශනත් චන්ද්‍රිකා හරහා ලබා ගැනීමේ හැකියාව ඔවුන්ට තිබෙනවා.මේ කොහොම වුණත් උතුරු කොරියාව මෙහි දකින්න නොලැබෙන්නේ යම්කිසි ගිවිසුමකට අනුවද යන සැකය විදෙස් මාධ්‍ය මතු කර තිබුණා.
ඇමරිකා එක්සත් ජනපදයේ ඇලෙක්සාවේ සිට මෙහෙයවන "හර්බ්" පරීක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ මූලස්ථානය , ඉරාකයේ පුරාණ බැබිලෝනියාවට අයත් ප්‍රදේශය , නෙදර්ලන්තයේ "වෝල්කෙල්" ගුවන් හමුදා කදවුර ආදී බොහොමයක් ස්ථාන වගේම මිනීමැරුම් සිදුවුණ ඇතැම් නිවෙස්වල ඉදිරිපස දර්ශණත් මේ විදිහට බොඳ කරපු ස්ථාන අතර වෙනවා.ගූගල් අර්ත් හරහා ඔබට යම් ස්ථානයක් දැක ගැනීමට නොහැකි නම් අනිවාර්යයෙන්ම එම ස්ථානය මේ විදිහට ඔවුන් සීමා කරපු ස්ථානයක් විය යුතුයි.
අබිරහසක් කිව්වම අපට එක්වරම සිහියට නැගෙන්නේ හොල්මන් , ගුප්ත අඳුරු ස්ථාන වුණත් ඒක ඇත්තටම එහෙමද කියලා නැවත සිතා බලන්න සිදුවෙලා තිබෙනවා.මොකද මේ තරම් දියුණු ලෝකයේ මිනිසාටත් තාක්ෂණයටත් පැහැදිලි කළ නොහැකි සිදුවීම් තවමත් සිදුවෙමින් පවතිනවා.රාජ්‍ය ආරක්ෂාව ආදී තත්ත්වයන්වලදී මෙවන් ක්‍රියාමාර්ග සාධාරණ වුවත් සැබැවින්ම මේවා මෙලෙස සීමා කර තිබෙන්නේ ආරක්ෂාව පිළිබඳව පැන නගින ගැටළු නිසාමද?එතකොට පිරමීඩ , ජලජ ප්‍රදේශ වගේ දේවල් ගූගල් අර්ත් සඟවන්නේ ඇයි?මේ වගේ සිදුවීම් ගැන ගූගල් සමාගම කිසිම ප්‍රකාශයක් නොකරන්නේ ඇයි?සැබෑවටම ගූගල් ලෝකෙන් මොනවාහරි සඟවනවාද?

No comments:
Post a Comment