මේ ලෝකයේ පුදුමයන් කීයක් තිබෙනවාද කියලා ඇසුවොත් හැමෝම කියයි පුදුමයන් 07ක් තිබෙනවා කියලා.ඔව් ලෝකයේ පුදුමාකාර නිර්මාණ අතරින් වඩාත්ම සුවිශේෂී නිර්මාණ 07ක් ලෝක පුදුම විදිහට නම් කරලා තිබෙනවා.හැබැයි මේ ලෝකයෙන් අතුරුදන් වුණ පුදුමයක් තිබෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද?ඔබ විශ්වාස කළත් නොකළත් එවන් නිර්මාණයක් තිබෙනවා. " Amber Room " ලෙස හඳුන්වන්නේ මෙන්න මේ කියන නිර්මාණයයි .
මෙය එක්තරා විදිහක කුටියක් කිවහොත් නිවැරැදියි.කුටියක් කොහොමද ලෝක උරුමයක් වෙන්නේ කියන ප්රශ්නය දැන් ඔබටත් ඇති.නමුත් මේක ඔබ හිතන විදිහේ නිකම්ම නිකම් කුටියක් නම් නෙවෙයි.මේ වෙනකොට තිබුණා නම් අටවෙනි ලෝක පුදුමය වෙන්න තිබුණු නිර්මාණයක් තමයි ඇම්බර් කුටිය.නමුත් අවාසනාවට අදටත් මේ කුටිය අතුරුදන්.
අහම්බෙන් හෝ පුද්ගලයෙකුට මේ කාමරය ලැබුනොත් ඔහු තමයි මේ ලෝකයේම ධනවතා වෙන්නේ.මොකද මේ කුටිය මිල කළ නොහැකි වටිනාකමකින් යුක්තයි.ඒ වගේම ගලවලා තැනින් තැනට ගෙනියන්න පුළුවන් විදිහට නිර්මාණය කර තිබීමත් මේ කාමරයේ ඇති විශේෂත්වයක්.
මේ තරම් වටිනාකමක් තිබෙන මොකක්ද මේ amber කාමරය?ඇම්බර් කියන ඉතාම දුර්ලභ ද්‍රව්‍යකින් තමයි මේක හදලා තිබෙන්නේ.ඇම්බර් කියන්නේ ලෝකයේ අද වෙනකොට සොයාගන්නත් අපහසු සුවිශේෂී ශාක විශේෂයක්.මේ ශාකයෙන් පිටවෙන එක්තරා රත්තරන් පැහැති දියරයක් බිඳෙන් බිඳ ශාකයෙන් ගලාගෙනවිත් පොළවට ගොස් තැන්පත් වෙනවා.මේ තැන්පත් වුණු දියරය අවුරුදු ගණනාවකට පස්සේ, ඒ කියන්නේ සමහර විට අවුරුදු කෝටි ගණනකට පස්සේ එළියට ගත්තොත් එය දකින්න ලැබෙන්නේ විනිවිද පේන රත්තරන් පාට ගලක් වගේ.
මේ ද්‍රව්‍යයෙන් අදටත් පෙන්ඩන්ට් වගේ කුඩා නිර්මාණ සිදුකරනවා.නමුත් මේ ද්‍රව්‍ය උදේ ගිහින් හවස අරන් එන්න පුලුවන් විදිහේ සුලබ ද්‍රව්‍යයක් නම් නෙවෙයි.දැන් ඔබටත් තේරෙනවා ඇති මේ ද්‍රව්‍ය සොයාගන්න එක කොයිතරම් නම් අමාරු වැඩක්ද කියලා.
මේවා ටිකක් සොයා ගන්න මේ තරම් අමාරු නම් ටොන් හයක් සොයන එක කොහොම වෙන්න ඇතිද?කොහොම නමුත් මේ ද්‍රව්‍ය ටොන් හයක් එකතු කරලා 1701 දී පර්සියාවේ පළමුවැනි රජතුමා වුණු ෆෙඩ්රික් රජතුමා කුටියක් හදනවා.ඒකත් නිකම්ම නෙවෙයි කැටයම් කරලා , රන්පත් , මැණික් , දියමන්ති වගේ වටිනා ගල් රාශියක් ඔබ්බවලා තමයි හදලා තිබෙන්නේ.එහෙම බලද්දි මේ කාමරයේ වටිනාකම කොයිතරම් නම් වෙන්න ඇතිද කියලා තේරෙනවා නේද?
ඇම්බර් කුටිය මුලින්ම සාදා තිබෙන්නේ පර්සියාවේ. එහි පළමුවැනි රජතුමා වුණු ෆෙඩ්රික්ගේ නිවෙස වන චාල්ටන්බර්ග් මාලිගයේදී ජර්මානු බැරොක් මූර්ති ශිල්පියකු වන " Andreyas Fluter " සහ ඩෙන්මාර්කයේ ඇම්බර් ශිල්පී " ගොට්ෆ්‍රයිඩ් වුල්ෆ්රම් " තමයි මේ නිර්මාණය නිමකර තිබෙන්නේ.
වර්ග මීටර් 16ක ප්‍රදර්ශන කුටියක් විදිහට නිර්මාණය කළ ඇම්බර් කුටිය පසුව මෙය නරඹන්න පැමිණි රුසියානු මහාසාර් පීටර්ට 1716 දී තෑගි කර තිබෙනවා.ඒ ආකාරයට රැගෙන ගිය ඇම්බර් කුටිය පසුව කැතරින් මාලිගාවේ ඉඩකඩ තිබෙන කාමරවලට ගැළපෙන ආකාරයට වර්ග මීටර් 55 දක්වා පුළුල් කොට නිර්මාණය කර තිබෙනවා.
දෙවන ලෝක යුද්ධය ආරම්භ වන තුරුම මෙය තිබෙන්නේ සෝවියට් දේශයේ.දෙවැනි ලෝක යුද්ධයට නායකත්වය දෙන හිට්ලර් " ඔපරේෂන් බාබරෝසා " නම් මෙහෙයුමක් දියත් කරමින් ජර්මනියේ හෝ ජර්මන් ජාතිකයෙකු විසින් නිර්මාණය කරන ලද සියලුම නිර්මාණයන් නැවත ජර්මනියට රැගෙන ඒමට කටයුතු කරනවා.මෙම මෙහෙයුමේදී ඇම්බර් කුටියත් විශාල පෙට්ටි 21කට අසුරා නැවත ජර්මනියට රැගෙන එනවා.
මෙලෙස රැගෙන එන ඇම්බර් කුටිය ජර්මනියේ පර්සියා ප්‍රාන්තයේ කොනිග්ස්බර්ග් මාළිගාවට රැගෙන යාමෙන් පසුව එහි කෞතුකාගාරයක තැන්පත් කෙරෙනවා.1944 අගෝස්තු මාසයේදී රාජකීය ගුවන් හමුදාව මගින් මෙම ප්‍රදේශයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් නගරයෙන් 90% ක් පමණ විනාශ වුණ බව සඳහන් වනවා.
කොහොම වුණත් මේ ප්‍රහාරයෙන් පස්සේ ඇම්බර් කුටිය මේ ලෝකයෙන් සදහටම අතුරුදහන් වෙනවා.ඒ කියන්නේ 1945 රතු හමුදාව නගරය ඇතුළට ගිහින් බැලුවම ඇම්බර් කුටියෙන් කොටසක්වත් සොයාගන්න ලැබිලා නැහැ.කෞතුකාගාරයේ තිබුන දේවල්වලින් ගොඩක් දේවල් තිබිලා තියනවා.අඩුම තරමේ ඒවගෙන් කොටසක්මහරි හමුවෙලා තිබෙනවා.නමුත් ඇම්බර් කුටියෙන් පුංචිම කොටසක්වත් හමුවෙලා නැහැ.කුඩාම කොටසක්වත් ඉතිරි නොවෙන්න තරම් ඇම්බර් කුටියට මොකද වුනේ?
ඇම්බර් ටොන් ගානක් දූවිල්ලක් වගේ අතුරුදන් වෙනවා කියන එක විශ්වාස කරන්න අමාරුයිනේ.අන්න ඒ නිසාම වසර ගණනාවක ඉඳන් ඉතිහාසඥයන් මේ අබිරහස විසඳන්න උත්සාහ කරලා තිබෙනවා.කොතරම් උත්සාහ කළත් තවමත් ඔවුන් කිසිවෙකුට මේ ඇම්බර් කුටිය ගැන කිසිම හෝඩුවාවක් සොයා ගන්න නම් ලැබිලා නැහැ.
මේ ගැන විවිධ මත කිහිපයක්ම ඉදිරිපත් වෙලා තිබෙනවා.එයින් එකක් තමයි 1944 බෝම්බ ප්‍රහාරයෙන් ඇම්බර් කුටිය සම්පූර්ණයෙන්ම විනාශ වුණා කියන මතය.තවත් මතයකට අනුව මේ කුටිය තවමත් කොනිග්ස්බර්ග්වලම තිබෙනවා.මෙන්න මේ මතය නිසාම සෝවියට් විශේෂඥයන් නගරය වටේ වගේම නගරයේ බලකොටුවේ නටබුන් තුළත් සිය ගණනක් ගවේෂණ සිදු කළත් සාර්ථක ප්‍රතිඵලයක් නම් ලැබුණේ නැහැ.තම උත්සාහය අත් හැරීමට කිසිදු සූදානමක් නොමැති මොවුන් වසර 2000දී පමණ වඩාත් දියුණු නවීන උපකරණ සහිත කණ්ඩායමක් මේ සඳහා යොමු කරනවා.එහිදී මාලිගාවේ පහලම මහලේ සැඟවුණු කොටසක තිබුන කලා කෘති සහ ස්වර්ණාභරණ සොයාගත්තත් ඇම්බර් කුටිය නම් සොයා ගන්න ලැබිලා නැහැ.
තවමත් ලෝකයාගේ දෑසින් වසන් වුණ ඇම්බර් කුටිය පිළිබඳව ජනතාව අතර තිබෙන තවත් අමුතුම මතයක් තමයි " ඇම්බර් රූම් ශාපය" කියන්නෙ . ඇම්බර් කුටියට අදාළ පරීක්ෂණ සඳහා සහභාගී වුණු බොහෝ පිරිසක් මිය යාම තමයි මේ මතයට හේතුවෙලා තිබෙන්නේ.එවන් සිදුවීම් අතර කුටිය පිළිබඳව විමර්ශනය කරමින් සිටියදී ටයිෆස් රෝගය සෑදීමෙන් Rohde සහ ඔහුගේ බිරිඳ මිය යාම , ඇම්බර් කුටිය පිළිබඳව මාධ්‍යවේදියකු සමග කතා කිරීමෙන් පසු රුසියානු බුද්ධි නිලධාරියකු වන ජෙනරාල් ගුසේව් මෝටර් රථ අනතුරකින් මිය යාම සහ ඇම්බර්රූම් දඩයක්කරු සහ හිටපු ජර්මානු සොල්දාදුවකු වන ජෝර්ජ් ස්ටේන් 1987දී බැවේරියානු වනාන්තරයක දී ඝාතනයට ලක් වීම ආදී සිදුවීම් සියල්ලම ඇම්බර්රූම් ශාපය නිසා සිදු වූ බවට ජනතාව අතර විශ්වාසයක් පවතිනවා.
සීමිත ප්‍රදේශයක් දක්වා මඟ සලකුණු ලේඛනගත කර තිබීමත් , නාසි පාලනය භාණ්ඩ පහසුවෙන් සොයාගත නොහැකි ස්ථානවල සඟවා තිබීමත් මෙම ඇම්බර් කුටිය සොයා ගැනීමේ මෙහෙයුමවලදී මුහුණ දීමට සිදුවන ප්‍රධාන අභියෝග කීපයක් වෙනවා.එහෙත් මන්දගාමීව සිදුවන මෙම සෙවීම්වලට නව ජීවයක් ලබාදීමට පෝලන්ත කිමිදුම් කණ්ඩායමකට මෑතකදී හැකිවුණා.2020 ඔක්තෝබර් මාසයේදී Baltictech කණ්ඩායමේ පෝලන්ත කිමිදුම්කරුවන් SS Karlsruhe නම් නැවේ සුන්බුන් සොයා ගන්නවා.මේ නැව 1945 දී කොනිග්ස්බර්ග් සිට ගමන් කරන අතරතුර සෝවියට් ගුවන් යානයකින් එල්ල වූ ප්‍රහාරයකට ලක්වූ නිසාම ඔවුන් විශ්වාස කරනවා මේ සුන්බුන් අතරින්වත් ඇම්බර් කුටිය ලැබේවි කියලා.නමුත් තවමත් ඒ පිළිබඳව කිසිම හෝඩුවාවක් ලැබිල නැහැ.
ඇම්බර් කුටිය සෙවීමේ මෙහෙයුම් දිගින් දිගටම අසාර්ථක වීමත් සමඟ එය සෙවීමේ කටයුතුවලට අමතරව අලුතින්ම ඇම්බර් කුටියක් ප්‍රතිනිර්මාණය කිරීමට 1979 දී සෝවියට් රජය තීරණය කරනවා.ඒ අනුව මුල් නිර්මාණයේ සිතුවම් සහ දෙවැනි ලෝක යුද්ධයට පෙර ලබාගත් පැරණි කළු සුදු ඡායාරූප අධ්‍යයනය කිරීම මඟින් Tsarskoe Selo හි ඇම්බර් කුටියේ අනුරුවක් නිර්මාණය කර තිබෙනවා.මෙම නිර්මාණය සිදු කිරීම සඳහා ඇම්බර් කලාව පිළිබඳ රුසියානු සහ ජර්මානු විශේෂඥයන් 40ක් පමණ සහභාගි වෙලා තිබෙනවා.
එම කාල වකවානුව වන විට ඇම්බර් කැටයම් කිරීම නැතිවී ගිය දුර්ලභ කලා මාධ්‍යයක් වීම නිසාම මෙම ප්‍රතිනිර්මාණය වෙනුවෙන් දක්ෂ කම්කරුවන් සොයා ගැනීම මෙහිදී ඇතිවුණු ප්‍රධාන ගැටලුවක්.කෙසේවෙතත් මෙම නිර්මාණයේ වැඩ කටයුතු අවසන් කිරීමට වසර 24ක් ගත වී තිබෙනවා.එය ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ 300 වැනි සංවත්සර දිනයේ දී එවකට ධුරයේ සිටි රුසියානු ජනාධිපතිවරයා සහ ජර්මානු චාන්සලර්වරයෙකු අතින් විවෘත වී තිබෙනවා.
කෙසේ වෙතත් පැරණි ඇම්බර් කුටිය පිළිබඳව නම් තවමත් නිවැරදි හෝඩුවාවක් ලැබී නැහැ. එසේ නම් ඇත්තටම මේ කුටියට මොකද වුනේ?ප්‍රහාරය ගැන කලින් දැන ගන්න ලැබුණු හිට්ලර් මේක කොහේ හරි රහසිගත තැනක සැඟවූවාද?එහෙමත් නැත්නම් ඔපරේෂන් බාබරෝසා ගැන දැනගන්න ලැබුණු අවස්ථාවේ දී සෝවියට් දේශයම මේ කුටිය සඟවලා ව්‍යාජ කුටියක් හිට්ලර් අතට පත් වෙන්න ඉඩ හැරියාද?නිවැරදි පිළිතුරක් නොමැති තවත් අභිරහසක් ඉතිහාසයට එක්කල මෙම මිලකළ නොහැකි නිර්මාණය සැබැවින්ම ඇත්තේ කොහේද?

Lasanai nadeeyo
ReplyDeleteසුපිරි akke Article eka 💕
ReplyDelete🥺🥺🥺❤❤❤❤
ReplyDeleteNiyamai. Watina lipiyak... 😍
ReplyDeleteවෙනස්ම අත්දැකීමක්, ගොඩක් හොඳ උත්සාහයක් ජය වේවා නංගි
ReplyDelete