ලෝකයේ කියන්නේ එකිනෙකට වෙනස් පරිසර පද්ධති ගණනාවක හරි අපූරු සංකලනයක්.ඒ විවිධත්වය තුළ එකිනෙකට ආවේනික සම්ප්‍රදායන් , ජීවීන් වගේම සංස්කෘතීන් නිර්මාණය වෙලා තිබෙනවා.සුන්දර වනාන්තර , ජලජ පරිසර වගේම ශුෂ්ක , රළු කාන්තාර පවා මේ පද්ධතීන්ට අයත් වෙනවා.ස්වභාවධර්මය තුළ කාන්තාර කියන්නෙත් වටිනා පරිසර පද්ධතියක්.
වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 250ටත් වඩා අඩු වියළි භූමි ප්‍රදේශයක් සාමාන්‍යයෙන් කාන්තාර ලක්ෂණ සහිත පරිසරයක් ලෙස හැඳින්වෙනවා.අපට එතරම් හුරුපුරුදු නැතත් පෘථිවි පෘෂ්ඨයෙන් 1/4 පමණ භූමි ප්‍රමාණයක කාන්තාර ව්‍යාප්ත වෙලා තිබෙනවා.ඒ අතරින් 53%ක් පමණ උණුසුම් කාන්තාර ගණයටත් , ඉතිරි ප්‍රමාණය ග්ලැසියර් අතර පිහිටි අයිස් කාන්තාර ගණයටත් අයිති වෙනවා.මේවා තුළ දක්නට ලැබෙන එකිනෙකට වෙනස් ලක්ෂණ නිසා නිවර්තන , ධ්‍රැවීය , වෙරලබඩ සහ අර්ධ ශුෂ්ක විදිහට තවත් උපවර්ග ගණනාවකටම බෙදා තිබෙනවා.ස්වභාවධර්මය තමන්ගේ ජීවය හරි අපූරුවට මේ පරිසරයන් තුළ ජනිත කර ඇති බව නම් මේ අපූරු පාරිසරික ලක්ෂණ දකින කොයිකාට වුණත් අවිවාදයෙන්ම පිළිගන්න වෙනවා.මේ කාන්තාර අතරට ලෝකයේ වියළිම ස්ථානය විදිහට සැලකෙන දකුණු ඇමරිකාවේ පිහිටා ඇති අටකාමා කාන්තාරයත් අයිති වෙනවා.වෙරළබඩ කාන්තාර ගණයට තමයි මේ කාන්තාරය අයත් වන්නේ.කිලෝමීටර් 105,000ක පමණ භූමි ප්‍රදේශයක් ආවරණය කරන මේ කාන්තාරය ස්වභාවයෙන්ම ගුප්ත , ගූඩ ස්වභාවයක් රජයන ප්‍රදේශයක් ලෙස හඳුන්වනවා.පිටසක්වල ජීවීන්ගේ ක්‍රියාකාරකම් පවා සිදුවන බවට පැවසෙන මෙහි සිදුවන සමහර සිදුවීම් පිළිබඳ නිවැරදි අර්ථකථනයක් නූතන විද්‍යාවෙන් පවා විස්තර කළ නොහැකි බවයි ඇතැම් පිරිස් පවසන්නේ.කෙසේ වෙතත් 2003 වසරේ දී සොයා ගනු ලැබූ පිටසක්වල ජීවියෙකුට සමාන අද්භූත , අරුම පුදුම පෙනුමකින් යුක්ත මෘතදේහය සාමාන්‍ය ජනතාව අතර පවතින මෙවැනි මතයන් තහවුරු වන ආකාරයේ සිදුවීමක් වුණා.
මෘතදේහයක් ලෙස සඳහන් කළත් ඇත්තටම මේක මමියක්.හිතාමතාම සිදුකරන ලද හෝ එසේත් නැත්නම් අහම්බයක් ලෙස රසායනයන් , අධික සීතල , ඉතාමත් අඩු ආර්ධතාවය , වාතය නැති වීමකට වගේ තත්ත්වයකට නිරාවරණය වීම නිසා සම සහ ඉන්ද්‍රියන් සංරක්ෂණය වීමෙන් තමයි මමියක් නිර්මාණය කරන්නේ.මමියක් කියූ පමණින් අපට මතක් වන්නේ ඊජිප්තුව වුණත් ලෝකය පුරා වෙනත් ස්ථාවලිනුත් මමී හමුවෙලා තිබෙනවා.හැබැයි ඊජිප්තු ශිෂ්ටාචාරය මමීකරණය එක්ක තිබෙන්නේ බොහොම සමීප සම්බන්ධතාවක්.සාමාන්‍යයෙන් පාරාවෝවරු වැනි ප්‍රභූ පිරිස් තමයි වැඩි වශයෙන් මමී විදිහට අපට දකින්න ලැබෙන්නේ.ඒ මමීත් සමඟ අති විශාල ධන සම්පත් පවා සොයා ගන්න පුරාවිද්‍යාඥයන් සමත් වෙලා තිබෙනවා.
හැබැයි අපි අද කතා කරන්නේ නම් ඊජිප්තුවේ මමියක් ගැන නෙවෙයි.මේක විශාල මතභේදයකට තුඩු දුන්න බොහොම අස්වාභාවික මමියක්.මේක සොයා ගන්නේ අටකාමා කාන්තාරයේ චිලී රාජ්‍යයේ පාළුවට ගිය " ලා නොරියා" කියන නගරයෙන්.මමිය සොයාගන්න අවස්ථාවේදී ඒක සුදු රෙදි කැබැල්ලක ඔතලා දම්පාට පීත්ත පටියකින් ගැට ගහලා තමයි තිබිලා තියෙන්නේ.
අටකාමා කාන්තාරයෙන් සොයා ගත්ත නිසා පස්සේ මේක ' uttar ' නම් ගත් නිසා පස්සේ මේක " අටා " නැත්නම් " අටකාමා හියුමනොයිඩ් " කියන නමින් නම් කරලා තිබෙනවා. හැබැයි මේක සාමාන්‍ය මෘතදේහයක් නම් නෙවෙයි.මේක මිනිස් රූපයකට බෙහෙවින් සමාන නමුත් මිනිසෙක් යැයි විශ්වාස කළ නොහැකි ආකාරයේ මමියක්. ඊජිප්තුවේ ඉපැරණි මමියකට සමාන අතිශයින්ම අසාමාන්‍ය කුඩා ශරීරයක් තමයි මේ මමියට තිබිලා තියෙන්නේ.මෙහි පෙනුම ආදී හේතූන් නිසා බොහෝදෙනා මෙය වසර සිය ගණනක් පැරණි පිටසක්වල මමියක් බව විශ්වාස කරනවා.
අඟල් 06ක් පමණ දිග මේ මමිය අසාමාන්‍ය විදිහට දික් වුණ හිසකින් යුක්තයි.ඒ වගේම මෙහි ඇස් විවරත් අසාමාන්‍ය විදිහට හිස් කබල ඇතුලට ගිලිලා තමයි තිබෙන්නේ.සාමාන්‍ය මිනිස් සිරුරක ඉළ ඇට යුගල් 12ක් තිබුනත් මෙහි තිබිලා තියෙන්නේ ඉළ ඇට යුගල් 10ක් පමණයි.එතකොට ඉතිරි ඉළ ඇට මේ මමියෙන් අතුරුදන් වෙලා ද?" අටා " සතුව තිබුණු මේ වගේ වෙනස් ලක්ෂණ නිසාම මෙය පිටසක්වල ජීවියෙකුගේ මළසිරුරක් කියලා ලෝකයේ පිළිගත් විද්‍යාඥයන් පවා සැක පළ කිරීම පුදුමයට කරුණක් නොවේ.ලෝකයා කෙතරම් එය විශ්වාස කළාද කියනවා නම් " අටා " පිටසක්වල ජීවියෙක් බව දැක්වෙන වාර්තා චිත්‍රපට පවා මේ කාලයේ නිෂ්පාදනය වුණා.
කොහොම වුණත් බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණ මේ අද්භූත මමිය ගැන පරීක්ෂණ ආරම්භ වෙන්නේ නම් ඒක සොයාගෙන අවුරුදු දහයකටත් පසුව 2013 වසරේ. පරීක්ෂණයේ වගකීම් භාර වෙලා තිබෙන්නේ ඇමරිකාවේ කැලිෆෝර්නියා , සැන්ෆ්රැන්සිස්කෝ , ස්ටැන්ෆර්ඩ් සරසවියේ වෛද්‍ය අණුක ජීව විද්‍යාඥයන් පිරිසකට.නමුත් මේ ගැන පරීක්ෂණ ආරම්භ වෙනකොටත් මේක ස්පාඤ්ඤ ජාතිකයෙක් අතටත් එතැනින් ඇමරිකාවේ විද්‍යාඥයන් පිරිසක් අතටත් ගොස් අවසානයි.මේ දේවල් නීත්‍යානුකූලව සිදුනොවුන බවට තර්කයක් ගොඩ නැගී තිබුනත් අටා මමියට ඒවගෙන් බලපෑමක් සිදුවුණාද කියන්න නම් කවුරුත්ම හරියට දන්නෙ නැහැ.විද්‍යාඥයන් පරීක්ෂණවලදී අටා සම්පූර්ණ ජාන පරීක්ෂාවකට ලක් කරල තිබෙනවා.කොහොම වුණත් වුණත් අවසානයේ ඔවුන් එළිදක්වන්නේ නම් ලෝකයම අන්දමන්ද කරන ඇදහිය නොහැකි අන්දමේ පිළිතුරක්.ඔවුන් කියන විදිහට මේක අනුමාන කළ නොහැකි තරම් විකෘතිතාවන්ගෙන් යුක්ත මිනිස් සිරුරක්.අඟල් 06ක් පමණ වන මේ මමිය අවුරුදු 06 - 08 අතර ගැහැණු දරුවකුගේ කියලා ඔවුන් කරන නිගමනය ඉතාමත් පුදුම සහගතයි.මේ පරීක්ෂණ වාර්තාවලින් පෙන්වන විදිහට වසර සිය ගණනක් පැරැණි යැයි සිතූ මෙම මමිය පැරණි වෙන්නේ වසර 40ක් පමණයි.එමෙන්ම එය ස්වභාවිකවම මමීකරණය වුණ මෘතදේහයක් බවත් ඔවුන් පවසනවා.එතකොට ඔවුන් කියන විදිහට මේ කාලේ අඟල් 06ක විතර උස වයස අවුරුදු 06 - 08 ළමයි චිලී රාජ්‍ය ආසන්නයේ ජීවත් වුණාද?
මේ දරුවාට අසාමාන්‍ය සංකීර්ණ සිරුරක් ලැබිලා තියෙන්නේ ජාන විකෘතිතාවන් රාශියක් නිසා කියලයි ඔවුන් කියන්නේ.ඒ වගේම අටාගේ අස්ථි පද්ධතිය ආශ්‍රිතව විකෘතිතා 64ක් තිබුණ බවත් තහවුරු කරලා තිබෙනවා.මේ විකෘතිතා 64 ඇති වීමට ජාන 07ක් මුල් වෙලා තිබෙනවා කියලයි ඔවුන් නිගමනය කරන්නේ.ඒ නිසාම අටාගේ සිරුර කුරු ස්වරූපයක් ගන්න ඇති කියලත් සැන්ෆ්රැන්සිස්කෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂිකා සන්චිතා භාට්ටාචාර්ය පෙන්වා දෙනවා.ඉළ ඇට 12ක් වෙනුවට ඉළ ඇට 10ක් පමණක් පිහිටීම ගැන නම් කිසිදු හේතු පැහැදිලි කිරීමක් ඔවුන් කරන්නේ නැහැ.ඒ කොහොම වුණත් මේ පරීක්ෂණය අවසන් වෙන්නේ අටා සම්බන්ධ තවත් අභිරහස් ගණනාවක්ම ලෝකයා හමුවේ ඉතිරි කරමිනුයි.
ලන්ඩන් නගරයේ හොරයිමන් කෞතුකාගාරයේ ස්වභාවික විද්‍යා විශේෂඥයන් පිරිසක් කලින් පරීක්ෂණයේදී නොවිසඳුණු කොටස්වලට කොටස්වලට පිළිතුරු සෙවීමේ වගකීම භාරගෙන තිබුණා.ඒ අනුව ඔවුන් පවසන්නේ මේ මමිය සති 14 - 16ත් අතර කාලයකදී ගබ්සාවක් නිසා මියගිය දරුවකුගේ සිරුරේ ඉතිරි වුණු කොටස් විය හැකි බවයි.ඒ වගේම ඔවුන් අටා කාන්තාරයට පැමිණි ආකාරය ගැනත් උපකල්පනයක් ඉදිරිපත් කරලා තිබෙනවා.මේ උපකල්පනයෙන් ඔවුන් කියන්නේ අටකාමා කාන්තාරයේ තිබුණ දෙව්මැදුරක් අසලින් මේ විකෘති කළලය කිසියම් කෙනෙක් විසි කරන්න ඇති කියලයි.නමුත් මේකත් උපකල්පනයක්ම පමණයි.සැන්ෆ්රැන්සිස්කෝ නුවර කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් අටා ගැන සිදුකළ පරීක්ෂණයක ප්‍රතිඵල සටහන 2018 මාර්තු මාසයේදී ජීනෝම් රිසර්ච් නම් පර්යේෂණ වාර්තාවකින් එළි දක්වා තිබෙනවා.අටා මමිය ගැන විද්‍යාඥයන් කළ පරීක්ෂණ සාධාරණීකරණය කරන්න බැහැ කියන පිරිසකුත් , ඒ පරීක්ෂණ ආචාර ධර්මානුකූල නැහැ කියන පිරිසකුත් සිටිනවා.මෙවන් හේතු නිසාම මේ ගැන නවතම අනාවරණයක් සිදු කිරීමට චිලී රාජ්‍යය , නවසීලන්තය වගේ රාජ්‍ය ගණනාවක විද්‍යාඥයන් නැවතත් එකතු වෙලා තිබෙනවා.එතනදී ඔවුන් ජිනෝමි රිසර්ච් වාර්තාවේ පළවී තිබුණ දත්තවලට හාත්පසින්ම වෙනස් දත්ත ලබා දීලා තිබෙනවා.
ලන්ඩනයේ හොරයිමන් කෞතුකාගාරයේ වාර්තාව සනාථ කරමින් නවසීලන්තයේ ඔටාගෝ විශ්වවිද්‍යාලයේ ජෛව පුරාවිද්‍යාඥ මහාචාර්ය සියන් හල්ක්රෝ කියන්නෙත් කාටවත් සත්‍ය 15ක විතර වයස ගබ්සා කලලයක් කියලයි.ඔවුන් මේ මමියේ ඇට මිදුලුවල තිබුණු ඩී.එන්.ඒ ( DNA ) නිස්සාරණය කරගෙන සිදු කළ පරීක්ෂණයෙන් මෙය පිටසක්වල ජීවියකුගේ කියල තිබුන මතයත් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. විද්‍යාඥයන්ගේ මතය වුණේ මේ මමිය අසාමාන්‍ය විදිහට විකෘති ගණනාවකට බඳුන් වුණ මානව ස්ත්‍රී දේහයක් කියලයි.මුල්ම පරීක්ෂණවලින් අටාගේ DNA මානව DNA සමඟ ගැළපුණේ 92%ක් විතර වුණත් පසුව කළ පරීක්ෂණවලදී ඒ අගය 98%ක් දක්වා වැඩි වෙලා තිබෙනවා.ඒ වගේම මේ මමිය අවුරුදු 06 - 08ත් අතර දරුවකුගේ කියපු නිගමනයත් නවතම පරීක්ෂණ කණ්ඩායම ප්‍රතික්ෂේප කරනවා.ඔවුන් තම පරීක්ෂණ දත්ත ආශ්රයෙන් පැහැදිලි කරන අන්දමට මේ මමිය වයස අවුරුදු 06 - 08ත් අතර සිරුරකට සමාන ලක්ෂණ පෙන්නුම් කරන්නේ එහි තිබෙන අස්ථිවල විකෘතිතාවක් හේතුවෙන් බවත් ඔවුන් පවසනවා.මමිය හමුවුණ ප්‍රදේශයේ අතහැර දැමූ නයිට්රේට් පතල් රාශියක්ම තිබිලා තියෙනවා.සමහර විට ඒ නයිට්රේට්වලට නිරාවරණය වුණු නිසා මෙවන් විකෘතිතාවක් ඇති වෙන්න පුළුවන් කියලයි ඔවුන් පවසන්නේ.
මූලික පර්යේෂණයේ දී අදහසක් නොදැක්වුණු ඉළ ඇට සම්බන්ධවත් මොවුන් නිගමනයක් ඉදිරිපත් කර තිබෙනවා.ඔවුන් පවසන ආකාරයට කළලයේ වයස අනුව තිබිය යුතු ඉළ ඇට සංඛ්‍යාව අටා මමියේ තිබෙනවා.එහෙම ගත්තම ඉළ ඇට 10ක් තිබීම පුදුමයක් නෙවෙයි.මමියේ කේතු හැඩයක් ගන්න දිගටි හිස කියන්නේ මුල සිටම විද්‍යාඥයන් පුදුමයට පත් වුණු දෙයක්.නමුත් දැනට කෙරෙන පරීක්ෂණවලින් තහවුරු වන්නේ නම් නිසි වයසට පෙර ගබ්සා වන කලලයක හිසේ එවැනි හැඩයක් දකින්න ලැබෙනවා කියලයි.
මුලින්ම මේ මමිය ගැන පරීක්ෂණ කරපු විද්‍යාඥයන්ගේ මතය වුණේ නූතන විද්‍යාවෙන් පවා අනාවරණය කරගන්න හැකියාවක් නැති සංකීර්ණ දේහයක් අටාට උරුම වෙලා තිබුණා කියලයි.ඔවුන් පැවසූ ආකාරයට ජාන විකෘතිතාවන් රාශියක් තමයි මේ මමියේ කුරු බවට , අසාමාන්‍ය පෙනුමට හේතුවෙලා තිබෙන්නේ.නමුත් ආටා සම්බන්ධව නවතම පර්යේෂණ කරපු විද්‍යාඥයන් පවසන්නේ මේ සියල්ලම අසත්‍යක් කියලයි.අටාගේ අස්ථි සහ වයස පිළිබඳව තීරණය කිරීමට පර්යේෂිකා සන්චිතා භාට්ටාචාර්ය ඇතුළු පිරිස භාවිත කරපු පර්යේෂණ ක්‍රමවේදයන් පවා නිවැරදි නොවන බව තමයි මොවුන් පවසන්නේ.
අටාගේ විකෘති රූපය දුටු පමණින්ම මව ඇයව කාන්තාරයේ පාළු ස්ථානයකට විසිකර දැමුවේද , එහෙමත් නැත්නම් අටාගේ දේහය සංරක්ෂණය කරලා කිසියම් පුද්ගලයකුට අලෙවි කලාදැයි ලෙසින් පැන නැගුණ ප්රශ්නය නවතම පරීක්ෂණ කණ්ඩායම ප්‍රතික්ෂේප කරනවා.ඔවුන් පවසන්නේ මේක ගබ්සා වුණ කලලයක කොටස් කියලයි.එතකොට තමන්ට ගබ්සා වුණ කලලය මව කිසිදු වග විභාගයකින් තොරවම විසිකරලා දැම්මද?
ආටා සැබෑවටම අවුරුදු 40ට පමණ පෙර ගබ්සා වුණ කලලයක් නම් ඒ කලලය දරාගෙන සිටි මව අදටත් ජීවතුන් අතර සිටිනවා වෙන්නත් පුළුවන්. මව නැතත් අවම වශයෙන් අටාගේ ඥාතීන් හරි ජීවත්වෙලා ඉන්න ඕනේ. නමුත් අටාට ඥාතීත්වයක් ඇති කෙනෙක් සොයා ගැනීම කුමන විද්වතුන් කණ්ඩායමකට වුණත් පහසු වෙන එකක් නම් නැහැ.ඒ කොහොම වුණත් මේ ලෝකේ එළියවත් බලන්න වරම් නොලබපු අහිංසක අටා අනාගතයේ දී විවිධ ජාන විකෘතිතාවන් හේතුවෙන් පීඩාවට පත්ව සිටින රෝගීන්ට ප්‍රතිකාර කිරීමට විශාල දැනුමක් ලබා දේවි.ඇත්තටම අටා ලෙසින් නම් කරපු මේ මමිය පරීක්ෂණ කණ්ඩායම් කියන විදිහට මිනිසකුගේද? එහෙමත් නැත්නම් බොහෝ දෙනා විශ්වාස කරන ආකාරයට පිටසක්වල ජීවියකුගේද?නයිට්‍රේට්වල බලපෑම නිසා මේ තරම්ම වෙනස් ජීවියෙක් බිහිවෙන්න පුලුවන්ද?මූලික පරීක්ෂණ වාර්තා වෙනස් වුණා වගේම අනිත් පරීක්ෂණ ප්‍රතිඵලත් පසුකාලීනව වෙනස් වෙයිද?තවමත් සම්පූර්ණයෙන්ම පරීක්ෂණ අවසන් නොවුන මේ අටාගේ මමිය අනාගතයේදී අපට මොන වගේ පිළිතුරක් ලබාදේවිද?

Great article 👍
ReplyDelete