Saturday, March 11, 2023

වර්තමාන තාක්ෂණයට පවා අභියෝග කරන තුර්කියේ ඉපැරැණි භූගත ජනාවාසය


 

                                   නගරයක් කිව්වම අපේ සිතේ ඇඳෙන්නේ අහස් කුස සිඹින තට්ටු ගොඩනැගිලි , නිවාස , කාර්යබහුල මහා මාර්ග , නොනිදා එලි විහිදුවන විදුලි පහන් වැටින් සැදුම්ලත් සිතුවමක්.ලෝකය පුරා තිබෙන මෙවැනි සුවහසක් නගර අතර වෙනස්ම ආකාරයට ඉදිවුණු නගරත් නැතුවාම නොවේ.මීට වසර මිලියන ගණනාවකට පෙර නිර්මාණය වුණු මේ පෘථිවිය තුළ විවිධ කාල වකවානුවල ජීවත් වූ පුද්ගලයන් බොහොමයි.එවන් කාල වකවානු තුළ ජීවත් වුණ විශිෂ්ට ශිෂ්ටාචාරවලට අයත් නගර , දේවාල ආදී නොයෙක් මිනිස් නිර්මාණ කැණීම් තුළින් මතුව වර්තමාන ලෝකය මවිතයට පත් කරන අවස්ථා බොහොමයි.

                             ඇතැම් පීඩාකාරී අවස්ථාවලදී පොළොව අභ්‍යන්තරයෙන් සකසන ලද උමං ආධාරයෙන් ආරක්ෂිත ස්ථාන කරා පලා ගියත් , සුළු කාලසීමාවක් සැඟව සිටියත් පොළොව මතුපිට ජීවත්වීමේ හැකියාව තිබියදී මිනිසුන් පොළව අභ්‍යන්තරයේ ජීවත් වීම කෙතරම් පුදුම සහගතද?ඉතින් අද අපි මේ කියන්න යන්නේ " මායා බන්ධන " , " ලෝඩ් ඔෆ් ද රින්ග් " රූපවාහිනී කතා මාලාවන් සිහිගන්වන තට්ටු ගණන් අහස උසට ගොඩනැගිලි සාදා තිබෙන නගර අතර දකින්න ලැබෙන විශ්මිත අභිරහස් භූගත නගරයක් ගැන.

                                  තුර්කියේ නිව්සෙහීර්  පළාතේ කැපඩෝෂියා නගරයට අයත්, ඩෙරින්කූයූ කියන ප්‍රදේශයේ තමයි මේ භූගත නගරය පිහිටා තිබෙන්නේ. තුර්කියට අයත් මේ කැපඩෝෂියා ප්‍රදේශය භූගත ජනාවාස සඳහාම ප්‍රසිද්ධ වුණ ඓතිහාසික කලාපයක් වුණත් ලෝකයේ බොහෝ වටිනා දේවල සොයා ගැනීම වගේම මේ සොයා ගැනීමත් අහම්බයක්.1963 දී තුර්කි ජාතිකයකු තමන්ගේ නිවස ප්‍රතිසංස්කරණය කරමින් සිටියදී හදිසියේම එහි බිත්තියක් කඩා වැටී එම ස්ථානය සුළු ගිලා බැසීමකට ලක් වීමෙන් පසු ගලින් නිර්මාණය කළ කොරිඩෝවක් හමුවී තිබෙනවා. කිසිවෙකුත් අපේක්ෂා නොකල අන්දමින් එම කොරිඩෝව වැටී තිබුණේ වසර දහස් ගණනක් පැරණි ඩෙරින්කූයූ නම් ඉපැරණි භූගත නගරය වෙතටයි.එසේ සොයා ගැනෙන්නේ ඩෙරින්කූයූ වෙත දිවෙන පෞද්ගලික නිවාස තුළ ඇති 600ට අධික පිවිසුම් අතරින් එක් පිවිසුමක් බවට පරීක්ෂණ මගින් අනාවරණය කර ගැනෙනවා.එම සිදුවීමෙන් පසු වහාම ආරම්භ වුණු වැඩිදුර කැණීම් මගින් එතෙක් සොයාගත් විශාලම භූගත නගරය සහ තවත් භූගත රහස් නගර ගණනාවක් පිළිබඳව තොරතුරු හෙළිකර ගැනීමට පරීක්ෂකයන් සමත් වෙනවා.2014 වසරේදී නිව්සෙහීර් කලාපයට යටින් ඩෙරින්කූයූ නගරයටත් වඩා විශාල භූගත නගරයක් සොයා ගන්නා තුරුම විශාලම භූගත නගරයට හිමි ඒ ගෞරවය රඳා පවතින්නේ මෙම ඩෙරින්කූයූ නගරය සතුවයි.
                                 සත්‍ය වශයෙන්ම ඩෙරින්කූයූ භූගත නගරය මීටර් 85ක් නැතහොත් අඩි 279ක් තරම් පොළව අභ්‍යන්තරයට විහිදුණු තවත් විශාල වපසරියක පැතිර පවතින වහල් 13කින් සමන්විත සුවිසල් නගරයක්.ඇතැම් වාර්තාවලට අනුව මෙහි මහල් 18ක් තිබෙන බවටත් මහල් 05ක් තිබෙන බවටත් එකිනෙකට පරස්පර මත ඉදිරිපත්ව තිබෙනවා.නමුත් දැනට හමුවී ඇති මහල්වලට අමතරව මෙහි තවමත් කැණීම් නොකළ තට්ටු 03ක් වත් ඇති බවට පුරාවිද්‍යාඥයන් තුළ දැඩි විශ්වාසයක් පවතිනවා.කෙසේ වෙතත් එකල මෙහි මිනිසුන් 20,000ක් පමණ ජීවත්ව ඇති බවට පරීක්ෂකයන් විසින් ඉදිරිපත් කර තිබෙන වාර්තා හේතුවෙන් මෙම නගරය මහල් 05ට වැඩි සංඛ්‍යාවකින් සමන්විතව තිබෙන්නට ඇති බව නම් පැහැදිලියි.
                                   ඒ වගේම මේ ජනාවාස බොහොම නිර්මාණශීලී ආකාරයෙන් නිර්මාණය කර තිබෙනවා.ඉංජිනේරු තාක්ෂණය පිළිබඳව අල්ප මාත්‍රයක දැනුමක් නොමැති පුද්ගලයකුට වුවත් මෙම ජනාවාසය දුටු සැණින්ම එය අති දක්ෂ ඉංජිනේරු තාක්ෂණයකින් හෙබි පිරිසකගේ නිර්මාණයක් බව පසක් වෙනවා.මෙම භූගත නගරය තට්ටු වශයෙන් පමණක් නොව නිවාස සහ කාමර වශයෙන් පවා වෙන්කොට තිබෙනවා.එතකින් නොනවතින ඔවුන් මෙම ජනාවාසයේ ආහාර ගබඩා,මුළුතැන්ගෙවල්,පාසල්,දේවස්ථාන,වයින් සහ තෙල් කර්මාන්ත ශාලා ශ්වසනයට අවශ්‍ය වායුව ලබා ගැනීමට 15,000ට අධික වායු අගල් සහ භූගත ජනාවාසයේ ජල අවශ්‍යතාව වෙනුවෙන් ළිඳක් , මියයන පුද්ගලයන්ගේ අවසන් කටයුතු වෙනුවෙන් සුසාන භූමියක් පවා නිර්මාණය කර තිබීමෙන් ඔවුන් ඉංජිනේරු තාක්ෂණයට අමතරව ගෘහ නිර්මාණ ශිල්පය සහ භූගර්භ විද්‍යාව පිලිබදවත් හසල දැනුමක් සහිත වූවන් බව මනාවට පසක් වනවා. ආරක්ෂාව පිළිබඳව දැඩිව සැලකිලිමත්ව ඇති ඔවුන් විශාල තනි ගල් කුට්ටිවලින් නිර්මාණය කළ ඇතුලත සිට පමණක් චලනය කළ හැකි රෝල ගේට් ආකාරයේ ගල් දොරවල්ද නිර්මාණය කරනවා.මීටර් 55ක් විශාල වාතාශ්‍රය ලැබෙන ආකාරයට සැකසු ලිඳ මෙම රහස් නගරයේ ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා භාවිත කලත් ඔවුන් තම තාක්ෂණික දැනුම මගින් එයද සාමාන්‍ය ලෝකයට ජලය ලබා ගත නොහැකි ආකාරයට නිර්මාණය කර තිබෙනවා.ඒ විතරක් නෙවෙයි පොළොව අභ්‍යන්තරයේ සිටියත් හදිසි අවශ්‍යතාවයකදී ක්ෂණික ගැලවීමේ මාර්ගවලින් මතුපිටට පැමිණීමේ හැකියාවත් උදාකර දී තිබෙනවා.නමුත් මෙතරම් දැඩිව ආරක්ෂාව ගැන සිතමින් ඔවුන් මෙසේ සැඟවුණේ කාගෙන්ද යන්න නම් ගැටලුවක්.තාවකාලිකව ඉදි නොකළ බවට බැලූ බැල්මටම තහවුරු වන මෙම ජනාවාසවල මොවුන් දීර්ඝකාලීනව සැඟවෙන්නේ ඇයි?
                                   ඩෙරින්කූයූ පොළොව යට නගරය සැබැවින්ම හුදෙකලාවූ නගරයක් නම් නෙවෙයි.භූගතව පිහිටියත් එය කැපඩෝසියා කලාපයේම කිලෝමීටර් 09ක් පමණ දුරින් පිහිටි කේමාක්ලී නගරය සහ මෙම කලාපයෙන් සොයාගෙන ඇති තවත් භූගත නගර 200ට වඩා වැඩි ප්‍රමාණයක් සමඟ පොළොව අභ්‍යන්තරයෙන් දිවෙන උමං මාර්ගවලට සම්බන්ධ වී දැවැන්ත භූගත ජනාවාස ජාලයක් නිර්මාණය කොට තිබෙනවා.ලෝකය පුරාම හමුවුනු ලාලිබේලා (ඉතියෝපියාව), බීජිං භුගත නගරය (චීනය) , පෙට්‍රා (ජෝර්දානය) ආදී මේ ආකාරයේ භූගත ජනාවාසවල කාල නිර්ණය කරන විද්‍යාඥයන් ඒ හැම ජනාවාසයක්ම එකම කාලයකට අයත් බවට සනාථ කර තිබෙනවා.එකම කාලයක ලෝකය පුරා විවිධ ස්ථානවල ජීවත්වුණ ජනතාව මේ ආකාරයට පොළොව අභ්‍යන්තරයේ ජීවත් වීමට තීරණය කළේ කුමන හේතුවක් නිසාද?
                                   ආහාර ගබඩා , ළිං සේම ජනාවාසයේ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් ගවයන්ද ඇති කර තිබෙන බවට සාධක මෙහි දක්නට ලැබෙනවා. තමන් මෙතරම් විශාල පරිශ්‍රමයක් දරමින් නිර්මාණය කළ ජනාවාසයට ගවයන් ගෙනයෑම පුදුම සහගතයි.වර්තමානයේ පවා නිවසට සෑහෙන පමණක දුරින් ඉදිවන ගවගාල භූගතව ඉදිකළ ජනාවාසයටත් රැගෙන යන්නේ තමන්ගේ ඉංජිනේරු දැනුම පිළිබඳව ඔවුන් තුළ පවතින දැඩි විශ්වාසය මත විය හැකියි. ඔවුන්ගේ දැනුම කෙතරම්ද යත් ගවයන් විසින් නිපදවන දුගඳ සහ විස වායූන් අවම කිරීම සඳහා කටයුතු කරන අතරම ශීත මාස සඳහා ජීවන පරිවාරක උණුසුම් තට්ටුවක් සැපයීම සඳහා එම පශු සම්පත් මතුපිටට ආසන්න ගාල්වල තබන්නත් කටයුතු කර තිබීම විශ්මයජනකයි.
                                     තද ගතියෙන් යුක්ත ජලය නොමැති කැපඩෝසියාවේ පිහිටි පස වැනි පසක භූගත ජනාවාසයක් ඉදි කිරීම එතරම් බැරෑරුම් කටයුත්තක් නොවන බව සැබෑවක් වුවත් කඩා වැටීමට ඇති අවදානම් සහගත බවින් ඉහළ අගයක් ගන්නා ඩෙරින්කූයූවල ඇති මෘදු ලාවා මිශ්‍රිත ගිනිකඳු පාෂාණයේ භූගත නගරයක් ඉදි කිරීම නම් සැබෑම අභියෝගයක්.එම අභියෝගය දෙගුණ තෙගුණ වන්නේ මෙය විශාල මහල් ගණනාවකින් , 20,000ට අධික ජනගහණයකින් සේම කර්මාන්තශාලා සත්වගාල් ආදියෙන්ද යුක්තවන දැවැන්ත නිර්මාණයක් වීම තුළිනුයි.ඔවුන් එම අභියෝගය ජය ගැනීම සඳහා මනා ලෙස ගලින් තැනවූ ආධාරක භාවිත කර තිබෙන අතර වර්තමානයේදී පවා කිසිදු කාමරයක් කඩා නොවැටීම තුළින් ඔවුන්ගේ සාර්ථකත්වය මනාවට පිළිබිඹු වනවා.විද්‍යාඥයන්ට අනුව මෙම නිර්මාණය සිදු කිරීම සඳහා දැනට පවත්නා තාක්ෂණය පවා ප්‍රමාණවත් නොවන බවයි පැවසෙන්නේ.එසේ නම් මීට වසර දහසකට පමණ ප්‍රථම වර්තමාන තාක්ෂණයට පවා අභියෝග කරන මෙම නිර්මාණය කළේ කෙසේද? වසර දහසකට පමණ පෙර ජීවත්වූ ඔවුන්ට මෙතරම් දියුණු තාක්ෂණික දැනුමක් ලැබුණේ කාගෙන්ද?
                                      ඉන්දු - යුරෝපියානු මිනිසුන් විසින් 07-08 ශත වර්ෂවලදී ඩෙරින්කූයූ නගරය ඉදිකළ බවට සඳහන් වුවත් එය තවමත් සනාථ කිරීමට හැකියාවක් ලැබී නැහැ.භූගත ව්‍යුහයන් පිළිබඳව දැක්වෙන පැරණිම ලිඛිත මූලාශ්‍රය ලෙස සැලකෙන "Xenophe" ලේඛනයෙහි කැපඩෝසියාවේ මිනිසුන් පොළොව යට නිවෙස්වල ජීවත් වන බවත් ඔවුන් තමන් ඇති කරන සතුන් සහ ආහාර ගබඩා ආදියෙනුත් සමන්විත නවාතැන්වල සුවසේ ජීවත් වන බවත් සඳහන් කර තිබෙනවා.
                                  දීර්ඝ කාලයක් පුරා භාවිතයට ගත් මෙම අපූරු භූගත නගරය පසු කාලයකදී අතහැර දැමුනත් අවසන් වරට මෙම ගම්මානයේ මිනිසුන් වාසය කළේ කුමන කාලයේද යන්න නම් තවමත් තහවුරු කරගෙන නැහැ.නමුත් ලෝකය පුරා හමුවන මෙම භූගත ජනාවාසවලින් මෝල්ටාවේ හයිබජීම් , ඩෙරින්කූයූ , කේමාක්ලී ආදි ජනාවාස හැරුණු විට අනෙක් සියලු ජනාවාස ස්වාභාවිකව වැසී යනවාටත් වඩා නිශ්චිත කාලයකදී ස්ථිරවම වසා දැමූ බවට සාධක රැසක් හමුවනවා.තුර්කි ඉතිහාසය,පිහිටීම ,ඉන්ජිනේරු තාක්ෂණික දැනුම පිළිබඳව පිළිබඳව ගවේෂණය කරන්නට කදිම තෝතැන්නක් වූ මෙම වටිනා ස්ථානය 1969දී සංචාරකයන් සඳහා විවෘත කෙරෙනවා.වර්තමානය වන විටත් තුර්කියට පිවිසෙන ඕනෑම සංචාරකයකුගේ නෙත් සිත් පැහැර ගන්නා මෙම සංචාරක පුරවරය 1985දී යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට එක් වනවා.
                                    වර්තමානය වනවිටත් නොවිසඳුණු පැනයන් රැසක් ලෝකයා හමුවේ ඉතිරි කළ මෙම ජනාවාස සමූහය කුමන අරමුණකින් යුතුව නිර්මාණය කළාද?තමා සිදු කරන කාර්‍ය සහ තම අමුද්‍රව්‍ය  පිළිබඳ පුළුල් අවබෝධයක් තිබූ මේ විස්මිත නිර්මාණ ශිල්පියා කවුරුන්ද?මිනිසුන් විසින් කළ නිර්මාණයක් බවට සැලකුණත් ඩෙරින්කූයූ නගරයේ මෙහෙයුම් කාර්ය සිදුකළේ මනුෂ්‍ය බුද්ධිය ඉක්මවා ගිය බුද්ධිමත් වෙනත් ජීවීන් කොට්ඨාශයක්ද?වසර දහස් ගණනකට පෙර නිර්මාණය කළ ආරක්ෂිතව පැවති මෙම භූගත ශිෂ්ටාචාරය නිර්මාණය උදෙසා භාවිත කළ තාක්ෂණය පිළිබඳ වර්තමානයේදීත් මවිත වන අපට මෙම අබිරහස් කවදානම් විසඳාගත හැකි වෙයිද?    

4 comments:

  1. Nelligaleth gala ඇතුළත සැඟවුණු nagarayak තිබුණා kiyl janaprawa wala thiyenw

    ReplyDelete
  2. ජය වේවා නංගී ❤️ ඔයාගේ අකුරු කෙරුවාව හරි අපූරු යි..

    ReplyDelete