Thursday, March 9, 2023

රිසීවරයෙන් ගෙල සිරකරන ශාපලත් දුරකථන අංක !


 

                                     අපට දෛනික ජීවිතයේදී විවිධ මාතෘකාවන්, විවිධ සංසිද්ධීන් පිළිබඳ අසන්නට දකින්නට ලැබෙනවා.ඒ අතර මිනිසුන්ගේ පිළිගැනීමට ලක් නොවුණු මාතෘකාත් තිබෙනවා.ඒ වගේම ඒ බොහොමයක් පිළිබඳ විවිධ මතිමතාන්තර පවා ගොඩනැගී තිබෙනවා.ඒ අතර අසා දැක ඇතත් පූර්ව විමසීමක් හෝ අවබෝධයක් නොමැතිව කිසිසේත් අත්හදා බැලීම් නොකල යුතු මාතෘකාත් තිබෙනවා.මේ හැම දේකටම හේතුවෙලා තිබෙන්නේ මිනිසුන්ගේම විශ්වාසයන් තමයි.සමාන්‍යයෙන් මිනිසුන්ගේ විශ්වාස , මතිමතාන්තර වගේම පිළිගැනීම් කෙරෙහි ඔවුන් ජීවත් වන පරිසරය , සංස්කෘතිය සහ රට පමණක් නොව එහි භූගෝලීය සාධක පවා බලපෑම්කාරී වෙනවා.ඇතැම් රටක මිනිසුන් පිළිගන්න මත හෝ විශ්වාසයක් තවත් ජන කොට්ඨාශයකගේ හාස්‍යයට හා මතභේදයට තුඩු දීමට හේතු වන්නේද එලෙස ගොඩ නැගුණු මිනිස් විශ්වාසයන්ගේ විවිධත්වයයි.අද අපි කතා කරන්න යන්නෙත් ඒ වගේ විශාල මතභේදයකට තුඩුදුන්න මාතෘකාවක් පිලිබඳවයි.

                                  අද වනවිට ජංගම දුරකතනයක් නැති කෙනෙක් සොයා ගන්න නැති තරම්.ඒ තරමටම අද වන විට ජංගම දුරකථනය කියන්නේ අපිට බොහොම සමීප අවශ්‍යම උපකරණයක් වෙලා අවසන්.දුරක ඉන්න කෙනෙකුට කතා කරන්න , පණිවිඩයක් හුවමාරු කරගන්න වගේම රාජකාරි කටයුතු සහ අධ්‍යාපන කටයුතුත් නූතනය තුළ කේන්ද්‍රගත වෙලා තිබෙන්නේ මේ දුරකතනය සමඟයි.මේ විදිහට අපි කතා කරන්න භාවිත කරන දුරකතන අංක අතර අපේ ජීවිතයට අවදානමක් කැඳවන දුරකථන අංක තිබෙනවා කිව්වොත් ඔබ සමහර විට එක්වරම පිළිනොගනීවි.ඒත් ලෝකයේ විවිධ රටවලවලින් මේ වගේ දුරකතන අංක ගැන වාර්තා වෙලා තිබෙනවා.මේ සමහරක් අංක ඒ ඒ ප්‍රදේශවල පුරාවෘත්ත සමඟත් බැඳිලා තිබෙනව.එම අංක ඔවුන් හඳුන්වන්නේ ශාපලත් අංක ලෙසයි.එක් ඇමතුමක් හෝ ලබා ගතහොත් නැත්නම් නැත්නම් ඇමතුමක් ආවොත් බිහිසුණු ඉරණමකට මුහුණ දෙන්න සිද්ධ වෙන ලෝකය පුරා ප්‍රචලිත ශාපලත් දුරකථන අංක ගැන තමයි අද අපි කතා කරන්නේ.

0888888888 :-
                                    අටේ ඉලක්කම් නවයක් තිබෙන මේ අංකය අයිති වෙන්නේ බල්ගේරියාවේ තිබෙන දුරකථන සමාගමක් වන මොබිටෙල් කියන සමාගමටයි.වාර්තා වන විදිහට වසර 10ක කාලයක් පුරාම මේ දුරකථන අංකය භාවිත කරපු හැම කෙනාම අස්වාභාවික හේතූන් මත මිය ගිහින් තිබෙනවා.ජංගම දුරකතන අංකයක් තෝරගන්න ගියාම සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක් පහසුවෙන් මතක තියාගන්න පුළුවන් විදිහේ විශේෂ අංකයක් තෝරාගන්න උත්සාහ කරනවානේ.විශේෂ පුද්ගලයන්ටත් ඉතාම පහසුවෙන් භාවිත කරන්න පුළුවන් විදිහේ ජංගම දුරකථන අංකයක් ලබා දෙන නිසා 2000 වසරේ මොබිටෙල් සමාගම මේ අංකය මුලින්ම නිකුත් කරලා තිබෙන්නේ තමන්ගේ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වූ " වැල්ද්මීර් ග්‍රෂ්නොව් " නම් පුද්ගලයාටයි.තමන්ගේ සමාගමෙන්ම ඔහුට මේ දුන්නේ තමන්ගේ මරණ වරෙන්තුව කියලා නම් ඔහු සිහිනයකින්වත් හිතන්න නැතුව ඇති.ඒ කොහොම වුණත් දුරකථන අංකය තමන්ගේ භාවිතයට අරගෙන ටික කාලයක් යන විට අවුරුදු 48ක් වයස මේ පුද්ගලයා හදිසියේම මිය ගිහින් තිබෙනවා.වාර්තා වෙන විදිහට ඔහුගේ මරණයට හේතුවී තිබෙන්නේ හදිසියේම වැළඳුණු බොහොම දරුණු ගණයේ පිළිකාවක්.හැබැයි ටික දවසකට කලින් බොහොම නිරෝගීව හිටපු මේ පුද්ගලයාට එකපාරටම පිළිකාවක් හැදුනෙ කොහොමද කියල නම් කාටවත්ම හිතාගන්න බැරි වුණා.
                                දෙවනුව මේ අංකය හිමිවෙලා තිබෙන්නේ " කොන්ස්ටන්ටීන් දිමිත්‍රොව් " නම් මාෆියා නායකයකුටයි.නෙදර්ලන්තයේ තමන්ගේ පවුම් මිලියන 500ක් පමණ වූ මත්ද්‍රව්‍ය ජාවාරම් ව්‍යාපාරය ගැන නිරීක්ෂණයට ගිහින් සිටින විට මොහුටත් අකාලයේ මරණයට පත් වෙන්න සිදු වුණේ නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරකින්.2003 වසරේදී ඔහු වෙඩි ප්‍රහාරයට ලක් වන විටත් මේ ශාපලත් දුරකථන අංකය සහිත දුරකථනය ඔහු සතුව තිබී තිබෙනවා.
                                  මීලඟට මෙම අංකය ලැබී තිබෙන්නේ " කොන්ස්ටන්ටීන් දිෂ්ලිව් " කියන ව්‍යාපාරිකයාට.කොහොම වුණත් ඔහුටත් 2005 වසරේදී බල්ගේරියාවේ අගනුවර වන සොෆියා නගරයේ ඉන්දියානු අවන්හලක දී එල්ල වෙන කුරිරු වෙඩි පහරක්හේතුවෙන් අකාලයේ මිය යාමට සිදු වෙනවා.මේ විදිහට මේ ජංගම දුරකථන අංකය ලබා ගත්ත හැම කෙනාම අභිරහස් විදිහට අකාලේ මිය ගිහින් තිබෙනවා.කොහොම වුණත් මේ මරණ 03න් පස්සේ බල්ගේරියානු මොබිටෙල් සමාගම මේ ජංගම දුරකථන අංකය මිනිස්සුන්ට නොදී ඉන්න තීරණය කරනවා.ඒ විතරක් නෙවෙයි ඔවුන් මේ ගැන කිසිම දෙයක් නොකියා ප්‍රශ්නය මඟ හැරලා තිබෙනවා.තවමත් මේ අංකය කාටවත්ම දෙන්නෙ නැති නිසා කවුරු හරි කෙනෙක් මේ අංකයට ඇමතුමක් ගත්තොත් දුරකථනය ආවරණ කලාපයෙන් බැහැර වෙලා කියලා තමයි කියන්නේ.

6666666666 :-
                                   බොහොමයක් රටවල්වල " 666 " කියන්නේ යක්ෂයාට වෙන්වුණ අංකයක් කියලා විශ්වාසයක් පවතිනවා.එහෙම බැලුවොත් නම් ඉතින් මේක කොහොමත් භයානක අංකයක් වෙන්න ඕනනේ.වසර ගණනාවක් තිස්සේ ලෝකය පුරා පුද්ගලයන්ට මේ අංකවලින් භයානක පණිවිඩ ලැබෙනවා කියලා තමයි කියවෙන්නේ.මේ විදිහට ලැබෙන එකම ඇමතුමක්වත් " Call Log " වල එහෙමත් නැත්නම් " Phone Bill " වලවත් සටහන් වෙන්නේ නැහැ.
                                    දිනක් එවැනි බොහොම භයානක අවස්ථාවකට නොහිතපු මොහොතකදී මුහුණ දෙන්න එක්තරා තරුණ පිරිසකට සිදුවෙනවා.රාත්‍රී කාලයේ යහළුවන් කිහිපදෙනෙකුත් සමඟ මෝටර් රථයෙන් ගමනක් යමින් සිටින විට තමයි ඔවුන්ගෙන් කෙනෙක්ට මේ ඇමතුම ලැබිලා තිබෙන්නේ." 6 "  කියන්නේ යක්ෂයාගේ අංකය කියලා විශ්වාස කරන මේ පුද්ගලයා ඒ ආව දුරකතන ඇමතුමට සම්බන්ධ වෙලා නැහැ.ඒ ගැන යාලුවන්ට පැවසූ විට යකෙක් අපායෙ ඉඳන් කොහොමද ඔයාට කතා කරන්නේ කියලා අර යාළුවට හොඳටම විහිළු කරලා තිබෙනවා.
                                  ඉන් ටික වෙලාවකට පසු අර අංකයෙන් එන වොයිස් මේල් එක ඔවුන්ට තමන් අහපු පරණම වොයිස් මේල් එක අහන්න අවස්ථාව ලබා දෙනවා. වොයිස් මේල් එකක් වුණත් මේකේ කිසි දෙයක් තිබිලා නැහැ.තිබිලා තියෙන්නේ හිස් ශබ්දයක් විතරයි.ඔවුන් කියන විදිහට ඒක රෙකෝඩ් කරපු තැන පුදුමාකාර නිස්කලංක බවක් තිබෙන තැනක්.නමුත් ඒක මේ ලෝකයේ තිබෙන තැනක් නම් වෙන්න බැහැ.ඒකෙ කිසි දෙයක් නැති වුණාට ඒක අහන ඕනම කෙනෙක් බයවෙනවා.හේතුව නිශ්චිතව කියන්න බැරි වුණත් ඔවුනුත් මේ වෙලාවේ සෑහෙන්න බය වෙලා තිබෙනවා.ඒ කොයිතරම්ද කියනවා නම් පැය කිහිපයක් යනතුරුම කතා කරගන්න පුලුවන් වෙලා තිබෙන්නෙත් වචන කිහිපයක් පමණයි.කොහොම වුණත් යථා තත්ත්වයට පැමිණිලා පැය 03ට විතර පස්සේ බලන විට වොයිස් මේල් එක ඔටෝ ඩිලීට් වෙලා විතරක් නෙවෙයි ආව කෝල් එකක්වත් ෆෝන් ලොග් එකේ තිබිලා නැහැ.
                                   එමෙන්ම ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ ජීවත්වෙන " ජේන් වෙස් " කියලා කාන්තාවකටත් තමන්ගෙ දරුවා බලාගෙන ගෙදරට වෙලා සිටින විට මේ අංකයෙන් ඇමතුමක් ලැබිලා තිබෙනව.ඒ මොහොතේ තිබුන කාර්යබහුලත්වය නිසා ඇයටත් මේකට ප්‍රතිචාර දක්වන්න ලැබිලා නැහැ.ඒත් ටික වෙලාවකින් තවත් දුරකථන අංක කීපයකින්ම ඇයට එකම කෙටි පණිවිඩය 48 වතාවක් ලැබිලා තිබෙනවා.
                                      ඒ ආව හැම කෙටි පණිවුඩයකම " SATAN " කියලා තමයි සටහන් වෙලා තිබිලා තියෙන්නේ.වාර්තා වෙන විදිහට ඇය නැවත ඒ අංකයට ඇමතුමක් ගත්තත් එතකොට මේ අංකය භාවිතයේ නැහැ කියලා හඬපටයක් විකාශය වෙලා තිබෙනවා.තවත් සමහරු කියන විදිහට මේ අංකයට කතා කළ විට භයානක ශබ්ද , සංඛ්‍යාත විකාශනය වෙනවා.මේ විදිහට විකාශනය වෙන සමහර සංබ්‍යාතවලට තදබල හිසරදයක් ඇති වුණ පිරිස් පවා සිටින බවයි සඳහන් වෙන්නේ.අන්න ඒ නිසාම අත්හදා බලන්නවත් මේ අංකයට ඇමතුම් ගන්න එපා කියලා තමයි ඔවුන් පවසන්නේ.

12163331810 :-
                                      මේ දුරකථන අංකය ගැන වාර්තා වෙන්නේ ඇමෙරිකාවෙන්. 2007 අවුරුද්දේ සංගීත සංදර්ශනයක් බලන්න ගිය තරුණයකුට ඒ භූමියේම තිබුණු වොෂ් රූම් එකකින් පෙන් ඩ්‍රයිව් එකක් හමු වෙනවා.කුතුහලය නිසාම තරුණයා මේක තමන්ගේ පරිගණකයට සම්බන්ධ කරලා විවෘත කරලා බලනවා.හැබැයි මේ පෙන් එකටම තිබිලා තියෙන්නේ එකම එක ශබ්ද පටිගත කිරීමක් පමණයි.මේ ශබ්ද පටිගත කිරීම මොකක්ද කියලා බලන්න හිතාගෙන ඒක විවෘත කලත් ඒකෙ තිබිලා තියෙන්නේ තණකොළ පෙත්තෙක් වගේ සතෙක් අමුතු විදිහට ලතෝනි තබන ශබ්දයක් පමණයි.
                             ඒත් මොකක්ද මේ ශබ්දය?ඇයි මේ වගේ එකක් පටිගත කරලා පෙන් ඩ්‍රයිව් එකකට දාලා තිබෙන්නේ කියන සැකය නිසා ඔහු තවදුරටත් මේක පරික්ෂා කරන්න තීරණය කරනවා.ඒ නිසා ඔහු මේ හඬ පටය තරංග විදිහට පෙන්වන උපකරණයකට දාලා බලනවා.අන්න එහෙම බලන විට තමයි ශබ්ද තරංග අතර සැඟවිලා තිබුණ මේ අංකය ඔහුට හමු වෙලා තිබෙන්නේ.මේ අංකය මෙහෙම සඟවලා තබන්න ඇත්තේ කවුද කියලා නම් අදහසක්වත් තවම නැහැ.
                                  ඒ වුණත් මේ දුරකථන අංකයට කතා කළොත් එක කාන්තාවක් බොහොම ලොකු කරදරයකට පත් වෙලා සිටින අතරතුර විශාල ආතතියකින් තමන්ගේ මවට ගත්ත විලාපයක් වගේ ඇඟ කිලිපොලා යන විදිහේ ඇමතුමක හඬ පටයක් තමයි අහන්න ලැබෙන්නේ.ඒ විදිහට මේ කාන්තාව විශාල තැතිගැන්මකින් තමන් බාර් එකක වැසිකිලියේ හැංගිලා ඉන්නවා.බාර් එක ඇතුලේ එක පුද්ගලයෙක් පිහියක් අරන් මිනිසුන්ව මරමින් සිටිනවා කියලා තමන්ගේ අම්මාට ලොකු පීඩනයකින් විස්තර කරනවා.අන්න ඒ නිසාම මේ අංකයට කතා කල බොහො දෙනා කම්පනයට වගේම බයටත් පත්වෙලා තිබෙනවා.
                             මේ ආකාරයට ලෝකයේ විවිධ ස්ථානවලින් වාර්තා වන ශාපලත් දුරකතන අංක බවට විශ්වාස කෙරෙන තවත් අංක රැසක් පිළිබඳවම වාර්තාවනවා.ඇත්තටම මෙහෙම වෙන්නේ කොහොමද?ඒක හිතාගන්න බැරි වුණත් මේ ගැන සඳහන් කරන ඇතැම් වෙබ් අඩවි කියන්නේ මේ දුරකථන අංක දුරකතන අංකවලට කතා කරලා මරණය පවා ළඟා කර ගත්ත පිරිස් සිටින නිසා විහිලුවටවත් මේ අංකවලට කතා කරලා මොකද වෙන්නේ කියලා බලන්න නම් එපා කියලයි.කොහොම වුණත් මේ වගේ තොරතුරු හෙළි කළ ඇතැම් වෙබ් අඩවිවලට අදහස් පළ කළ බොහොමයක් දෙනා මේ තොරතුරු හාස්‍යට ලක් කරලා තිබෙනවාත් දැක ගන්න පුළුවන්.එහෙත් කිසිම සාධකයක් නොමැතිව මේවන් මතයක් ජනප්‍රිය විය හැකිද යන ගැටළුවත් එහිදී නැවත අපට ඇති වනවා.ඇත්තටම මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද?මෙතරම් දියුණු තාක්ෂණයක් තිබෙන කාලයක තාක්ෂණික මෙවලමකින් මෙහෙම දෙයක් වෙන්නෙ කොහොමද?එහෙමත් නැත්නම් ලෝකයේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන මේ සිදුවීම් හාස්‍යයෙන් බැහැර කළ යුතු රැවටීමක්ද?

3 comments: