Monday, April 10, 2023

කාලතරණයේ සිහිනය සැබෑ වෙයි ?     


 

                                       කාලය කියන්නේ ආපසු හැරවිය නොහැකි අතින් අල්ලා නැවත්විය නොහැකි හරිම අපූරු දෙයක්.ලෝකයේ සිටින නොයෙක් විද්වතුන් මේ කාලය ජය ගැනීමට දරණ වෙහෙස අපමණයි.එදා සිට අද දක්වාම බොහොම කුතුහලයක් ඇති කරන කාලතරණය කළ හැකි ආකාරය සොයාගත් පුද්ගලයන් සිටින බවට හැඟෙන සාධක ඉස්මතු වන අවස්ථාද තිබෙනවා.අද ලිපිය තුළින් අප කතා කරන්නේ අතීතයේ ඡායාරූප , චිත්‍ර මගින් හෙළිදරව්වන කාලතරණය සැබෑවක් බවට හැඟෙන සාධක කිහිපයක් පිළිබඳවයි.

                                ජංගම දුරකතනය කියන්නේ වර්තමානයේ අපිට බොහොම සමීප වුණ උපකරණයක්.නමුත් මේ උපකරණය අප අතට පත් වන්නේ නම් 1992 තරම් මෑත කාලයකයි.නමුත් එක්දහස් නවසිය තිස්ගණන්වල නිර්මාණය කළ සිතුවමක ජංගම දුරකතනයක් දක්නට ලැබුණහොත් ඔබ මවිත වේවි.නමුත් එක්දහස් නවසිය තිස්ගණන්වල නිර්මාණය කළ ඇමරිකාවේ ස්වදේශික මිනිසුන් වන රතු ඉන්දියානුවන් සහ යුරෝපා ජාතිකයන් එකට සිටින සිතුවමක් තිබෙනවා.මේ සිතුවමේ එක් කෙළවරක රතු ඉන්දියානුවෙක් ජංගම දුරකතනයක් වැනි යමක් දෙස බලා සිටින ආකාරය නිරූපණයවනවා.සිතුවමකින් ඔවුන් නිර්මාණය කරන්නේ ඔවුන්ට දක්නට ලැබෙන දෙයක් නිසා මෙම දර්ශණයත් සිතුවම්කරුවා දුටු බව විශ්වාස කළ හැකියි.නමුත් එවන් අතීතයකට මෙවන් මෑත කාලීන උපකරණයක් පිවිසියේ කෙසේද යන්න ගැටළුවක්.
                                    මීළඟට අපි කතා කරන්නේ 1940 දශකයේ ලබාගත් ඉතාමත් පැරණි ඡායාරූපයක් පිළිබඳවයි.1941 වසරේ කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ තිබුණ කෞතුකාගාරයක් විවෘත කරන උත්සවයක් අතරතුර ලබාගත් ඡායාරූප අතරින් එක්තරා සුවිශේෂී ඡායාරූපයක් හමුවී තිබෙනවා.මෙම කෞතුකාගාරය විවෘත කෙරෙනතුරු බලා සිටින අනෙත් පුද්ගලයන් නිරීක්ෂණය කළහොත් ඔවුන් සියලු දෙනාම එකල ප්‍රසිද්ධ විලාසිතාවන් වන කැප් තොප්පියකින් සහ කබායකින් සැරසී සිටින ආකාරය දැක ගත හැකියි.නමුත් මේ පිරිස අතර සිටින එක් තරුණයෙක් අව් කණ්ණාඩියක් පැළඳගෙන ටී ශර්ට් එකක් ඇඳලා ඒකට උඩින් ජැකට් එකක් දමාගෙන සිටිනු දක්නට ලැබෙනවා.
                                  ඒ වගේම හොදින් ඔහුගේ අත්දෙක නිරීක්ෂණය කළහොත් ඔහුගේ අතේ කැමරාවක් තිබෙන ආකාරයක් නිරීක්ෂණය වනවා.1941 වනවිට මිනිසුන්ට අතේ රැගෙන යා හැකි කැමරා තිබුණත් මේ තරුණයා අතේ තිබෙන කැමරාවේ හැඩයට එම හැඩයන් සමාන වී නැහැ.පරීක්ෂකයන් පවසන ආකාරයට මොහුගේ අතේ තිබෙන කැමරාව මුලින්ම නිකුත් කොට තිබෙන්නේ එක්දහස් නවසිය අනූගණන්වල බව පැවසෙනවා.එවන් කැමරාවක් නිකුත් වීමට දශක 05ටත් පෙර ඡායාරූපයකට මෙම කැමරාව පැමිණියේ කෙසේද?ඒ වගේම මේ පුද්ගලයා ඇඳගෙන සිටින ටී ෂර්ට් එකේ අකුරක් මුද්‍රණය කර තිබෙන ආකාරයකුත් දිස්වනවා.එවන් මුද්‍රණ ආරම්භ කලේත් 1950 පසුව නිසා මොහු කාලතරණය කර පැමිණි පුද්ගලයෙක් බවට බොහෝදෙනා විශ්වාසය පළ කරනවා.
                                  2008 වසරේ චීනයේ පුරාණ සොහොන් ගැබක කැණීම් කටයුතු කරන පුරාවිද්‍යාඥයන්ට එහි තිබී අතේ පළඳින මුද්දක් ප්‍රමාණයේ ඔරලෝසුවක් හමුවී තිබෙනවා.මිලි මීටර් දෙකක් විතර ගණකමකට තිබිල තියන මේ ඔරලෝසුවේ වෙලාව 10.06ට නැවතිලා තිබිලා තියෙනවා.ඒ වගේම තවදුරටත් මේ පිළිබඳව කළ පරීක්ෂණවලින් විද්‍යාඥයන්ට ඔරලෝසුව පිටුපස ඉංග්‍රීසි භාෂාවෙන් " SWISS " ලෙස සටහන් වී තිබෙන ආකාරයත් දක්නට ලැබෙනවා.1848 වසරේ තමයි මේ ලෝකයේ ස්විටර්ලන්තය කියන රට නිර්මාණය වෙන්නේ.එසේනම් 1848 නිර්මාණය වූ රටක නිෂ්පාදනය කළ ඔරලෝසුවක් 1368 - 1644 අතර කාලයේ නිර්මාණය කළ සොහොන් ගැබක තිබෙන්නේ කෙසේද?
                                    සැබැවින්ම මේ උපකරණ සහ පුද්ගලයන් කාලතරණය කාලතරණය කළ පුද්ගලයන්ද?ලෝකයාට හොර රහසේ කිසියම් විද්වතුන් පිරිසක් ඊට අදාල තාක්ෂණයක් නිර්මාණය කළාද?

1 comment: