Tuesday, March 7, 2023

නවීන තාක්ෂණයට පවා අභියෝග කරන ඉපැරණි අමුතුම නිර්මාණ


 

                                     පුරාවිද්‍යාව කියන්නේ ඉමක් කොනක් නැති බොහොම පුළුල් විෂය ක්ෂේත්‍රයක්නේ.මහ පොළව විතරක් නෙවෙයි ඝන වනාන්තර , හිම කඳු , ගිනි කාෂ්ටක කාන්තාර වගේම තෙරක් නොපෙනෙන මුහුදු පතුල පවා ගවේෂණය කිරීම මේ ක්ෂේත්‍රයට අයිති වෙනවා. විශාල වෙහෙස මහන්සියක් දරලා පුරාවිද්‍යාඥයන් සොයා ගන්න නිර්මාණ අතර ඇතැම් නිර්මාණ නවීන විද්‍යාඥයන් පවා මවිතයට පත් කරන්න සමත් වෙලා තිබෙනවා.මේ නිර්මාණ අතර තිබෙන ඇතැම් නිර්මාණ තාක්ෂණික අතින් එතරම් දියුණුවක් ලබා නොතිබුණු බවට අප විශ්වාස කරන කාල වකවානුවක කොහොම නිර්මාණය කළේද යන්න මෙන්ම කුමක් සඳහා නිර්මාණය කරන්නට ඇද්ද යන්න පවා අදටත් සංශයක් එකතු කරනවා.වර්තමාන විද්‍යාඥයන් පවා විමතියට පත්කරන මේ දැනුම ඔවුන්ට සැබැවින්ම ලැබුණේ කෙසේද යන්න නම් කවරදාකවත් හෙළි වේවි යැයි සිතිය නොහැකි තරමේ විශ්මිත අභිරහසක්.වර්තමානයටත් වඩා දියුණු ශිෂ්ටාචාරයන් අතීතයේ පැවති බවට නිහඬව සාක්ෂි සපයන විශිෂ්ට නිර්මාණයන් බොහොමයක් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයන් මේ වනවිට සමත්ව තිබෙනවා.අද ලිපිය මගින් අපි කතා කරන්න සූදානම් වෙන්නේ අන්න ඒ වගේ විවිධ , විස්මිත , ගුප්ත නිර්මාණ කීපයක් ගැනයි.

ලයිකර්ගස් කුසලානය :-
                                  විවිධ තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ වර්ණය වෙනස් කළ හැකි කෝප්ප වර්ග අද අපට ඕනෑම අවස්ථාවක වෙළෙඳපොළෙන් මිලදී ගන්න පුළුවන්.ඒත් මීට අවුරුදු 1600 කට විතර කලින් මේ විදිහේ වර්ණය වෙනස් කරන කෝප්පයක් නිර්මාණය කරලා තිබෙනවා කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද?ඇත්තටම එහෙම නිර්මාණයක් පුරාවිද්‍යා කැණීම්වලදී හමුවී තිබෙනවා.මෙය හඳුන්වන්නේ ලයිකගස් කුසලානය කියලා.කුසලානය ඉස්සරහට ආලෝකයක් වැටුණු විටදී කොළ වර්ණයෙනුත් පිටුපසින් ආලෝකයක් වැටුණු විටදී රුධිරයට සමාන රතු වර්ණයෙනුත් දිස්වීම තමයි මෙහි තිබෙන විශේෂත්වය.ඒ වගේම මේකට ජලය දැමූ විට දීප්තිමත් නිල් පැහැයක් ගන්නා බවත් තෙල් පිරවූ විට රතු පැහැයක් ගන්නා බවත් විද්‍යාඥයන්ගේ සොයා ගැනීම්වලින් අනාවරණය කරගෙන තිබෙනවා.ලයිකර්ගස් කුසලානය සතු මේ අමුතුම ගුණාංග විද්‍යාඥයන් පවා ඉතා මවිතයට පත් කරන්න සමත් වුණ.මේක යම් ආකාරයක නැනෝ තාක්ෂණයක් භාවිත කරමින් නිර්මාණය කර තිබෙන බව තමයි ඔවුන් විශ්වාස කරන්නේ.ඒ නිසාම මේ කුසලානය ගැන දිගින් දිගටම පර්යේෂණ පැවැත්වුණා.1990 වසරේදී අනාවරණය වුණේ මෙය නිර්මාණය කිරීමේදී රිදී සහ රත්තරන් අංශු වීදුරුව ඇතුළට කාවද්දමින් නිර්මාණය කරලා තිබෙනවා කියලයි.අදටත් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙන මේ සුවිශේෂී කුසලානය ඇත්තටම නිර්මාණය කළේ කවුද?මේ අනර්ඝ නිමැවුම වෙනුවෙන් යොදාගත් තාක්ෂණය කුමක් විය හැකිද?එය තවමත් නොවිසඳුණු අබිරහසක්.

බැග්ඩෑඩ් බැටරි :-
                                  බැටරියක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රොනික උපාංග , වාහන එහෙමත් නැතිනම් ගෘහ නිර්මාණ උපකරණ බලගන්වන්න අද කාලයේ නැතුවම බැරි දෙයක්නේ.හැබැයි විදුලිය කියලා දෙයක් තිබෙනවා කියලවත් නොදැන සිටි යුගයක මිනිස්සු බැටරියක් නිර්මාණය කරලා තිබුණා කිව්වොත් ඔබ පිළිගන්නවාද?අන්න ඒ වගේ විශ්මිත නිර්මාණයක් තමයි " බැග්ඩෑඩ් බැටරිය " කියන්නේ.ඉතින් මේ අද්භූත මැටි බඳුන 1936දී ඉරාකයේ බැග්ඩෑඩ්වලට ආසන්නයෙන් පිහිටලා තිබෙන කුජිට්‍රාබු  කියන ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක ස්ථානයකින් තමයි සොයාගෙන තිබෙන්නේ.මේ භාජනයේ ඇස්පෝල්ට්වලින් හදපු නැවතුමක් මෙන්ම තාරවලින් ඇලවූ තඹ සිලින්ඩරයකින් වටවුණු යකඩ කූරකුත් මැද තිබෙනවා.මේ භාජනයට විනාකිරි පිරවූ විට වෝල්ට් 1.1 ක් පමණ නිපදවා තිබෙනවා.එහි ප්‍රතිඵලයක් විදිහට මේ උපාංග මේ වර්ගයේ අනෙක් වස්තූන් සමඟ ඒකාබද්ධව බැටරියක් විදිහට ක්‍රියාත්මක වෙන්න ඇති කියන පුරෝකථනයට පරීක්ෂක කණ්ඩායම් එළඹී තිබෙනවා.කොහොම වුණත් බැග්ඩෑඩ් බැටරිය සමීපව පරීක්ෂා කිරීම නම් දැනට කරන්න බැරි කාර්යයක්. මොකද ඉරාකයේ ජාතික කෞතුකාගාරයේදී මේක කොල්ලකෑමකට ලක් වෙලා තිබෙනවා.වසර 20ට ආසන්න කාලයක් වුණත් තවමත් මේ ගැන හෝඩුවාවක් නොමැති වීමත් පුදුමයට කරුණක්.

ඇන්ටිකිතෙරා :-
                                  අපේ කාලයේ තාක්ෂණික ප්‍රගතිය ගැන කතා කළොත් මඟ හරින්නම බැරි දෙයක් තමයි පරිගණකය කියන්නේ.නමුත් එයට අභියෝග කරන නිර්මාණයක් වර්ෂ 1900දී මුහුදු පතුලෙන් සොයාගෙන තිබෙන බව ඔබ දන්නවාද?වසර 2000ත් වඩා පැරැණි බවට සාගර විද්‍යාඥයන් පවසන මේ යන්ත්‍රය ඔවුන් අර්ථකථනය කරන්නේ ලෝකයේ පැරණිම යාන්ත්‍රික පරිගණකය විදිහටයි.
                                 මෙය සොයාගෙන තිබෙන්නේ ග්‍රීසිය ආසන්නයේ තිබෙන ඇන්ටිකිතෙරා කියන දූපතෙන්.කොහොම වුණත් මේ දූපත පුරාතන ඇට්ලාන්ටිස් ශිෂ්ටාචාරයට අයිති භූමියක් විදිහටත් සැලකෙනවා.අතින් ක්‍රියාත්මක කරන්න පුළුවන් එකිනෙකට සම්බන්ධ යාන්ත්‍රික රෝද 30ක් සහ තහඩු 03ක් මෙහි දක්නට ලැබෙනවා.ඇන්ටිකිතෙරා මිකෙනිසම් යන්ත්‍රයෙන් හිරු නැගීම , බැසීම ,  අවුරුද්දක ආරම්භය , අවසානය වගේම විවිධ තාරකා විද්‍යාත්මක ගණනය කිරීම් පවා කරන්න පුළුවන්.ඒ විතරක් නෙවෙයි මේ යන්ත්‍රය මගින් කෘෂිකාර්මික කටයුතු පවා වසර ගණනාවක් ඉදිරි අනාගතයට සැලසුම් කරන්න ඇති කියලත් ඔවුන් විශ්වාස කරනවා.ඉතින් ඇත්තටම මේක මොකක්ද?මේ තරම් සංකීර්ණ නිර්මාණ කරන්න අවශ්‍ය දැනුම ලැබුනේ කොහොමද?මේ පෞරාණික අභිරහස් අනාවරණය කර ගැනීමට කවදානම් අපට හැකි වේවිද?
ඩැමස්කස් වානේ :-
                                  ඩැමස්කස් වානේ කියන්නේ ඉතිහාසයේ එදා මෙදාතුර හමුවෙලා තිබෙන වඩාත් අත්භූතම දේවල්වලින් එකක් කිව්වොත් නිවැරදියි.මේවා ලෝකයෙන් මෙතෙක් හමුවුණු හොඳම වානේ විදිහටයි සැලකෙන්නේ.වාර්තාවන තොරතුරුවලට අනුව මේවා ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ යකඩ යොදාගෙන ඉන්දියාවේදී නිෂ්පාදනය කර සිරියාවේ ඩැමස්කස් අගනුවර දක්වා රැගෙන ගොස් තිබෙනවා.කඩු ආදී යුදමය ආයුධ නිෂ්පාදනයට තමයි මේ සුවිශේෂී වානේ විශේෂය යොදාගෙන තිබෙන්නේ.අලංකාර කැටයම් සහිතව නිර්මාණය කර තිබෙන මේ නිර්මාණශීලී ආයුධ පාවෙලා යන රෙදි කැබැල්ලක් පවා දෙපලු කළ හැකි විදිහේ ඉතාමත් තියුණු ආකාරයෙන් අදටත් දකින්න පුළුවන්.
                                    කොයි තරම් දියුණු තාක්ෂණයක් තිබුණත් අදටත් කිසිවකුටත් ඩැමස්කස් වානේ අනුකරණය කරලා නිර්මාණයක් කරන්න නොහැකි වීම විශාල පුදුමයක්.මේ වානේ නිෂ්පාදනය කරන්න යොදාගත්ත රහස් වට්ටෝරුව පවා අද වනවිට ලෝකයෙන් අතුරුදන්වී හමාරයි.ලෝහ පිළිබඳ විශේෂඥයන් පවා තවමත් මේ ලෝහය නිර්මාණය කල රහස් වට්ටෝරුව සොයා ගැනීමට උත්සාහ කරමින් සිටිනවා.ඔවුන් විශ්වාස කරන්නේ සාමාන්‍ය යකඩවලට ලී කොටස් , පත්‍ර වගේ ශාක කොටස් එකතු කරලා මේ අසාමාන්‍ය ආකාරයේ වානේ වර්ගය නිර්මාණය කරන්න ඇති බවයි.නමුත් ජනප්‍රවාදවලට අනුව නම් මේවා නිෂ්පාදනයට මකරුන්ගේ රුධිරය සහ බූරුවන්ගේ මුත්‍රාත් යොදාගත්ත බව තමයි කියවෙන්නේ.

ෆයිස්ටස් තැටිය :-
                                       අදටත් පුරාවිද්‍යා ගවේෂකයන්ගේ මනස අවුල් කරන්න සමත් වෙලා තිබෙන මේ පෞරාණික තැටිය බැලූ බැල්මට කෞතුක වස්තුවක් කියලත් කියන්න පුළුවන්.1908 වසරේදී සොයාගන්නා ලද මේ තැටිය වසර 4000කට පමණ පෙර මධ්‍යම ලෝකඩ යුගයේදී නිර්මාණය කරන්න ඇති කියලයි ඉතිහාසය ගවේෂණය කරන පාර්ශවයන් අනුමාන කරන්නේ.පුළුස්සන ලද මැටියෙන් නිර්මාණය කර ඇති ෆයිස්ටස් තැටියෙන් මෙතෙක් හඳුනා නොගත් භාෂාවක් නියෝජනය කරන අක්ෂර නැතිනම් සංකේත නිරූපණය කරනවා.මේක ප්‍රහේලිකාවක් වෙන්න පුළුවන් කියලත් මතයක් පවතිනවා. තවත් මතයකට අනුව මේකෙ තිබෙන භාෂාව පුරාණ ඉන්දියානු බසකට සමාන විය හැකි බවත් කියවෙනවා.කොහොම වුණත් මේක විකේතනය කරන්න තවමත් කිසිම විද්‍යාඥයකුට හැකිවෙලා නැහැ.ඇත්තටම මේක මොකක්ද මේකෙන් කියවෙන්නේ මොනවද කියන එක ගැන අදහසක්වත් තවම ලැබිලා නැහැ.

චිලීහි ඊස්ටර් දූපතේ ඇති පිළිම :-
                                        මුහුද දෙසින් අහස දෙස බලා සිටින ආකාරයෙන් නිර්මාණය කර තිබෙන විශාල ගල් රූප මීට වසර 1000ට පමණ කලින් තමයි නිර්මාණය වෙලා තිබෙන්නේ.මේ භූමියේ ජීවත් වුණු " රාපාණු " නම් ජන කොට්ඨාසයක් මේ පිළිම නිර්මාණය කළ බවයි පැවසෙන්නේ.නමුත් මේ පිළිම නිර්මාණය කළේ කෙසේද කියන කාරණයවත් නිර්මාණය කළේ කුමන අරමුණකින්ද කියන කාරණයවත් තවම සොයා ගන්න නොහැකිවීම නම් විස්මයට කරුණක්." මෝයිවරු " විදිහට තමයි මේ පිළිම හඳුන්වනු ලබන්නේ.අඩි 30ක් උස , ටොන් 14ක් ඉඳලා 80ක් තරම් බර මේ වගේ ප්‍රතිමා 1000ට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය කරන්න එදා තිබුණු තාක්ෂණය තවමත් අපැහැදිලිය.කිසියම් විදිහකට ඒ කාලේ පෘථිවියේ නොතිබුණු තාක්ෂණයක් එහෙමත් නැත්නම් තාක්ෂණික සහයක් මේ තරම් විශාල නිර්මාණ භූමියක් සකසන්න ඔවුන්ට ඉවහල් වෙන්න ඇති බව තමයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.
                                   ඒ වගේම මේ රාපාණු  ගෝත්‍රිකයන් මෙවැනි තාක්ෂණික වශයෙන් දියුණු නිර්මාණ වගේම කැටයම් නිර්මාණ රැසක් බිහි කළ ජන කොට්ඨාසයක් විදිහටත් හඳුනාගෙන තිබෙනවා.කොහොම වුණත් ගෝත්‍රික ජනකතාවලට අනුව නම් පිටසක්වල මිතුරන් රාපාණු ගෝත්‍රිකයන්ට එල්ල වන සතුරු ප්‍රහාර නවත්වන්න තමයි මේ පිළිම නිර්මාණය කරලා දීලා තිබෙන්නේ.නමුත් මේ කිසිම මතයක් සනාථ වෙලා නම් නැහැ.ඇත්තටම මේ නිර්මාණ මොනවාද?

London Hammer :-
                                    1936ට ආසන්න කාල වකවානුවක ලන්ඩන්වල එක්තරා වීදියක ඇවිදිමින් සිටි තරුණ යුවලකට තමයි මේ පුදුම හිතෙන නිර්මාණය හමුවෙලා තිබෙන්නේ.වීදියේ ඇවිදිමින් සිටි ඔවුන්ට ගලක් අතර හිර වෙලා තිබුණු ලීයක් දකින්න ලැබිලා තිබෙනවා.මේක ටිකක් වෙනස් විදිහක ලීයක් නිසා ගෙදර අරගෙන ගිහින් විවෘත කරන්න උත්සාහ කරද්දී දැකපු දෙයින් ඔවුන් පුදුමයට පත්වෙනවා.එහි තිබුණේ මිටියක්.හැබැයි මේක නිකන්ම නිකන් මිටියක් නෙවෙයි. මේ මිටිය ගැන අධ්‍යයන , පරීක්ෂණ කරලා ලැබුණු තොරතුරුවලින් එවකට විද්‍යාවේදීන් මහත් පුදුමයට පත් වුණා.මේ මිටිය වසර මිලියන 400ක් පමණ පැරණි විය යුතු බව තමයි ඒ පරීක්ෂණවලින් හෙළි වෙලා තිබෙන්නේ.ඒත් ඒ තරම් ඈත කාලයක මිනිසා බිහි වෙලාවත් තිබුනෙ නැති නිසා ඔවුන් මෙය 19 වැනි සියවසේ නිර්මාණය කරන ලද්දක් විදිහට අවසානයේදී නිගමනය කළා.මේ මිටියේ හිස කොටස සියයට 96.6ක්ම යකඩ වුණත් ඉතිරියෙන් සියයට 2.6ක්  ක්ලෝරීන් සහ සියයට 7.4ක් සල්ෆර් අඩංගු වෙලා තිබෙනවා.අන්න ඒ විදිහේ පුදුමාකාර මිශ්‍රණයකින් තමයි මේ මිටිය හදලා තිබුණේ.නමුත් සාමාන්‍යයෙන් ලෝකයේ කිසිම කම්හලක මිටියක් නිර්මාණයට මේ වගේ මූල ද්‍රව්‍ය මිශ්‍රණයක් නම් යොදාගෙන නැහැ.ඉතින් ඒ නිසාම මේ මිටිය පෘතුවියේ එකක් නෙවෙයි කියලත් බොහෝ දෙනා විශ්වාස කරනවා.ඒක එහෙමනම් අප ජීවත් වන පෘථිවියට මේ මිටිය ආවේ කොහොමද?මේ වගේ පුදුමාකාර මූලද්‍රව්‍ය මිශ්‍රණයකින් මේ නිර්මාණය කලේ කවුද?එය තවදුරටත් විශ්ලේෂකයන්ට පවා අභිරහසක්.

පේරු රාජ්‍යයේ නස්කා ලයින්ස් හා වෙනත් අද්භූත නිර්මාණ :-
                                 පේරු රාජ්‍යය කියන්නේ කොහොමත් අත්භූත සිදුවීම් වගේම විස්මය දනවන ස්ථාන සඳහා ප්‍රසිද්ධියක් උසුලන ප්‍රදේශයක්.හිරු සඳු වන්දනාවට හුරු වුණු මායා ශිෂ්ටාචාරයට අයිති ප්‍රධානම දේශයක් විදිහට තමයි පේරු රාජ්‍යය ඉතිහාසය තුළ හඳුන්වන්නේ.අහසින් පැමිණි හිරු දෙවියන්ගේ නියෝජිතයින් ගැන විස්තර පේරූ ජනකතාවල නිරන්තරවම කියවෙන දෙයක්.
                                    ඔවුන් ජනතාවට බොහෝ අවස්ථාවල උදව් කළා කියලත් ,  සතුරන් මර්දනයට පවා සහාය දුන්නා කියලත් කියවෙනවා.පේරුවල තිබෙන " ටිටිකාකා " විල කියන්නේ ලෝකයේම ප්‍රසිද්ධ විලක්.ලෝකයේ ඉහලින්ම පිහිටි විල විදිහට තමයි මේ විල සැලකෙන්නේ.පේරු සහ බොලීවියාව අතර අන්දීස් කඳු පන්තියේ මුහුදු මට්ටමේ සිට අඩි 12,500ක් තරම් උසකින් තමයි පිහිටලා තිබෙන්නේ.ටිටිකාකා කියන නමෙහි තේරුම වෙන්නේ " පනින පූමා " කියන එකයි.මේ නම ඉතා ඈත අතීතයේ සිටම භාවිත වෙලා තිබෙනවා.ඉහළ අහසේ සිට බලද්දී මේ විල දකින්න ලැබිලා තිබෙන්නේ පනින පූමා කෙනෙක්ගේ හැඩයට.වර්තමානය වෙද්දී හැඩය තරමක් වෙනස් වෙලා තිබුණත් තවමත් ආසන්න වශයෙන් එවැනි හැඩයක් දැකගන්න පුළුවන්.හැබැයි බිම් මට්ටමේ ඉඳලා නම් ඒ වගේ රූපයක් කිසිලෙසකින්වත් නිරීක්ෂණය කරන්න බැහැ.ජන විශ්වාසය අනුව නම් මේ නම ජනවහරට එකතු වෙලා තිබෙන්නේ අතීතයේ හිරු දෙවියන්ගේ භවනේ සිට පැමිණි පිරිසකගෙන්.
                                   නස්කා ලයින්ස්  කියන්නේ පේරු රාජ්‍යයේ දකුණදිග ප්‍රදේශයේ නස්කා කාන්තාරයේ නිර්මාණය කර තිබෙන වර්ග කිලෝමීටර් 1000ක භූමියක් පුරා පැතිරී ඇති විවිධාකාර හැඩ 300කින් සමන්විත රූප පිහිටි නිර්මාණයක්.මේ නිර්මාණය ක්‍රිස්තු පූර්ව 01වන සියවසේ ඉඳන් 700 දක්වා කාලය තුළ නස්කා වැසියන් නිර්මාණය කළ බවටයි සැලකෙන්නේ.කාන්තාරයක , මේ තරම් විශාල භූමියක , මේ වගේ නිර්මාණයක් ඔවුන් සිදු කළේ ඇයි කියන කාරණය විග්‍රහ කරන්න තවමත් අපට හැකියාවක් ලැබී නැහැ.ගවේෂකයන් කියන්නේ මෙතරම් විශාල පරිශ්‍රමයක් දරා ඉහළ අහසට පේන විදිහට ඔවුන් මේවා නිර්මාණය කරලා තිබෙන්නේ යම් සංකීර්ණ කාරණයක් අපේක්ෂාවෙන් කියලයි.මේ ස්ථාන අතීතයේත් පිටසක්වල යානා ගොඩබස්වන ලද ස්ථාන නිසා ඔවුන්ට ගොඩබස්වන ස්ථාන නිවැරදිව හඳුනාගන්න කාන්තාරයේ මේ නිර්මාණ කළා කියලා තමයි ඔවුන් අනුමාන ඉදිරිපත් කරමින් සඳහන් කරන්නේ.

Saqqara Bird :-
                                    මිසරයේ සැක්‍රා කියන ප්‍රදේශයේ " පාඩ්මෙන් " ලෙස හඳුන්වන සොහොන් ගැබක් ඇතුලෙන් 1898 අවුරුද්දේ තමයි මේ " සැක්‍රා බර්ඩ් " කියලා හඳුන්වන නිර්මාණය සොයාගෙන තිබෙන්නේ.මීට වසර 2200 කට පමණ පෙර නිර්මාණය කළ බවට සැලකෙන මෙම අඟල් 7.2ක් පමණ වන පක්ෂියා නිර්මාණය කළේ ඇයි කියලා නම් මෙතෙක් පැහැදිලිව හඳුනාගෙන නැහැ.පුරාවිද්‍යාඥයන් කියන්නේ ඇතැම්විට මේ නිර්මාණය ෆැල්කන් කුරුල්ලෙක් විදිහට නිර්මාණය කරපු විසිතුරු භාණ්ඩයක් විය හැකියි කියලයි.නමුත් මීට හාත්පසින්ම වෙනස් මතයක් දක්වන ගවේශකයන් පිරිසක් පවසන්නේ එවකට ඊජිප්තුවේ සිටි දක්ෂ ඉංජිනේරුවන් පියාඹන්න කුරුල්ලන් යොදා ගන්නා ක්‍රමය ආධාරයෙන් යම් කිසි යානයක් නිර්මාණය කරන්න හදපු ආකෘතියක් කියලයි.සැක්‍රා බර්ඩ් අද වෙද්දී කයිරෝ කෞතුකාගාරයේ සුරක්ෂිතව තිබුණත් මේ නිර්මාණය කරන්න තුඩු දුන් කාරණය නම් විසඳී නැති අභිරහසක්.

නිම්රූඩ් කාච :-
                                  1853 වසරේ බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයෙක් ඇසීරියානු මාලිගා පරිශ්‍රයක් තුළින් තමයි වසර 3000ට පමණ පෙර නිර්මාණය කරන්න ඇතැයි සැලකෙන මේ පාෂාණමය පලිඟු කැබැල්ල සොයාගෙන තිබෙන්නේ.ඕවලාකාර හැඩයක් ගන්නා මේ කාචය සාමාන්‍යයෙන් තුන්ගුණයක විශාලණයක් කරන්න සමත් වෙනවා.මේ කාචය නිර්මාණය කළේ කුමන අරමුණකින්ද කියලා නිශ්චිතවම පවසන්න අදටත් හැකියාවක් නැහැ. ඇතැම් පර්යේෂකයන් විශ්වාස කරන විදිහට මේක යොදා ගෙන තිබෙන්නේ ගිනි දල්වන්න.තවත් පිරිසක් පවසන විදිහට මේක නිකම්ම පලිඟු කැබැල්ලක්.හැබැයි තවත් පිරිසක් විශ්වාස කරන්නේ මේක ලෝකයේ පැරණිතම දුරේක්ෂයේ කොටසක් කියලයි.සැබැවින්ම මීට වසර 3000කට පෙර දුරේක්ෂයක් භාවිත කළාද?
                                 ලෝකය පුරා විවිධ ස්ථානවලින් මේ සොයාගෙන තිබෙන්නේ වැලළී ගිය දියුණු ශිෂ්ටාචාරයන්ගේ විස්මිත නිර්මාණ ගොන්න අතරින් ඉතාම කුඩා නිර්මාණයන් ප්‍රමාණයක් පමණයි. ප්‍රාථමික , නොදියුණු ශිෂ්ටාචාරයක් යැයි අප සලකන අතීත ජනතාවට මේ තාක්ෂණික , රසායනික දැනුම සැබැවින්ම ලැබුණේ කොහොමද?සියවස් ගණනාවක් පුරා අභිරහස්ව පවතින මේ ගැටළුවලට පිළිතුරු දියුණු යැයි සැලකෙන වර්තමාන මිනිසා නවීන තාක්ෂණය සමඟ එක්ව කවදානම් විසඳා ගනීවිද?

2 comments: