අතීතයේ සිට පැවත ආ සිරිත් විරිත් , ශාස්ත්‍රයන් මෙන්ම නොයෙක් ආකාරයේ අපූරු පුරාවෘත්ත සහ මතවාද රාශියක්ද අප ලෝකයේ අදටත් අසන්නට ලැබෙනවා.දැනට ලෝකයා පිළිගන්නා මතවාදයන් වගේම තවමත් පැහැදිලි කරගන්න හැකියාවක් නොලැබුණු අද්භූත කතන්දර රැසක්ද මේ පුරාවෘත්ත අතරම තිබෙනවා.ලෝකය පුරා තවමත් වරින්වර ආන්දෝලනයන් ඇති කරන්න සමත් මාතෘකා වන දියකිදුරියන් , ඇත්කඳලිහිණින් වගේ මන:කල්පිත බවට විශ්වාස කරන සතුන්ගේ චිත්‍ර , ඉතිහාස කතා බොහොමයි.ඒවා අතර ප්‍රධාන තැනක් ගන්න සතෙක් තමයි මකරා කියන්නේ.මකරා කියලා කියන්නේ අපට කොහොමත් නුපුරුදු සතෙක් නම් නෙවෙයි.පුංචි කාලයේ ඇසූ සුරංගනා කතාවේ සිට වැඩිහිටි වියේදී නරඹන චිත්‍රපට දක්වාම අපට නිතර ඇස ගැටෙන සතෙක් තමයි මකරා.කොයිතරම් මේ සත්ත්වයා හුරුපුරුදුද කියනවා නම් අපට සිතෙන්නේම මකරා අපත් සමඟම තවමත් සාමාන්‍ය ලෝකයේ ජීවත්වන බවයි.මේ සතුන් තවමත් ජීවත් වෙලා ඉන්නවා කියලා විශ්වාස කරන පිරිසක් වගේම මේවා මන:කල්පිත කතා කියල බැහැර කරන පිරිසකුත් අප අතරම සිටිනවා.කොහොම වුණත් බොහෝ දෙනකුගේ පිළිගැනීම අනුව මකරා කියන්නේ මන:කල්පිත සතෙක්.ඒත් ඒක ඒ ආකාරයෙන්ම පිළිනොගන්න බලපාන හේතුද නැතුවම නොවේ.කොහොම වුණත් මෙයා අතීතයේ පටන් අද දක්වාම විශාල කතාබහකට ලක්වුණ බොහොම ජනප්‍රිය , ආකර්ෂණීය සතෙක් බැව් නම් පැවසිය යුතුමයි.
මකරුන් කියන්නේ ඉතිහාසය පුරාම පාද සහිත පියාඹන්න පුළුවන් සර්පයකුගේ ස්වරූපයක් සහිතව පුරාවෘත්තයක් විදිහට අනාදිමත් කාලයක පටන් ලෝක ඉතිහාසය පුරාම ගමන් කරන සතෙක්.මොවුන් යුරෝපීය මකරුන් සහ ආසියාතික මකරුන් විදිහට කොටස් දෙකකට විකාශය වෙලා තිබෙනවා. යුරෝපීය මකර මෘග සතෙක් විදිහට සඳහන් වුණත් ආසියාතික මකරා ගැන පුරාවෘත්තවල සඳහන් වන්නේ නම් බොහොම බුද්ධිමත් සත්ත්ව කොට්ඨාසයක් විදිහටයි.වාග් විද්‍යාඥයන් පවසන ආකාරයට 13වැනි සියවසේ දී පමණ පැරණි ප්‍රංශ භාෂාවෙන් තමයි ඉංග්‍රීසි භාෂාවට " Dragon " කියන වචනය එකතු වෙලා තිබෙන්නේ.ප්‍රංශ භාෂාවට මේ වචනය ඇවිත් තිබෙන්නේ ලතින් භාෂාවෙන්.එහි අර්ථය විශාල සර්පයා යන්නයි.ඇතැම් ආගම්වල ආධ්‍යාත්මික බලයන් නිරූපණය කරන්න වගේම තවත් රටවල්වල ස්වභාව ධර්මයේ මූලික බලයන් නිරූපණය කරන්නත් මකරුන් යොදාගෙන තිබෙනවා.ඒ වගේම ඔවුන් මිනිසුන්ට වඩා බුද්ධිමත් යම් විශ්වීය ශක්තියක් දරාගෙන සිටින සතුන් විදිහටත් සැලකෙනවා.තවත් මතයකින් කියවෙන්නේ ඔවුන් යම්කිසි බලයක් නැත්නම් වස්තුවක් ආරක්ෂා කරන්නන් පිරිසක් කියලයි.ඒ වගේම මකරුන්ගේ රුධිරය ඉතාමත් ප්‍රයෝජනවත් විදිහටත් , භයානක විෂක් විදියටත් භාවිත කළ හැකි බව මධ්‍යකාලීන යුරෝපා පුරාවෘත්තවල දැක්වෙනවා.ජර්මානු පුරාවෘත්තවලට අනුව මකර ලේ ඇඟ ගැල්වීමෙන් නොපෙනී ඉන්නත් , එහෙමත් නැත්නම් ශක්තිමත් ආවරණයක් විදියට යොදා ගන්නත් හැකියාව තිබෙනවා.තවමත් සංයුතිය පිළිබඳ නිවැරදිව තහවුරු කර කරගත නොහැකි වුණු ලොකයේ ශක්තිමත්ම වානේ විදිහට සැලකෙන ඩැමස්කස් වානේ නිර්මාණය කරන්නත් මේ මකර රුධිරය යොදාගෙන තිබෙන බව ජනප්‍රවාදවල සඳහන් වනවා.
චීන ජාතිකයන් සඳහා චීන මකරා බලය , ශක්තිය , ධනය , වාසනාව , සාමය සහ සමෘද්ධිය නියෝජනය කරන නිසා ඔවුන්ගේ සංස්කෘතිය තුළ මකරා ගෞරවයට වගේම පූජනීයත්වයට පත්ව තිබෙනවා. ක්‍රි : පූ : 16 වැනි සියවසේ " ෂැං " සහ " සූ " නම් රාජ වංශවලදී මකරුන් සම්බන්ධ ඉහළ පිළිගැනීමක් තිබී ඇති බව කියවෙනවා.කොහොම වුණත් මකරතොරණ හැර මෙරට සාහිත්‍යය තුළ නම් මකරුන් ගැන විශේෂ කරුණු අන්තර්ගත වී නොමැති තරම්.
පුරාණ ලියකියවිලි , බිතුසිතුවම් ආදියට අනුව 13 වැනි ශතවර්ෂයේ තමයි මේ මකරා කියලා සතෙක් පිළිබඳ මිනිසා අතර කතාබහක් ප්‍රචලිත වී තිබෙන්නේ.මෙසපොතේමියානු ශිෂ්ටාචායේ තමයි මුලින්ම මේ ගැන සඳහන් වෙලා තිබෙන්නේ.මකරු ගැන පමණක් නොව මොවුන් දියකිදුරියන් පිළිබඳ පවා සඳහන් කර තිබෙනවා.මේ ශිෂ්ටාචාරයේ බිතුසිතුවම්වල මෙයාල මකරෙක්ව ඇඳලා තිබෙනවා.ඉතින් නොදැකපු සතෙක්ව කොහොමද මෙයාල අඳින්නේ?අන්න ඒ ප්රශ්නය නිසාම ඒ කාලයේ මකරුන් ජීවත්ව සිටින්නට ඇතැයි කියා බොහෝදෙනා විශ්වාස කරනවා.
නමුත් මෙතැනදී පැන නගින එක් ගැටලුවක් තිබෙනවා. මෙසපොතේමියානු ශිෂ්ටාචායේ පරම්පරා තුනක් මකරාව ඇඳලා තිබුණද , ඒ පරම්පරා තුන ඇඳපු මකරුන් එකකට එකක් විශාල වශයෙන් වෙනස්.මුල්ම පරම්පරාව ඇඳපු මකරා පියාපත් දෙකක් සහිත කටින් ගිනිදැල් පිට වෙන සිංහයකුගේ ස්වරූපයෙන් යුත් සතෙකු ලෙසයි සිතුවම් කර තිබෙන්නේ.ඊළඟ පරම්පරාව මකරාව සිතුවම් කර ඇත්තේ කටින් ගිනිදැල් පිට කරන ගෝනුස්සකුගේ ස්වභාවය මිශ්‍ර කර ඊට පියාපත් යුගලක්ද සහිතවයි.තුන්වැනි පරම්පරාව මේ සතාව නිර්මාණය කර තිබෙන්නේ කකුල් හතරක් සහ පියාපත් දෙකක් ඇති කටින් ගිනි පිඹින පිඹුරෙක් , නැතිනම් නයෙක් වගේ සතෙකුගේ ස්වරූපයෙන්.ඉතින් මේ චිත්‍ර තුනම දෙස බැලූ විට සිතෙන්නේ මෙය එකල ජීවත් වූ මිනිසුන් මන:කල්පිතව සිතේ තිබුණ යමක් සිතුවම් කිරීමට ගත් උත්සාහයක් ලෙසයි.
ග්‍රීක ශිෂ්ටාචාරයේ වගේම ක්‍රිස්තියානි පුරාවෘත්තවලත් මේ මකරා කියන සත්වයා ගැන කතා කරලා තිබෙනවා.ඔවුන් පවසන ආකාරයට මේ සතාට මකරා කියලා නම් තබලා තිබෙන්නේ " මම කොයි වෙලාවෙත් බලාගෙන ඉන්නවා " කියන අර්ථයෙන්. එහෙම බලනකොට මකරව ඒ කාලේ මිනිස්සු දෙවියෙක් විදිහට පිළිගත්තා කියලා තර්කයකුත් තිබෙනවා.ලතින් භාෂාවෙන් ගත්තොත් මකරා කියන්නේ දිග නයෙකුට.ඉතින් ඔවුන් මේ නයාට කකුල් දෙකක් සහ පියාපත් යුගලක් ලබාදී හිතලුවක් ලෙස නිර්මාණය කර ගත්තද?
චිත්‍ර කලාව ගැන අර්ථ විවරණය කරන " රූපාවලිය " කියන සංස්කෘත ග්‍රන්ථයේ සඳහන් වන විදිහට මකර රූපයේ අඟ පසඟවලින් සත්ව කොට්ඨාස කීපයක්ම නිරූපණය වෙනවා. ඒ අනුව ඇතකුගේ හොඬවැල , සිංහයකුගේ පාද , කිඹුලෙක්ගේ දත් , වඳුරෙකුගේ ඇස් , ඌරකුගේ කන් , මාළුවෙකුගේ කඳ , ගුරුළු පියාපත් වගේම විචිත්‍ර ලියකම් ඇතුල් කරලා තමයි මේ සතා නිර්මාණය කරලා තිබෙන්නේ.
රූපාවලියේ මකරා නිර්මාණය මේ විදිහට සඳහන් වුණත් චීන මකරා නිර්මාණය වෙලා තිබෙන්නේ නම් මීට වඩා වෙනස් විදිහකට.එනම් ඉස්සන්ගේ ඇස් , මුව අං , ගව මුඛය , බල්ලාගේ නාසය , කැට්ෆිෂ් උඩුරැවුල , සිංහ පාද , සර්ප වලිගය , මාළු කොරපොතු , රාජාලි නිය විදිහටයි.
2000 වර්ෂයේදී " ඩේවිඩ් ජෝන් " නමැති ලේඛකයකු " ද ඉන්ස්ටින්ස් ඔෆ් ඩ්‍රැගන් " නම් පොතක් ලියා තිබෙනවා.ඔහුද මෙම කරුණු සියල්ල පිළිබඳවම ඔහුගේ කෘතිය ඔස්සේ සාකච්ඡා කර අවසානයේදී පවසන්නේ මේ ලෝකයේ කිසිම තැනක මකරෙක් කියලා සතෙක් ජීවත් වී නොමැති බවත් , මකරා කියන්නේ 100%ක්ම මිනිසා විසින් නිර්මාණය කරගත් සතෙක් පමණක් බවත් යන්නයි." ඒඩ්‍රියන් මේයර් " නම් ලේඛකයකු " ද ෆස්ට් ෆොසිල් හන්ටර්ස් " ලෙසින් ඒ වර්ගයේම තවත් පොතක් ලියා තිබෙනවා.ඔහු කියන විදියට මේ මකරා කියන කතාව මිනිසා උපකල්පනය කරලා තිබෙන්නේ කැණීම් කටයුතු නිසා.ගිනි කඳු ආශ්‍රිතව වගේ කැණීම් කරන කොට එකම තැන විශාල පක්ෂියෙක් , සර්පයෙක් , තවත් කකුල් හතරක සතෙක් වගේ සතුන් කීහිපදෙනෙක් යට වුණාට පස්සේ මේ ඔක්කොම ඇටසැකිලි එකතු කරලා එක සතෙක් විදිහට මිනිසා සිතා තිබෙනවා.ඔහු කියන්නේ කැණීම් කටයුතුවලදී මිනිසා මෙහෙම උපකල්පනය කරලා මකරාව නිර්මාණය කරගත්තා කියලයි.ඉතින් මේ විදිහට ලියවිලා තිබෙන පොත්පත්වලට සහ බොහෝ තර්කවලට අනුව මකරා කියලා සතෙක් මේ ලෝකේ කිසිම දවසක ජීවත් වෙලා නැති බවයි අපට අවධාරණය කෙරෙන්නේ.
ඒ මතිමතාන්තර කොහොම වුණත් 2021 අවුරුද්දේ ජූනි මාසයේ 20 වෙනිදා චීනයේ එක්තරා අමුතු සිදුවීමක් සිදුවෙනවා.චීනයේ " කොයිසෝ " නම් කඳු මුදුන පැත්තෙන් ගමන් කරන පුද්ගලයකුට මීට පෙර අසන්නට නොලැබුනු අමුතු සද්දයක් අහන්න ලැබෙනවා.මකරා කියන්නේ දෙවි කෙනෙක් කියලා විශ්වාස කරන ගම්මාන කිහිපයක් තමයි මේ ප්‍රදේශයේ තිබෙන්නේ.තමන්ට ඇහුණ මේ අමුතු ශබ්දය ගැන ගමේ පිරිස අතර කටින් කට ගිහින් මෙතනට විශාල පිරිසක් එකතු වුණා.කොච්චර විපරම් කරලා බැලුවත් මේ සද්දෙ මොකක්ද කියලා ඔවුන්ට හොයාගන්න ලැබෙන්නේ නැහැ.මකරු ගැන දැඩිව විශ්වාස කරන පිරිසක් නිසාම කොහේ හරි ඉඳන් මකරෙක් තමයි මේ කෑගහන්නේ කියලා ඔවුන් කියන්න පටන් ගන්නවා.මේ සිදුවීමත් සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වීමත් එක්ක විවිධ ප්‍රදේශවලින් මේක බලන්න පිරිස පැමිණෙනවා.හැබැයි සද්දෙ විතරමයි ඇහෙන්නේ.පැහැදිලිවම අමුතු සද්දයක් ඇහුනත් ඒ කොහෙන්ද කියලා හොයාගන්න බැහැ.මේ සද්දෙ හරියට භයානක හොල්මන් චිත්‍රපටයක පසුබිම් නාදයක් වගේ.
පසුකාලීනව කණ්ඩායමක් මේ සද්දෙ මොකක්ද කියලා හොයාගෙන ගියත් එයාලටත් ඒ ගැන හරියටම සොයා ගැනීමක් කරන්න බැරි වුණ.ඔවුන් අනුමාන කරන්නේ මේක " යෙලෝ ලයිට් බටර් ක්විල් " කියන කුරුල්ලා තමන්ගේ වර්ගයා බෝ කරන කොට පිට කරන ශබ්දයක් කියලයි.නමුත් ගම්වැසියෝ නම් කියන්නේ තමන් අනන්තවත් මේ පක්ෂීන් දැකලා තිබුණත් ඔවුන් ජීවිතේට මෙහෙම ශබ්දයක් නම් නිකුත් නොකරන බවයි.
ඉතින් මේ කුරුල්ලාගේ ශබ්දයට අනුව සාමාන්‍යයෙන් කුරුල්ලෙක් කෑගහනවා වගේ තිබුණට පිටිපස්සෙන් කවුරුහරි යටිගිරියෙන් කෑගහනවා වගේ පොඩි සද්දෙකුත් ඇහෙනවා.අන්න ඒ නිසා තමයි මේ කණ්ඩායම කියන්නේ ඒ ඇහෙන්නේ මේ කුරුල්ලාගේ ශබ්දය කියලා.ඒත් ඒ ගමේ මිනිස්සු මේක 100%ක්ම ප්‍රතික්ෂේප කරනවා.එවිට මේ කණ්ඩායම පැහැදිලි කරන්නේ කුමක් හෝ ගුහාවක් ඇතුළේ සිට මේ සතා කෑගහන අවස්ථාවකදී එහි දෝංකාරය නිසා මෙවැනි ශබ්දයක් ඇසිය හැකි බවයි.එම පැහැදිලි කිරීමද ප්‍රතික්ෂේප කරන ගමේ මිනිස්සු කියන්නේ කන්දේ කොහේ හෝ සිට මේ කෑගහන්නේ මකරකුම විය යුතු බවයි.එහෙමනම් ඇත්තටම ඒ කෑගහන්නේ මකරෙක්ද?එහෙමත් නැතිනම් පරීක්ෂණ කණ්ඩායම් කියන විදිහට සාමාන්‍ය කුරුල්ලෙක්ද?හොල්මන් චිත්‍රපටියක පසුබිම් නාදයක් තරමටම භයානක මිනිසුන් භීතියට පත් කරපු ඒ ශබ්දය කුමක්ද?
මේ ගැන චීනයේ විද්‍යාඥයන් පවා තර්ක ඉදිරිපත් කරලා තිබෙනවා.එක විද්‍යාඥයෙක් කියන විදිහට ඒ ප්‍රදේශයේ මෑතකදී සිදු වුණ භූමිකම්පාවක් නිසා පොළවේ තිබුණ පද්ධතියේ වෙනස්වීමක් නිසා මේ වගේ ශබ්දයක් පිට වෙන්න ඇති කියලා.හැබැයි මේකත් තර්කයක් විතරයි.මොකද ඔහු මේකත් සම්පූර්ණයෙන්ම තහවුරු කරලා නැහැ.කොහොම වුණත් ගම්වැසියන් මේ මතය පිළිගන්නෙත් නැහැ.ඔවුන් කියන විදිහට භූමිකම්පා කියන්නේ ඔවුන්ට අලුත් දේවල් නෙවෙයි.මොකද ඔවුන් එවැනි භූමිකම්පාවලට මීට කලිනුත් ඕනෑතරම් මූණ දීලා තිබෙනවා.ඒත් ඒ කිසිම අවස්ථාවක මේ වගේ ශබ්දයක් පොළවෙන් ඇවිත් නැහැ.ඒ නිසා ප්‍රදේශවාසීන් ඒ මතයත් එකහෙලාම බැහැර කරලා තිබෙනවා.ඉඳලා හිටලා අදටත් මේ ශබ්දය ඇහුනත් මේක මොකක්ද කියලා නිශ්චිතවම කියන්න තවමත් හැකිවෙලා නැහැ.නමුත් ප්‍රදේශවාසීන් තවමත් විශ්වාස කරන්නේ මේ කෑගහන්නෙ කන්දෙ සැඟවිලා ඉන්න මකරෙක් කියලයි.ඇත්තටම මකරෙක් ඒ කන්දේ සැඟවිලා ඉන්නවද?
2021 අවුරුද්දේ පෙබරවාරි මාසයේ එංගලන්තයේ " රැට්ලන්ට් " කියන ප්‍රදේශයේ අලුතින් කැණීම් කටයුත්තක් පටන් අරගෙන තිබෙනවා.රැට්ලන්ට් කියන ප්‍රදේශයේ විශාල වැවක් තිබිලා තියෙනවා.ඒ දවස්වල තිබුණ ඉඩෝරය නිසාම වැවේ සමහර තැන්වල පතුල මතුවෙලා තිබෙනවා.මුහුදට කිලෝමීටර් 30ක විතර දුරකින් තමයි මේ වැව පිහිටලා තිබිලා තියෙන්නේ.වැළලුණු අලුත් අතීත තොරතුරක් සොයා ගන්න අදහසින් මොවුන් මෙතන කැණීම් කටයුතු කරගෙන යනවා.මෙතන කැණීම් කටයුතු කරගෙන ගිහින් තිබෙන්නේ " ඩේවිස් " කියන පුද්ගලයාගේ ප්‍රධානත්වයෙන්. කැණීම් අතරතුර හදිසියේම ඔහු දැකලා තිබෙනවා අමුතු විදිහක දෙයක් උඩට මතුවෙනවා.ඔහු මුලින් හිතලා තිබෙන්නේ මේක මොකක් හරි පරණ ගලක් කියලා. හැබැයි ටිකක් ඒ ප්‍රදේශය සුද්ද කරලා බලනකොට සතෙක්ගේ මුහුණක හැඩයක් පේන්න අරන් තිබෙනවා.මුලදි මොහු කල්පනා කරල තියෙන්නේ අනිවාර්යෙන්ම මේක ඩයිනෝසර් ඇටසැකිල්ලක් වෙන්න ඇති කියලා.මොකද ඒ මූණ ප්‍රදේශය සාමාන්‍ය සතෙක්ගේ මුහුණක් වගේ නෙවෙයි.ඒ කියන්නේ අද කාලේ ජීවත් වන සතෙක්ගේ මුහුණට වඩා අති විශාල මුහුණක් කියන එක ඔහුට මේක භාගයක් හාරනකොටම තේරිලා තිබෙනවා.ඩයිනෝසරයෙක් කියන අදහසින් ඔහු වහාම අදාළ බලධාරීන්ට මේ ගැන දැනුවත් කරලා තිබෙනවා.ඒ නිලධාරීන් පවා හැකි ඉක්මනින් මේ ප්‍රදේශයට ඇවිත් තිබෙනවා.මේ ප්‍රදේශයම මඩවලින් වැහිලා විතරක් නෙවෙයි ඒ සතාගේ ඔලුවත් මඩවලට හිරවෙලා තමයි තිබිලා තියෙන්නේ.ඇටසැකිල්ලක් පොඩ්ඩක් වෙනස් වුණත් වෙනම සතෙක්ගේ හැඩයක් පෙන්වන්න පුළුවන් නිසා ඔවුන් මේක මාස ගාණක් තිස්සේ සුද්ද කරනවා.පස්සේ මෙයාලට ලැබෙන්නේ මෙයාල හිතපු ඩයිනෝසරයා නම් නෙවෙයි.මේක මීටර් 100ක් විතර විශාල සතෙක්ගේ ඇටසැකිල්ලක්.අවසානයේදී ඔවුන් වාර්තා කරන්නේ මේ ඉන්නේ ජලයේ ජීවත්වන මකර පවුලේ සතෙක් කියලයි.
මේ ඇටසැකිල්ලේ දිග මීටර් 10යි.හැබැයි මේ සතා මීටර් 25ක් වෙනකන් දිගට වර්ධනය වෙන්න ඉඩ තිබෙනවා කියලා පර්යේෂණවලින් මේ වෙද්දි සොයාගෙන තිබෙනවා.ඒ විතරක් නෙවෙයි මේ මකරා ජීවත් වෙලා ඉඳලා තියෙන්නේ මීට අවුරුදු කෝටි 09 - 25ත් අතර කාලයේදී කියලත් ඔවුන් සනාථ කරගෙන තිබෙනවා.එතකොට මීට අවුරුදු කෝටි 25කට කලින් මෙතරම් විශාල මකරුන් ජීවත්වෙලා ඉඳලා තිබෙනවාද?
ඒ වගේම තමයි එංගලන්තයේ කරපු කැණීම් කටයුතුවලින් එතෙක් මෙතෙක් සොයාගත් විශාලම සත්වයාගේ පොසිලයක් මේ මකර පොසිලය කියලයි වාර්තා කරලා තිබෙන්නේ.පස්සේ ඔවුන් මේ මකරාගේ ඔලුව පොඩ්ඩක් උස්සලා බලලා තියෙනවා.ඔවුන් පවසන විදිහට මේ හිස කොටස කිලෝ 100ක් විතර බරයි. හැබැයි මේක කැඩෙනසුලු දෙයක් නිසා සෑහෙන පරිස්සමින් තමයි ඔවුන් මේක කරලා තිබෙන්නේ.ඒ නිසා මේකෙ සුළු වෙනස්කම් තියෙන්නත් පුළුවන්.ඒ කියන්නේ මේ හිස මීටත් වඩා බරකින් යුක්ත වෙන්න පුළුවන්.විද්‍යාඥයන් කියන විදිහට ලඟදීම මේක මහජනතාවට නරඹන්න අවස්ථාව ලබා දෙන්නත් තීරණය කරලා තිබෙනවා.ඇත්තටම මෙයා මකරෙක්ද?එහෙනම් පුරාවෘත්ත කතා ඇත්තද?
කොහොම වුණත් මේ තේමාව ගැන විස්තර හොයාගෙන යද්දි මකරුන් සම්බන්ධ වීඩියෝ කිහිපයක්ම අන්තර්ජාලයේ සංසරණය වෙනවා දකින්න ලැබුණා.ඒ අතර මකරෙක් කියලා සාධාරණ සැකයක් ඇතිවන වීඩියෝ කිහිපයකුත් තිබුණා.ඉතින් මේ වීඩියෝ එකට අනුව අහසේ එහාට මෙහාට පියාඹන විශාල පක්ෂියෙක් දකින්න පුළුවන්.හැබැයි මේක කවදා කොහේදී වීඩියෝ කරපු එකක්ද කියලා කිසිදු නිවැරදි සටහනක් නම් නැහැ.
මකරුන් ගැන තවමත් ලෝකය කතා වෙනවා." How to train your dragon " වගේ චිත්‍රපටි බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් තිරගත වෙන්නේ මිනිසුන් තුළ තවමත් සැඟවිලා තිබෙන මකරුන් සම්බන්ධ කුතුහලය නෙවෙයිද? මිනිසා කොතරම් දියුණු විද්‍යාත්මක නවීන ලෝකයක ජීවත් වුණත් තවමත් පැරණි විශ්වාස මතවාදවලට ආදරය කරන බව තමයි ඒ තුළින් පැහැදිලි වෙන්නේ.ඉතින් මකරුන් කියලා සතුන් කොට්ඨාසයක් මේ ලෝකයේ හිටියද?නැත්නම් මේක අතීත මිනිසාගේ පරිකල්පනයන් මත නිර්මාණය වුණ පුරාවෘත්තයක්ද?

Good work akka
ReplyDeleteWow.. interesting story...
ReplyDelete