Sunday, March 12, 2023

මිනිස් පුලුටක්වත් නැතිව මුහුදේ පාවෙමින් තිබූ ශාපලත් නෞකාව


 

                                     මුහුද කියන්නේම අපි කොයි කාගේත් සිත්වලට නිදහසක් ලබා දෙන්න පුළුවන් හරි අපූරු ස්ථානයක්. අභ්‍යාවකාශයට ගොස් නිරීක්ෂණය කළහොත් පෘථිවි පෘෂ්ඨයෙන් 70%ක් පමණ පැතිරිලා තිබෙන මේ ඉමක් කොනක් නැති සාගරය හරි අපූරුවට බලාගන්න පුළුවන්.මිනිසාගේ පැවැත්මට වගේම පෘථිවිය තුළ සිදුවන බොහොමයක් කාලගුණික හා දේශගුණික විපර්යාසවලට පවා මේ මහා සාගරය වඩාත් බලපෑම්කාරී සාධකයක් වෙනවා. අහස් යානාවන් වගේ කොයිතරම් දියුණු ප්‍රවාහන මාධ්‍ය තිබුණත් තවමත් ආහාර, ඇඳුම් පැළඳුම් , වාහන , ඉන්ධන වගේ ලෝකය පුරා අලෙවි වන බොහොමයක් වෙළඳ භාණ්ඩවලින් 90%ක් පමණ ප්‍රවාහනය සිදු කෙරෙන්නේ මුහුදු මාර්ග හරහා නැව් මගින්.මේ කරුණු කාරණා කොහොම වුණත් තවමත් සාගරය එක්ක බැඳුන කිසිවෙක් නොදන්න කරුණු බොහොමයක් මේ සාගර පත්ලේ සැඟවිලා තිබෙනවා.මොකද තවමත් මේ සාගරෙන් 80%ක් පමණ මිනිස් ගවේෂණයට ලක් වෙලා නැහැ.ඒ විතරක් නෙවෙයි මිනිසුන් මුහුදු ගමනාගමනය ආරම්භ කරපු මුල් කාලයේ ඉඳලම දිය කිදුරියන් ,මායා දූපත් ,මුහුදු රාක්ෂයන් වගේ දේවල් ගැන අමුතු කටකතා බොහොමයක් පැතිරිලා තිබුණත් ඒවා ගැන නිවැරදි තොරතුරක් අද දක්වාම වාර්තා වෙලා නැහැ.කොහොම වුණත් අද අපි මේ ලිපිය තුළින් තොරතුරු විමසන්නට බලාපොරොත්තු වන්නේ නම් එහෙම දෙයක් පිළිබඳ නොවේ.අපි අද කතා කරන්නේ මේ වෙද්දි අවුරුදු 150ට අධික කාලයක් ගෙවිලා තිබුණත් තවමත් නොවිසදුනු මේරි සෙලෙස්ටි නෞකාවේ අදහස පිළිබඳවයි.

                                ඉතිහාසයේ කියැවෙන ආකාරයට මේරි සෙලෙස්ටි කියන්නේ ආරම්භයේ ඉඳන්ම අවාසනාව උපරිමයෙන්ම අත්විඳපු නෞකාවක්.මේ නැව මුලින්ම ලියාපදිංචි කරල තිබෙන්නේ " Amazone " කියන නමින්.1861දී නෝවාස්කෝෂියා සිට ලන්ඩන් දක්වා තමයි මේ නැවේ මංගල ගමන යෑමට නියමිත වෙලා තිබුණෙ.එහෙත් අනපේක්ෂිත විදිහට නැව පිටත් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි නැවේ කපිතාන්වරයා හදිසියේම අසනීප වෙලා මිය ගිය නිසා ඒ ගමන ප්‍රමාද වී තිබෙනවා. ඉන්පසු අලුත් කපිතාන්වරයෙක් සමඟ නියමිත ගමන පිටත් වුවත් ඉංග්‍රීසිඕඩයේදී තවත් නෞකාවක ගැටිලා ඒ නැව මුහුදුබත් කරන්න මේරි සෙලෙස්ටි නැව හේතුවක් වෙනවා.තවත් මේ වගේ අවාසනාවන්ත සිදුවීම් ගණනාවකට පසුව 1867දී කුණාටුවකට හසුවෙලා බරපතළ විදියට හානි සිදුවන මේ නෞකාව හිමිකරුවන් අත්හැරලා දැමීමට , මේ නැව නිසා දිගින් දිගටම මුහුණ දීමට සිදුවුණු කරදර සහ අලාභයන් හේතුවක් වෙන්න ඇති.සුන්බුන් වූ නැව අවසානයේ ගැනුම්කරුවන් කිහිපදෙනකු අතර හුවමාරු වී අවසානයේ මේරි සෙලෙස්ටි  කියලා නම් වෙලා තිබෙනවා.
                                 මේ නැව පිළිබඳ ලෝකයේම අවධානය යොමුකරවූ ආන්දෝලනාත්මක සිදුවීම සිදු වන්නේ 1872 දෙසැම්බර් 04 වැනිදා.මේ කියන දිනයේදී ඩිගේට්‍රියා කියන කැනේඩියානු නෞකාවේ කපිතාන් ඩේවිඩ් මෝහවුස් අත්ලාන්තික් සාගරය හරහා ඇමරිකාවේ නිව්යෝර්ක් වරාය බලා යාත්‍රා කරමින් සිටියා.මේ වෙද්දී ඩිගේට්‍රියා නෞකාව තිබුණේ ඇසෝරස් නගරයට සැතපුම් 400ක් විතර දුරකින්.අත්ලාන්තික් සාගරයේ රළු ස්වභාවය මැදින් යාත්‍රා කරන නැවේ කපිතාන්ටහදිසියේම කිසිම හැලහොල්මනක් නැතිව නිශ්චලව තිබෙන නෞකාවක් දකින්න ලැබෙනවා.මේ දර්ශණයෙන් මදක් කැළඹීමට පත් වුණත් තමන් ගමන් ගන්නා මාර්ගයේ තිබෙන නිසා නැවට සමීපවී නිරීක්ෂණය කරන්න ඔහු තීරණය කරනවා.
                                    එහිදී මේ නැව හඳුනාගැනීමෙන් කපිතාන්වරයා තවත් පුදුමයට පත් වෙනවා.මොකද ඒ තිබිලා තියෙන්නේ ඔහුගේ නැව යාත්‍රා කිරීමට දවස් 08ට පමණ පෙර මත්පැන් බැරල් 1,700ක් රැගෙන නිව්යෝර්ක් නගරයෙන් පිටත් වූ මේරි සෙලෙස්ටි නැවයි.දින වකවානු අනුව මේරි සෙලෙස්ටි නැව ඒ වන විට ඉතාලිය ආසන්නයේ යාත්‍රා කළ යුතුයි.මේ නැවට සිදු වුණේ කුමක්ද කියන ප්‍රශ්නය නිසාම කපිතාන් තවත් කිහිපදෙනෙකු සමඟ මේ නැව පරික්ෂා කරනවා.කපිතාන් මෝහවුස් මේ නැව දකිද්දී ඒකෙ රුවල් පවා ඔහුට දිස් වෙන්නේ හරිම අසාමාන්‍ය විදිහට. කොහොම වුනත් නැවට ගොස් පරික්ෂා කරන ඔවුන්ට දකින්න ලැබෙන්නේ නම් හිස් බවක්ම විතරයි.කොතන හරි මේ නැවේ ගමන් කරපු අය ඇති කියන අපේක්ෂාවෙන් කොයිතරම් පරීක්ෂා කළත් කිසිම නැවියෙක් ඔවුන්ට හමුවෙන්නේ නැහැ.ඒත් ගින්නක , ගැටුමක , ප්‍රචණ්ඩ ක්‍රියාවක සලකුණක් දකින්න ලැබෙන්නෙත් නැහැ.තවදුරටත් නැව පරීක්ශා කරන ඔවුන්ට කාර්ය මණ්ඩලයේ පිරිසගේ බඩු භාණ්ඩ පවා තිබූ ආකාරයටම කුටිවල තිබෙන ආකාරයත් මාස 06ට පමණ ප්‍රමාණවත් තරම් ආහාර සහ වතුරත් නැවේ තිබිලා බව නිරීක්ෂණය වනවා.
                                     නැවට වුණ හානියක් විදිහට දකින්න ලැබිලා තිබෙන්නේ නැවේ රුවල් සහ ඒවා එකිනෙකට සම්බන්ධ කර තිබූ කඹවලට සිදුවී තිබෙන හානිය පමණයි.නැවේ අඩි දෙක තුනක පමණ ජල තට්ටුවක් පිරිලා තිබුණත් එයද අනතුරක සේයාවක් වුණේ නැහැ.නෞකාවේ තට්ටුව මැද තිබෙන ප්‍රධාන කුහරය විවෘත කර නොමැති වුවත් නැවේ දෙකලවර තිබෙන සිදුරු දෙකම ඒ වෙද්දි විවෘත වෙලා තිබිලා තියනවා.එහෙත් එතැන තිබූ මද්‍යසාර තොගයට අතවත් තියලා තිබුණේ නැහැ. එහෙනම් මෙතන මුහුදු කොල්ලකරුවන්ගේවත් , මත්ලෝලීන්ගේවත් පහරදීමක් සිදු වූ බවට පුරෝකතනය කිරීමේ හැකියාවකුත් නැහැ.නැව ගිලෙන අවදානමක තිබුනෙ නැති නිසා සැක හිතෙන කාරණයක් විදියට ඔවුන්ට දකින්න ලැබුනේ නැවේ ජීවිතාරක්ෂක බෝට්ටු වගේම  කපිතාන්වරයාගේ නාවුක උපකරණ සහ නැවේ ලියකියවිලි කිහිපයක් අතුරුදහන් වෙලා තිබීම පමණයි.නැවේ ලොග් පොතේ අවසනවරට සටහන් වෙලා තිබුණේ  නොවැම්බර් 25 උදෑසන 8.00ට යෙදූ සටහනක් පමණයි.
                                    ඒ කියන්නේ මේ සිදුවීම වෙන්න දින 10ට පෙර දවසක්.එහි තිබූ අවසන් සටහනේ සඳහන්වී තිබුනේ මේරි සෙලෙස්ටි නැවට ඇසෝසියේ සැන්ටමේරියා දූපත් දිස්වීම පිළිබඳවයි. කපිතන් මෝහවුස් සහ කාර්ය මණ්ඩලයට මේරි සෙලෙස්ටි නැව හමුවෙද්දී එය කිලෝමීටර් 750ක් විතර නැගෙනහිර දෙසට පාවෙලයි තිබිලා තියෙන්නේ.නෞකාවේ කපිතාන් බෙන්ජමින් ස්පූනබ්‍රිග්ස් , ඔහුගේ බිරිය සාරා , ඔවුන්ගේ අවුරුදු 02ක් වයස දියණිය සොෆියා වගේම කාර්ය මණ්ඩල සේවකයන් 07 දෙනකුද කිසිදු සාක්ෂියක් නැතිවම අතුරුදන් වෙලා තිබුණා.
                                කපිතන් බ්‍රිග්ස් කියන්නේ අත්දැකීම් බහුල කපිතාන්වරයෙක් වගේම මේ නැවේ සම අයිතිකරුවෙක්.නැවේ කාර්ය මණ්ඩලය තෝරා ගෙන තිබෙන්නේත් ඔහොමයි.ඒ කාර්ය මණ්ඩලය සැලකෙන්නේත් පළමු පන්තියේ නාවිකයන් විදිහටයි. සාමාන්‍යයෙන් කපිතාන්වරයෙක් නැවක් සුළු කාරණාවක් නිසා අත්හැර යන්නේ නැහැ.මේ වගේ අත්දැකීම් බහුල පළමු පන්තියේ නාවිකයන් පිරිසක් නැව යම් බරපතළ හේතුවක් නැතිව අතහැරලා දායිද?එහෙනම් සිදුවුන එතරම් බරපතළ හේතුව මොකක්ද?හෝඩුවාවක්වත් නැතුව පුද්ගලයන් 10ක් මේරි සෙලෙස්ටි නැවෙන් අතුරුදන් වුණේ කොහොමද?මේ විදිහේ ප්‍රශ්න රාශියකින් ලෝකය පුරාම පුවත්පත් , සඟරා පිරී ගියත් මෙවර නම් ඒ සෑම මාධ්‍යකටම කලින් මේ අබිරහස අධිකරණයට පැමිණෙනවා.
                                 කපිතන් මෝහවුස් තමන්ගේ ජීවිත ආරක්ෂාව ගැනවත් නොහිතා මෙය කිලෝ මීටර් 1,100ක් එපිටින් තිබුණ ජිබෝල්ටාවට රැගෙන පැමිණ තිබෙනවා.නඩු විභාගයට අදාලව විවිධ විද්‍යාඥයන් , වෛද්‍ය පරීක්ෂකයන් බොහෝ මත ඉදිරිපත් කලත් මේ හැම නිගමනයක දීම එන ගැටලුව තමයි කපිතාන් බ්‍රිග්ස් ඔහුගේ නැව විතරක් නෙවෙයි නැවේ ලොග් සටහන් පොතත් අතහැරලා දාල ගියේ ඇයි කියන ගැටලුව. නැව ගිලෙනවා කියලා සැකයක් ඔහුට ඇති වුණා නම් ඒ ගැන සටහනක් තබන්න ඔහුට ඕනෑවටත් වඩා කාලය තිබුණා. මොකද 19වැනි සියවසේ කපිතාන්වරයෙක් සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් සටහන් කරන්න අමතක කරන්නේ නැහැ.ඇත්තටම මේ නැවේ හිටිය පිරිසට මොකද වුනේ?
                                  ඉතිහාසය තුළ නැවට සම්බන්ධ වන තුන්වන කපිතාන්වරයාත් මියයාම , නිමක් නොවන සුළි කුණාටු , අනතුරු ආදී අවාසනාවන්ත හේතු රාශියක් නිසාම මේ නැව ශාපයකට ලක් වුණ නැවක් කියලත් හඳුන්වනවා.කෙසේවෙතත් නාවික ලෝකය පුරා පැතිරුණු අපරාධ , ලේ ගැලීම් , ශාප , කටකතා වගේ විශ්වාස කළ නොහැකි තරම් පුදුම සහගත කතා සමඟ විශාල අබිරහසකුත් සඟවා ගෙන මේරි සෙලෙස්ටි නෞකාව මේ වෙද්දි මුහුදු පතුලේ සදහටම සැඟවිලා අවසන්.

1 comment: